theleaderlk 01

පසුගිය රජය ද, වත්මන් ජනපතිවරයා ද ගොවීන්ට රුපියල් බිලියන 20 ක පොහොර සහනාධාරය ලබාදීම ප්‍රතිපත්ති තීරණයක් මිස දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සිදු කරන දෙයක් නොවන බවත් එය රාජ්‍ය ප්‍රතිපත්තියක් බවත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති කාර්යාලයේ  ප්‍රජා කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කල කීර්ති තෙන්නකෝන් ඉහත කාරණය අවධාරණය කර ඇත්තේ, මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකරමිනි.

අද (සැප්. 30) මව්බිම පුවත්පතේ ‘'ජනපති දුන් පොහොර - ධීවර සහනාධාර මැතිවරණ කොමිසම අත්හිටුවයි'' ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කිර්ති තෙන්නකෝන් යොමුකර ඇති එම ලිපියේ මෙසේ සඳහන්වේ.

මැතිවරණ කොමිෂන් සභාවට නොමැති බලයක් ආරෝපනය කරගනිමින් ...

මෙම පොහොර සහනාධාර ලබාදීමට තීරණය කරනු ලැබූවේ 2024 අගෝස්තු මස එවකට පැවති කැබිනට් මණ්ඩලය විසිනි.  

එය මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය හේතුවෙන් නවතා දමන ලදී. මැතිවරණ කොමිෂන් සභාව වෙත නොමැති බලයක් ආරෝපනය කරගනිමින් සිදු කළ එම ක්‍රියාව හේතුවෙන් මේ වන විටත් රටට දැවැන්ත ආර්ථික පාඩුවක් සිදුවී ඇත.

 

වත්මන් ජනපති අනුර කුමාර දිසානායක විසින් ද රාජ්‍ය මුදල් රුපියල් බිලියන 20 ක් වැය වන, විශේෂඥයින් ගේ නිර්දේශ මත ගත් ප්‍රතිපත්ති තීරණය ක්‍රියාත්මක කිරීමට පසුගිය දා උපදෙස් දී ඇත. එය ප්‍රශස්ථ හා නිවැරදි තීරණයකි. මැතිවරණ කොමිෂන් සභාව එම තීරණය ද, වලක්වන්නේ නම් එය ද, රටේ ආර්ථිකයට හා කෘෂිකර්මාන්තයට දැවැන්ත විනාශයක් සිදු කරනු ඇත්තේය.

 

රු. 15,000 සිට රු. 25,000 දක්වා පොහොර සහනාධාර වැඩි කිරීම ආර්ථික වශයෙන් රටට ඉහළ ප්‍රතිඑල ගෙන දෙන බව ඒ පිළිබඳ ප්‍රමාණික දැනුමක් සහිත විශේෂඥයින්ගේ මතය යි. ආහාර ප්‍රතිපත්ති කමිටුව ඇතුළු තාක්ෂණික කමිටු විසින් එය තහවුරු කර ඇත.  මෙම තාක්ෂණික කමිටු සඳහා කිසිදු මහජන නියෝජිතයෙකු/ දේශපාලනඥයෙකු සම්බන්ධ වූයේ ද නැත.

මේ වන විටත් වගා කන්නය ආරම්භ වී ඇත. ගොවියාට පොහොර සහනාධාරය ලැබිය යුත්තේ වගාවට සුදානම් වන අවස්ථාවේ දී ය.  ප්‍රමාද වී මෙම මුදල් ඔවුනට ලැබුණු විට එය ඔවුන් වෙනත් දෛනික අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනීමට ඇති ඉඩ විශාලය. එමගින් කෘෂිකර්ම කේෂ්ත්‍ර යේ අපේක්ෂිත අරමුණු ඉටු නොවේ.

තව ද, මෙම පොහොර සහනය දේශීය හා ජාත්‍යන්තර බැදීම් රැසක් සමඟ ගැටගැසී ඇත.  පොහොර මිලදී ගෙන බෙදා හැරීම වෙනුවට, මුදල් බැංකු ගිණුම වෙත යොමු කිරිමට සිදු වුයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන  බැංකුව වැනි ආයතනයන් හි දුෂණ විරෝධී නිර්ණායක මත පදනම් වෙමිනි.  

