හැකියාවක් ඇති පරිදි රැඳවියන් නිවාස සිර අඩස්සියයේ තැබීමට අවසර ලැබෙන සිරකරු ආරක්ෂණ සැලැස්මකට

ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් (Alberto Fernández) පසුගිය සතියේ සිය අනුමැතිය දුන්නේය.

රැඳවියන්ගෙන් පිරී ඉතිරී පවතින, එසේ ම අයහපත් සනීපාරක්ෂක පහසුකම් සහිත බන්ධනාගාර තුළ කොරෝනාවෛරසය ඉක්මනින් පැතිරයාමේ අනතුරක් පැවතීම හේතුවෙන් පසුගිය සති කීපය තුළ ආජන්ටිනාව පුරා සිරගෙවල්වලින් සිරකරු කැරලි ගැසීම් වාර්තා විය.

සිරකරුවන් නිවාස සිර අඩස්සියේ තැබීමට අවසර ලැබෙන ඉහත කී ජනාධිපති නියෝගය රට තුළ මතභේදාත්මක පරිසරයක් නිර්මාණය කරන ලද බවක් ද වාර්තා වෙයි.

එම ක්‍රියාමාර්ගය 'යුක්තිය මග හැරීමක්' වන බවට ඇතැමෙකු බිය පළකරන අතරවාරයේ තවත් පිරිසක් කියා සිටියේ සිරකරුවන් මුදාහරිනු ලැබීම තවත් පුළුල් මට්ටමින් සිදුකළ යුතු බවය.

 

"මගේ පුතු මැරූ සිරකරුට කෝවිඩ් මරණයක් එපා"- මවකගෙන් අපරාධකරුවෙකුට සමාවක්!

1114සිල්වියා ඔන්ටිවේරාගේ පුත්, මාධ්‍යවේදි අලෙජෝ හුනාවූ (Alejo Hunau)

මේ අතර සිය පුතු මරා දමන ලද ඝාතකයා ඇදුම රෝගියෙකු වන හෙයින් කොරෝනාවෛරස් වසංගතය හමුවේ දරුණු ජීවිත අන්තරායකට මුහුණ දී සිටින ඔහු ජීවිත දානයක් වශයෙන් දැනට රඳවා සිටින සිරගෙයින් මුදා හරින ලෙස ඉල්ලා සිටි මවක ගැන ද ආජන්ටිනාවෙන් වාර්තා වෙයි.

එම ඉල්ලීම කරන කාන්තාව එම සිරකරු මුදාහරින ලෙසා ඉල්ලා තිබෙන්නේ ආජන්ටිනා බලධාරීන් වෙත යොමු කරන ලද ලිපියක් මගිනි.

එහෙත් පසුගිය පෙබරවාරි මාසයේදී සිල්වියා ඔන්ටිවේරා (Silvia Ontivero) නම් එම කාන්තාව සිය පුතුට මරණය කැඳවූ එම සිරකරු සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ දැඩි පිළිවෙතකි. සිරකරු සිය බන්ධනාගාර ජීවිතයට තාවකාලික විරාමයක් (parole) ඉල්ලා සිටි එම අවස්ථාවේ ඇය මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ගොස් සිය පුතු මරා දැමූ සිරකරුට එවැනි විරාමයක්වත් නොදෙන මෙන් ඉල්ලා සිටියාය.

එහෙත් පැතිර යමින් පවතින කොරෝනාවෛරසය හමුවේ එම කාරණය පිළිබඳව යළිත් සිතා බැලීමට තමා යොමු වූ බව ඇය පවසන්නීය.

 

'වෛරයක් තිබුණා-මරණයක් පැතුවේ නැහැ'

"මම ඔහුට වෛර කළා. මට ඔහු ගැන තිබුණේ විශාල තරහක්, කෝපයක්. ඒත් මම කවදාවත් ඔහුට මරණය ප්‍රාර්ථනා කෙරුවේ නැහැ," සිරකරුවාගේ ජීවිතය ආරක්ෂා කෙරෙන මට්ටමේ ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස බලධාරීන් වෙත යොමුකරන ලද විවෘත ලිපියෙහි සිල්වියා ඔන්ටිවේරා සඳහන් කරන්නීය.

Alejo Hunau mom

සිල්වියා ඔන්ටිවේරාගේ පුත්, අලෙජෝ හුනාවූ (Alejo Hunau) 'මෙන්ඩෝෂා' නගරයේදී මරා දමන ලද්දේ 2004 වසරේදීය.

චූදිත ඩියාගෝ ආර්ඩුයිනෝ (Diego Arduino) එම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් වරදකර කරන ලදුව දහසය (16) වසරක සිර දඬුවමකට යටත් කරනු ලැබිණි.

