ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ඊයේ දිනයේ දී (මැයි 22) මාසික වැටුප ලැබිය යුතු වුවද
එහි පාලනාධිකාරිය විසින් ඊයේ හදිසියේම දැනුම් දී ඇත්තේ, දැනට පවතින මුදල් අර්බුදය හේතුවෙන් නියමිත දිනට වැටුප් ගෙවිය නොහැකි බවයි. වැටුප ලබාදෙන දිනයක් හෝ දැනුම් දී නොමැත.
සෑම මාසයක ම වැටුප් ලබාදෙන දිනය වර්ෂය මුලදීම සියලු කාර්ය මණ්ඩල වෙත දැනුම්දීම ශ්‍රී ලන්කන් පරිපාලනයේ සම්ප්රදායකි. ඒ අනුව බොහෝ මාසවලදී වැටුප හිමිවන්නේ 25 දින හෝ ඊට ආසන්න දිනකය.
කෙසේවෙතත් මැයි 25 වනදාට රාමසාන් උත්සව නිවාඩුවට ලැබීමට නියමිත හෙයින් ඊට පෙර වැටුප් ලබාදීමේ අවශ්‍යතාවය සලකා මැයි මාසය සඳහා වැටුප් ලබාදෙන දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබී ඇත්තේ මැයි 22 දිනයි.
මෙම තත්වය තුල ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලය බරපතල නොසන්සුන්තාවයකට පත්ව සිටින බව වාර්තාවේ.
බරපතල වැටුප් කප්පාදුවක් !
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මන්ඩලයට අයත් 7000 ක් පමන වන සේවක-සේවිකාවන්ගේ වැටුප් කප්පාදු කිරීමට තීන්දු කල බව එහි අධ්යක්ෂ මන්ඩලය පසුගිය දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. එම ප්‍රකාශයට අනුව, මාස තුනක කාල සීමාවක් සඳහා සියයට 5 ත් 25 ත් අතර වැටුප් කප්පාදුවක් සිදු කෙරෙන අතර, 2020 ට හිමි වැටුප් වර්ධක කපා හැරෙයි.
කප්පාදුවට යටත් වන්නේ රුපියල් ලක්ෂයට වඩා වැඩි වැටුප් ලබන අය පමනක් බව සේවකයන්ට දන්වා ඇතත්, එම ප්‍රවර්ගයට අයත්වන 1500 ක් පමන වන ගුවන් සේවකයන්ට ලැබෙන ඵලදායිතා දීමනා අහිමිව යෑමෙන් සියයකට 75 කට වැඩි මාසික ආදායමක් ඔවුනට අහිමි වෙයි.
ගුවන් සේවකයන්ට වාර්ෂිකව ලැබිය යුතු දීමනාවේ, 2019 වසරට අදාල මුදලේ දෙවන වාරිකය අප්‍රේල් මාසයේ වැටුපට එකතු කිරීමට නියමිතව තිබුනද, මේ අවස්ථාවේදී එය ද ලබාදිය නොහැකි බව ද පරිපාලනය විසින් දන්වා තිබිණ.
තම සේවක-සේවිකාවන්ගේ ජීවන කොන්දේසි සමතලා කෙරෙන රුදුරු කප්පාදුවක් ක්‍රියාත්මක කරමින් සමාගම් පරිපාලනය නරුම ලෙස කියා සිටින්නේ “ජාතික ගුවන් සේවය අඛන්ඩව පැවතීම සහතික කිරීම සඳහා එහි කාර්ය මන්ඩලය කරන බොහෝ කැපකිරීම් පිලිබඳව අවංක කෘතඥතාව පල කරන” බවයි.
කොරෝනා අස්සේ ශ්‍රී ලන්කන් සේවකයින් 400ක් දොට්ට!
කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකයින් 400 දෙනකු පමණ වහාම වැටුප් රහිත නිවාඩු යැවීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පරිපාලනය පසුගිය දා කටයුතු කළේය.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගුවන් ගමන් සිදු නොවන බැවින් හා ආයතනය බරපතල පාඩු ලබමින් පවතින බැවින් මෙවැනි තීන්දු ගෙන ඇති බව වාර්තා වෙයි.