theleaderlk 01

යුද සමයේත් ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද කුඩා දරුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා වව්නියාවේ මව්වරුන් දියත් කළ විරෝධතාවයකට නව

ජනාධිපතිවරයාගේ අනුගාමිකයකු බව පවසන අයෙකු විසින් තර්ජනය කර තිබේ.

අතුරුදහන් කරන ලද සිය දරු දැරියන්ගේ ඡායාරූප ද ප්‍රදර්ශනය කරමින් අතුරුදහන් කරවීම් වලින් වඩාත්ම පීඩාවට පත් රටවල් තුනක් වන එල් සැල්වදෝරය, ගෝතමාලාව සහ ශ්‍රී ලංකාව ළමා දිනය සමරන ඔක්තෝබර් 1 වැනි දා ළමා දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් වව්නියාව බස් නැවතුම් පොළ ඉදිරිපිටදී  විරෝධතාවය ක්‍රියාත්මක වු  බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

එම ස්ථානයට පැමිණි පිරිමියකු උද්ඝෝෂණය අත් හිටුවන ලෙස තර්ජනය කර ඇත්තේ “මම ඉන්නේ අනුර කුමාරත් එක්ක” යැයි පාරම් බාමිණි.

“එහෙනම් අපිට යුක්තිය ඉල්ලා දියන්” යනුවෙන් මව්වරුන් එක හඬින් මොරගා තිබේ.

ලෝක ළමා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කොට ඇත්තේ 1959 දී ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියත් එයින් තිස් වසරකට පසු ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියත් යන දෙකම සම්මත කර ගත් නොවැම්බර් 20 වැනි දා යි.

විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පැමිණි පිරිමියකු විසින් ආණ්ඩුව වෙනස් වී ඇති බව පවසමින් උද්ඝෝෂණය නතර කරන ලෙස බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ නියෝජිතයන්ට තර්ජනය කර තිබුනේ ඔවුන්ට ඩයස්පෝරාවෙන් සහ එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් මුදල්ද ලැබෙන බවට චෝදනා කරමිනි.


 ‘රස්තියාදු පාට්, චන්ඩි පාට් නොදමන ලෙස’ කී බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ වව්නියාව දිස්ත්‍රික් සභාපතිනි සිවානන්දන් ජෙනීටා මාතාව ‘මේක අපේ භුමිය. අපේ රට. මේකේ අපිට අයිතිය තියනවා. අපේ යුක්තිය වෙනුවෙන් තමයි අපි සටන් කරන්නේ,’ යනුවෙන් පවසද්දී ඔහු බලය පෑවේ තමා සිටින්නේ අනුර කුමාරත් සමග බව කියමිනි.

එසේනම් නව ජනාධිපතිවරයාගෙන් යුක්තිය ඉල්ලා දෙන්නැයි පවසමින් දෙමළ මව්වරුන් ඔහුට විරෝධතාවය පළ කරද්දී එම තැනැත්තා "ගහනවා බල්ලියෝ, කෑගහන්න එපා." යනුවෙන් තර්ජනය කළ  බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ බැංකු ගිනුම්ද පරීක්ෂා කරන බවට තර්ජනය කළ ඔහු දෙමළ මව්වරුන්ගෙන් එල්ල වු විරෝධය හමුවේ එම ස්ථානයෙන් පිටව ගිය බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

නව ජනාධිපතිවරයාගේ පාලනය යටතේ කළ මුල්ම විරෝධතාවයටම එල්ල වු බිය වැද්දීම් නොතකමින් යුද සමයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද කුඩා දරුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා වව්නියාවේ බස් නැවතුම් පොල ඉදිරිපිටදී විරෝධය දියත් කළ දෙමළ මව්වරුන්ට නායකත්වය දුන් සිවානන්දන් ජෙනීටා මාතාව මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ නව ජනාධිපතිවරයා පත් වු පසු සිය විරෝධතාව ප්‍රශ්න කළ පුද්ගලයා කවුරුන්ද යන්න දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද සොයා බැලිය යුතු බවයි.


"දැන් 9 වැනි ජනාධිපතිතුමා ආවට පස්සේ අපි අපේ අයිතිවාසිකම් ලබාගන්න ප්‍රජාතන්ත්‍රවාදීව අපේ අරගලය කළා. නමුත් අපි අපේ අරගලය කරගෙන යද්දී කෙනෙක් ඇවිත් ඒක අවුල් කළා, මේ ජනාධිපතිතුමා ඇවිල්ලා  ඉන්නවා. ඔයාලාට කොහොමද මේ උද්ඝෝෂන කරන්න පුළුවන් කියලා ප්‍රශ්න කරනවා. මෙයා කවුද, මෙයාව එව්වේ කවුද කියලා මේ රටේ ඉන්න අය සහ ජාත්‍යන්තරයෙන් සොයා බැලිය යුතුයි."

