කොරෝනා වසංගතය පැතිර යාමත් සමග තමන් යළි සිය රට ගෙන්වා ගන්නා මෙන් ලොව පුරා විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයෝ
ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීම් කළහ.
ඒ අනුව මුලින් ම චීනයේ වූහාන් නගරයේ විසූ ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු නැවත රැගෙන ඒම පිණිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් පිටත් කෙරුණු අතර, ඉන් අනතුරුව එක්සත් රාජධානිය, නේපාලය, කුවේටය, ඉන්දුනීසියාව ඇතුළු රටවල ගණනාවක වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම පිණිස ආණ්ඩුව කටයුතු සම්පාදනය කළේය.
කෙසේ වුවත් ඉක්මනින් සිය රට පැමිණීමේ බලාපොරොත්තුවෙන් තමන් සිර වී සිටින බව තවත් රටවල ගණනාවක වෙසෙන ශ්‍රී ලාංකිකයෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.
බෙලරුසියාව:
බෙලරුසියාව පුරා කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව පවසන එහි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ දෙමාපියෝ, හැකි ඉක්මනින් ඔවුන් යළි සියරට ගෙන්වා ගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරති.
තමන් පුද්ගලිකව ම සහ ලිඛිතවත් සිය ඉල්ලීම ආණ්ඩුව වෙත යොමු කර තිබෙන බව එම දෙමාපියෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.
බෙලරුසියාවේ මේ වන විට 34,000 කට වැඩි පිරිසකට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී තිබෙන අතර, 300 ක් පමණ වන ශ්‍රී ලාංකික සිසුන්ගේ දෙමාපියන් පවසන්නේ එරට නිල වශයෙන් දිනකට මරණ පහක් පමණ වාර්තාවන බවය.
රෝගයේ බරපතළභාවය නොතකා කටයුතු කරන බවට ජනාධිපති අලෙක්සන්දර් ලූකෂෙන්කෝට චෝදනා එල්ල වී තිබෙන අතර, දෙමාපියන් පවසන්නේ සිසුන් සරසවි නොයන විට ගුරුවරුන් සිසුන්ගේ නේවාසිකාගාරවලට පවා පැමිණ දේශන පැවැත්වීම ඔවුන්ගේ ජීවිතවලට බරපතළ තර්ජනයක් බවය.
බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ නීල් උනම්බුවේ කියා සිටියේ, විතෙබ්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිය දියණිය ඇතුළු දරුවන් පිරිස ඉක්මනින් ගෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමින් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ වෙත ලිපියක් යැවීමට සූදානම්ව සිටි නමුත්, එය යැවීමට ප්‍රථම ඔවුන් ගෙන්වා ගැනීම සඳහා ආණ්ඩුව කටයුතු සූදානම් කර ඇති බවය.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා රජය සහ අද්මිරාල් කොළඹගේ වෙත හදපිරි ස්තුතිය පිරිනමන බවත් ජනාධිපති නීතිඥ නීල් උනම්බුවේ වැඩිදුරටත් පැවසීය.
කෙසේ වුවත්, බෙලරුසියාවේ වෙසෙන තවත් සිසුවියකගේ පියා බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, සිසුන් පිරිස මැයි 15 වෙනි දින ගෙන්වා ගැනීමට මුලින් සැකසුම් සකස් කර තිබූ නමුත් පසුව එය මැයි 20 වෙනි දින සහ මැයි 28 දක්වා කල් දමන ලද බවය.
සිය දරුවන්ට ශ්‍රී ලංකාවේ සිට පවා අන්තර්ජාලය ඔස්සේ දිගට ම අධ්‍යාපන කටයුතු කළ හැකි වුවත්, ඔවුන් ගෙන්වා ගැනීම මෙසේ ප්‍රමාද කරනු ලබන්නේ එක්තරා ප්රභූවරයෙකුගේ දියණිය මැයි 28 වෙනි දින සිය විභාගයට පෙනී සිටීම හේතුවෙන් දැයි සැක සිතෙන බවත් සිය නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි එම පියා පැවසීය.
(උපුටා ගැනීම - බීබීසී සිංහල සේවය)