මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා 'ගෑස් සිලින්ඩරය' චන්ද සලකුණ ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමට හෙට (02)
දිනයේ දී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත්, 'අලියා' සලකුණින් මහා මැතිවරණයට ඉදිරිපත්වීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කර ඇතැයි වාර්තාවේ.
එජාප නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් 'සිරිකොත' එජාප මුලස්ථානයේ දී අද (01) පස්වරුවේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම තීරණයට ගෙන ඇතැයි පැවසේ.
මැතිවරණ කොමිසම හෙට (02) දහවල් රැස්වීමට නියමිත අතර 'සිලින්ඩරය' ලකුණ සම්බන්ධයෙන්ද මතුව ඇති ඉල්ලීම මෙහිදී සලකා බැලීමට නියමිතය.
සමගි ජන බලවේගය සමග සන්ධානගතව ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්විය යුතු බවට එජාප උප නායක, හිටපු අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම්, හිටපු අමාත්‍යවරයකු වන නවින් දිසානායක සහ හිටපු මන්ත්‍රී ආශු මාරසිංහ මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වා ඇති අතර අනෙකුත් සියලුදෙනාම පාහේ පවසා ඇත්තේ, සන්ධානගතවීම සඳහා සජබ පාර්ශවයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසිය කිසිඳු ලෙසකින් හෝ අනුමත කල නොහැකි බවයි.
මහ මැතිවරණය වෙනුවෙන් සන්ධානගතවීම සඳහා රනිල් වික්‍රමසිංහ වහාම එජාප නායකත්වයෙන් ඉවත්වී, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන එජාප නායකත්වයට පත්කළ යුතු බවට සජබ පාර්ශවයෙන් ඉදිරිපත්ව ඇති කොන්දේසිය මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දැඩි ලෙස විවේචනයට ලක්ව ඇතැයි ද වාර්තාවේ.
පසුගිය ජනාධිපතිවරණ සටනේදී තමාට සහයදුන් පක්ෂ හා සන්ධාන සමග එක්ව මහ මැතිවරණයටද 'සිලින්ඩරය' යටතේ තරඟ කිරීමේ අවශතාවය එජාප නායකයා මෙහිදී පෙන්වා දී ඇත.
කෙසේවුවද , මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවති එජාප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම වලදී ද මහ මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් දීර්ඝ වෙලාවක් සාකච්ජා කර ඇත. එහිදී සංවිධායකයින් අති බහුතරයකගේ අදහස වී ඇත්තේ 'අලියා' ලකුණින් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්විය යුතු බවයි..
හෙට (02) දහවල් මැතිවරණ කොමිසමෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව රනිල් වික්‍රමසිංහ සමග එක්ව සිටින අනෙකුත් පක්ෂ හා සන්ධාන මහා මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දු ගැනීමට නියමිතය.