පසුගිය සතියේ සිකුරාදා පැවති විභාගයකදී ප්‍රකාශයක් කළ විනිසුරු මරියානා ගාර්ඩේ(Mariana Gardey), අලෙජෝ හුනාවූ 'මෙන්ඩෝෂා' පළාතේ බරපතළ අනතුරුදායක සෞඛ්‍ය තත්ත්වයක පසුවෙතැයි සැලකෙන 400ක් පමණ සිරකරුවන් අතර එක් තැනැත්තෙකු පමණක් යයි සඳහන් කළාය.

මේ අතර පුවත්පතකට සපයන ලද විවෘත ලිපියක් මගින් අදහස් දැක්වූ සිල්වියා ඔන්ටිවේරා "තමා එම කාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සහ ගැඹුරින් සිතා බැලීමෙන් අනතුරුව තම පුතු ඝාතනය කළ සිරකරු නිවාස සිර අඩස්සියේ තැබීමේ අදහසට සහයෝගය දීමට තීරණය කළ," බව කියා සිටියාය.

"අපි දැන් කතා කරමින් සිටින්නේ වෙනත් දෙයක් ගැන. වසංගතයක් ගැන. සිරගෙවල් මිනිසුන්ගෙන් පිරිලා. එම සිරගෙවල්වල ඉන්න මිනිස්සුන්ගේ බිය සහ හැඟීම් මට තේරුම් ගන්න පුළුවන්," සිල්වියා සිය ලිපිය මගින් කියා සිටින්නීය.

''මේ වසංගතය තුළ 'ඩියාගෝ' සිරගෙයි තබා සිටීම ඔහුට මරණීය දණ්ඩනය දීමක් වෙන්න ඉඩකඩ තියෙනව. මම මගේ ජීවිත කාලය පුරා ම මරණීය දණ්ඩනයට විරුද්ධයි'' - සිල්වියා ඔන්ටිවේරා

TN පුවත් සේවයට අදහස් දැක්වූ ඇය මෙසේ සඳහන් කළාය.

"මේ වසංගතය තුළ 'ඩියාගෝ' සිරගෙයි තබා සිටීම ඔහුට මරණීය දණ්ඩනය දීමක් වෙන්න ඉඩකඩ තියෙනව. මම මගේ ජීවිත කාලය පුරා ම මරණීය දණ්ඩනයට විරුද්ධයි."

සිල්වියාත් 1976 -1983 අතර කාලයෙහි ආර්ජන්ටිනාවේ යුද්ධ හමුදා ආඥාදායකත්වය පැවති සමයෙහි නිවාස සිර අඩස්සියේ තබා සිටි දේශපාලන සිරකාරියකි.

තමා එලෙස සිරභාරයේ සිටි කාලය තමා ගැන සිතා බැලීමට කාලය ලබා දුන් බව සිහිපත් කළ සිල්වියා, තම පුතා මරා දැමූ 'ඩියාගෝ 'ත් යහපත් මිනිසෙකු බවට පත්වීමට අවශ්‍ය ප්‍රමාණවත් කාලය සහතික කිරීම සිය උවමනාව වූ බවත් මින් පෙර ප්‍රකාශ කර තිබිණි.

'ඩියාගෝ ' කල්තබා සිරගෙයින් මුදාහරිනු ලැබීමට තමා එරෙහි වුණේ, ඔහු යහපත් මිනිසෙකු කිරීමේ අදහසින් බවත් ඇය සඳහන් කර ඇත.

සිල්වියාගේ ඝාතනයට ලක්වූ පුත් 'අලෙජෝ' මාධ්‍යවේදියෙකි. එසේ ම ඔහු 'මෙන්ඩෝෂා' ප්‍රාදේශීය ආණ්ඩුවේ උපදේශකයෙකු ද විය.

ඔහු සිය තට්ටු නිවාසයේ සිටියදී මරා දමනු ලැබ තිබුණේ වයින් බෝතලයකින් පහර දීමෙනි.

නිවාස සිර අඩස්සියේ තබන්නන් අතර මානව වර්ගයාට එරෙහිව අපරාධ සිදුකරන ලද අයෙක් !

මේ අතර පසුගිය සතියේ බදාදා, ආර්ජන්ටිනාව තුළ තවත් ව්‍යාකූල තත්ත්වයක් මතු විය.

ඊට හේතුව, මානව වර්ගයාට එරෙහිව අපරාධ සිදුකරන ලද බවට අධිකරණය විසින් වරදකරුවකු කරන ලද හිටපු වෛද්‍යවරයෙකු වූ කාර්ලෝස් කැප්ඩෙවිලා (Carlos Capdevila) නිවාස සිර අඩස්සියේ තබන්නන් අතර සිටීමය.

වෛද්‍ය කාර්ලෝස් කැප්ඩෙවිලා, ආර්ජන්ටිනාවේ යුද්ධ හමුදා ආඥාදායක පාලන අවධියේ පවත්වාගෙන ගිය අපකීර්තිමත් 'එස්මා' (Esma) රැඳවුම් කඳවුරේ කටයුතු කළ තැනැත්තෙකි.