තවද, වගා කන්නය අවසන්වීමෙන් පසුව මෙම සහන ලබාදීම නිරර්ථක ක්‍රියාවක් වන බව මෙම ආයතන නොදන්නේ නොවේ.  ඉතා වෙහෙසකර ප්‍රතිපත්ති එකඟතාවයන්, හදිසි තීරණ වෙනස් කිරිම් හේතුවෙන් රටට අහිමි වූ ධන සම්භාරය අති විශාල බව මෙම ක්‍රියාවට සම්බන්ධ වූ රාජ්‍ය නිලධාරියෙකු ලෙස මට අත්දැකීම් ඇත.

අතිශයින්ම සංකීර්ණ තත්ත්වයක් !

මේ සියල්ලටම අමතරව, නොමිලේ බෙදාදීමට තීරණය කරනු ලැබූ  MOP පොහොර තොගය සම්බන්ධයෙන් තත්වය අතිශයින්ම සංකීර්ණය.

 

ජාතික පෙහොර ලේකම් කාර්යාලයේ ඉල්ලීම මත 2022 වසරේ මෙම පොහොර ගෙන්වනු ලැබූවේ වාරිමාර්ග අමාත්‍යාංශයේ ආසියානු සංවර්ධන බැංක ණය ආධාර වැඩසටහන යටතේ ය.  රට පුරා ආහාර හිඟයක් ඇතිවීම, ඊනියා පොහොර තහනම හේතුවෙන් කෘෂිකර්මාන්තය කඩා වැටීම පොහොර ගෙන්වීමට  හේතු විය.  ඩොලර් මිලියන 20 ක් පමණ වූ මෙම ණය ද, පොලිය ද මේ රටේ ජනතා බදු මුදලින් ගෙවිය යුතුව ඇත. රුපියල ශක්තිමත්වීම, පොහොර මිල ජාත්‍යන්තර වෙළඳපොලේ පහත වැටී ම නිසා මේ වන විට රටට සිදුව ඇති පාඩුව විශාලය.   තවද, සාගත තත්වයක් වලක්වා ගැනිීමට යැයි පවසමින් ගෙන්වූ පොහොර තොගය භාවිතයට නොගැනීම හේතුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ද බලවත් ගැටලුවක් වී ඇති බව එම සාකච්ඡා සඳහා සහභාගි වූ නිලධාරියෙකු ලෙස මම දනිමි.

 

මෙම පොහොර තොගය 2024 දෙසැම්බර් මස 31 දිනෙන් කල් ඉකුත් වන්නේය. එම නිසා මැතිවරණ සමයක දී වුවත් මෙම පොහොර කල් ඉකුත්වීමට පෙර වගාව සඳහා යොදා අස්වනු සාර කර ගත යුතුව ඇත.

රටට ගෙන්වා ඇති එම්.ඕ.පී. පොහොර තොගය මෙ.ටො. 41,714 කි. එයින් පොහොර මෙ.ටො.   22,889 ක් මෙම ගැටළුව විසඳීම සඳහා මම මැදිහත් වන විට ඉතිරිවී තිබුණි. (එයින් කොටසක් මේ වන විට විකුණා තිබිය හැකිය)  මෙම පොහොර කොටසක් දැනටමත් දිවයින පුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහණය කර වසරකට වැඩි කලක් ගබඩා කොට ඇත. තෙතමනයට හසුවීම, වැසි වතුර, දියවීම නිසා ස්වභාවික බර අඩුවීම වැනි සංසිද්ධීන්ට මේවා ලක්ව ඇත. ප්‍රමිතිය බාල වෙමින් ඇත. 

 

ලෝක ආහාර වැඩසටහන යටතේ ලංකාවට ලැබුණු පිටි ඇතුළු ආහාර රැසක් රටේ ළමා මන්ද පෝෂණය තිබිය දී දරුවන්ට ආහාර ලෙස ලබාදීමට මෙයට පෙර ලංකා රජය අසමත් විය. එහි ප්‍රතිඑලයක් ලෙස, ලංකාව මේ වන විටත් ජාත්‍යන්තර සංවිධාන හරහා,  හදිසි ආහාර සහනාධාර ලබා ගැනීමේ ගැටළුවකට මුහුණ දී සිටී. එවැනි තත්වයක් පොහොර, කෘෂි රසායන හා යෙදවුම් සම්බන්ධයෙන් මතුවන්නේ නම් එය ඛෙදවාචකයකි.