ලෝක ළමා දිනය වෙනුවෙන් නිකුත් කළ පනිවිඩය මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක කියා තිබුනේ ‘කයින් මනසින් මෙන්ම අධ්‍යාත්මයෙන්ද නිරෝගී සුපසන් ළමා පරපුරක් බිහිකිරීම මඟින් අනාගත ලොව දිනන නිදහස් පරිකල්පනයකින් යුතු නිවහල් උදාර මිනිසා නිර්මාණය වන බව’  විශ්වාස කරන බවයි.

"ඒ සඳහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මානව දයාව, අන්‍යෝන්‍ය විශ්වාසය, ගරුත්වය සහ පිළිගැනීමෙන් යුක්ත සමාජය නිර්මාණය කිරීම සහ ස්වභාවික සම්පතින් සපිරි පාරිසරික උරුමය රැක දීමටත් අවැසි දේශපාලනික පරිවර්තනය අපි ප්‍රමුඛ කාර්යය සේ සළකා ඉටුකිරීමට කැපවෙමු. එකී වගකීමට අපි සැම වගවෙමු !” ඔහු වැඩි දුරටත් නිවේදනය කර තිබුනි.

පසුගිය සමයේ බලයට පත් ශ්‍රී ලංකාවේ සියළු මුල් පුරවැසියන් යුද්ධයට වග වීම බාර ගැනීමට අසමත් වු අතර සිය අසමත් කම වසා ගැනීම සදහා දෙමළ ජනතාව මෙන්ම ජාත්‍යන්තරයද රැවටු බවටත් සිවානන්දන් ජෙනීටා සිහිපත් කළාය.    


"යුද්ධය අවසන් උනාට පස්සේ මුරපොළවල්වලට සීයකට වැඩිය දරුවන් දෙමාපියන්  සමග අතට බාර දුන්නා. එයාලා කොහේද කියලා කියන්න බැරුව මේ හමුදාව, කොහේද එයාලව තියාගෙන ඉන්නේ කියලා කියන්න බැරි තත්වය යටතේ තමයි මේ  ශ්‍රී ලංකා ආණ්ඩුව පාලනය කරමින් ඉන්නේ. මේ ජනාධිපතිවරු අට දෙනාම යුද්ධයට වගවීම බාර ගැනීමට අසමත් වුනා. ඒක වහගන්න එයාලා නෑ. එයාලාව ඇල්ලුවේ නැ කියලා බොරු කියමින් ජාත්‍යන්තර සහ දෙමළ ජනතාව රවටමින් සිටියා."

බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය දරුවන්ට යුක්තිය සහ වගවීම ඉල්ලා  යාපනයේ මෙන්ම කිලිනොච්චියේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ නියෝජිතයන් විරෝධතා දියත් කර තිබුනේ ලෝක ළමා දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමිනි.

යාපනයේ පිහිටි සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) කාර්යාලය ඉදිරිපිටදිත් කිලිනොච්චියේ  කන්දසාමි කෝවිල ඉදිරිපිටදීත්  අතුරුදහන් කරන ලද සිය දරු දැරියන්ගේ ඡායාරූප ද ප්‍රදර්ශනය කරමින් ඔක්තෝබර් 1 වැනිදා ඔවුන්  විරෝධතා දියත් කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කැඳවීම පරිදි යුද්ධයේ අවසානයට පෙරදා බාර වී අතුරුදහන් වූ 280 දෙනකු අතර අටමස් බිලිඳකුද ඇතුළු වයස අවුරුදු 10ට අඩු දරු දැරියන් 29 දෙනකු පිළිබඳ මානව හිමිකම් සංවිධාන විසින් ලේඛනගත කොට තිබේ. එය එක් දිනක් තුලදී ලෝකයේ වැඩිම දරුවන් සංඛ්‍යාවක් අතුරුදහන් වූ අවස්ථාව එය බව ශ්‍රී ලංකාවේ සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) පවසයි.


දූ දරුවන් ඇතුළු සිය ආදරණීයයන්ගේ ඉරණම හෙළි කර ගැනීම සදහා දින 2780 ක් තිස්සේ කුසට නිසි ආහාරයක් පවා නොමැතිව අව් වැසි නොතකා දෙමළ මව්වරු වීදියේ අඛණ්ඩ අරගලයක යෙදී සිටිති.


 

vavuniya

pe2024 2

worky sin

නවතම පුවත්