බන්ධනාගාරගත කරනු ලැබ දැනට හැත්තෑ වෙනි (70) වියේ පසුවෙන එම සිරකරු ''අධි රුධිර පීඩනය, පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවකින් සහ අවයව අක්‍රියකාරිත්වය වැනි බරපතළ ආබාධවලින් පීඩා විඳින බව විනිසුරුවෙක් ප්‍රකාශ කළේය.

 

සිරගෙවල් රැසක කැරලි ගැසීම්:

 Getty image

පසුගිය සතියේ සඳුදා පෙරූ රටේ 'ලීමා' අගනුවර බන්ධනාගරයකත් සිරකරු කැරලි ගැසීමක් සිදුවිය.

එම ගැටුමේදී සිරකරුවන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා විය.

එය Covid-19 ආසාදිත සිරකරුවන් දෙදෙනෙකු මරණයට පත්වීමෙන් පසු, සිරකරුවන් කණ්ඩායමක් ''සිරගෙය බිඳ පළායාමට ගත් සාමූහික ප්‍රයත්නයක්'' ලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් විග්‍රහ කර තිබිණි.

කොරෝනාවෛරස් වසංගතය සැලකිල්ලට ගත් කොලොම්බියාව සහ චිලී දේශය සිරකරුවන් දහස් ගණනින් මුදාහැර ඇත. ඊට සමාන වූ ක්‍රියාමාර්ගයක් ගැනීමට අවසර ලැබෙන විධිවිධාන සඳහා මෙක්සිකෝ සෙනේට් සභාවෙන් ද පසුගිය සතියේ අනුමැතිය ලැබිණි.

එහෙත් එල් සැල්වදෝරය ගනු ලැබ තිබෙන්නේ දැඩි ක්‍රියාමාර්ගයකි. සැල්වදෝර් බලධාරීන් කියා සිටින්නේ, වරදකරුවන්ව සිරභාරයේ සිටින අපරාධකරුවන් නිදහස් කළොත්, ඔවුන් වසංගතය ව්‍යාප්ත කිරීමට එය අවස්ථාවක් කර ගැනීමට ඉඩ ඇති බවය.

 

ලංකාවේ කොරෝනා පළමු 'බිල්ල' සිරකරුවෙක් !

ශ්‍රී ලංකාවේත් කොරෝනාවෛරසය පැතිරයාමත් සමඟ සිරකරුවන් රෝගයෙන් බේරාගැනීම පිණිස සුළු වැරදි සඳහා දඬුවම් ලබන සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැඳවියන් නිදහස් කරන මෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණි.

ඒ, නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිව විශාල පිරිසක් එක තැන ගාල්කර තබන බන්ධනාගාර තුළ රෝගය ක්ෂණිකව පැතිර යාමේ බරපතල අනතුරක් පවතින බැවිනි.

කෙසේවුවද, අනුරාධපුර බන්ධනාගාරය තුළ කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම වැලැක්වීම වෙනුවෙන් බලකරමින් පවත්වන ලද උද්ඝෝෂණයකට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීමෙන් පසුගිය මාර්තු 21දා රැඳවියන් දෙදෙනෙක් මරුමුවට පත් විය.

මානව ඉතිහාසයේ පෙර නොවූ ආකාරයේ වසංගතයෙන් බේරීම පිණිස මුළු ලෝකයම විවිධ ප්‍රයත්නයන් දරමින් සිටියදී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හා බැඳුනු පළමු මරණය ඝාතනයක් වීම ඛේදවාචකයකි. දෙවැනි සිරකරුවාද පසුව රෝහලේදී මියගොස් තිබුණි.

ඒ අතරේ කොරෝනා වසංගත තත්ත්වයට මුවාවෙමින්, මිරුසුවිල්හි සිදුකළ සමුල ඝාතනයකට වරදකරු වු හමුදා සෙබලකු ජනාධිපතිවරයා විසින් නිදහස් කර යැවීමට කටයුතු කළේය.

පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ අට දෙනකුගේ සමූහ ඝාතනයට වරදකාර හමුදා සෙබලාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සමාව දී නිදහස් කර යැවීමට ගත් තීරණය බල රහිත කරන ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් මේවනවිට ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ඉල්ලීමක් ද කර තිබේ.

(උපුටා ගැනීම් : බීබීසී සිංහල සේවය )

සබැඳි පුවත් :

#fightcorona : සිරකරුවන් නිදහස් කරන්න! - ඔවුන්ද මනුෂ්‍යයෝය! 

ශ්‍රී ලංකාවේ කොරෝනා පළමු බිල්ල සිරකරුවෙක් !:  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්