 

පොහොර සහනාධාරය ලබාදීම දේශපාලන තීන්දුවක් නොව ජාතික අවශ්‍යතාව මත ගත් ප්‍රතිපත්තිමය තීරණයක් බව මේ සඳහා දායක වූ සියළු රාජ්‍ය නිලධාරීන් සාක්ෂි දරනු ඇත. කෘෂිකර්මාන්ත පිළිබඳ වි‍ශේෂඥතාවයක් නොමැති ඔබ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණ සමයේ ද, දැන් නැවත වරක් ද ගෙන ඇති තීරණය නිසා ආහාර සුරක්ෂිතතාව අනතුරට පත්වන්නේය.  එය ගල්ෆ් යුද තත්වය හා බැදෙමින් ජාතික ආරක්ෂාව හා බැදී ඇත.   

මෙම පොහොර බෙදීමෙන් කිසිදු පක්ෂකයට දේශපාලන වාසියක් හිමිවන්නේ නැත. එසේ ලැබේ යැයි අනුමාන කරන්නේ නම්, මැතිවරණ කොමිසන් සභාව විසින් මෙයට පෙර භාවිත කල ‘මෙම සහනය ශ්‍රී ලංකා රජය ලබාගත් ණය මුදලකින් ගොවීන් වෙත ලැබෙන බවත්, දැන් වසර දෙකක් මේ රටේ ජනතාව එයට ණය හා පොලිය ගෙවමින් සිටින බැවින් කිසිදු පක්ෂයකට ලැදියාවක් මෙම සහනය නිසා ඇති කර නොගත යුතු බවත්‘ ලිඛිතව ද, වාවිකව ද,  දැනුම් දිය හැකිය.

 

කුමන තත්වයක් යටතේ වුව ද, රටේ ගොවියාට මෙම කන්නයේ පොහොර අවශ්‍ය ය. ණය සහන මත ලැබුණු දේ කල්ඉකුත්වීමට පෙර බෙදා ගත හැකි රාජ්‍ය - පරිපාලන යාන්ත්‍රණයක් ගොඩනගා ගැනීම ශ්‍රී ලංකා රාජ්‍යයේ වගකීම වන්නේය. අප ජාතික ප්‍රමුඛතා අවබෝධ කර ගත යුතුව ඇත.

 

පසුගිය ජනාධිපතිවරණයට ඔබගේ ඇස්තමේන්තු අනුව රුපියල් බිලියන 10 ක් ද, මේ වන විට ක්‍රියාත්මක මහා මැතිවරණයට රු. බිලියන 11 ක් ද, ඉදිරි පලාත් පාලන ඡන්දයට රු. බිලියන 8 ක් ද වැය වන්නේය.  එම මුදල් සපයා ගත යුතු වන්නේ කෘෂිකර්ම, ධීවර ආදී කේෂ්ත්‍රයන් හි නිෂ්පාදන වැඩි කර ගැනීමෙන් පමණී. 

ගොවියාට පොහොර සහනාධාරය ලබාදීමට ද, විනාශ වීමට පෙර MOP පොහොර බෙදාදීම ට කටයුතු කරන මෙන් ගොවි ජනතාව වෙනුවෙන් පුරවැසියෙකු ලෙස මම ඉල්ලා සිටිමි.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගොවියකු ද, මෙම ක්‍රියාවලියට සම්බන්ධ වූ නිලධාරියෙකු ද වන මා වෙත අවස්ථාවක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි.

 

යම් හෙයකින් පොහොර සහනාධාරය ලබාදීම තවදුරටත් ප්‍රමාද කිරීමේ තීරණයක මැතිවරණ කොමිෂන් සභාව රැදී සිටින්නේ නම් ඉදිරි කන්නයේ රට තුල සහල් හිඟයක් ඇති වුවහොත් එයට මැතිවරණ කොමිසම සාමුහිකව ද, කොමිෂන් සභාවේ සාමාජිකයින් තනි තනිවම ද වගකිව යුතු බව අවධාරණය කරමි. දැනටමත් පරිහරණයට නුසුදුසු තත්වයට ආසන්න වෙමින් ඇති පොහොර තොගයේ වටිනාකම මෙම ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයින් විසින් දැරිය යුතු බව ද මහජන සුබසෙත පතන පුරවැසියෙකු ලෙස සටහන් කරමි.

 

2024 මහා මැතිවරණයේ කාල සටහන ! - (රජිත් කීර්ති තෙන්නකෝන්)රජිත් කීර්ති තෙන්නකෝන්
හිටපු පළාත් ආණ්ඩුකාර සහ 
හිටපු විධායක අධ්‍යක්ෂ 
 කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ) 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

pe2024 2

worky sin

නවතම පුවත්