දුම්මලසූරිය, වතුගහමුල්ලේ පිහිටි, හේලීස් සමූහයට අයත් චේස් පී හේලීස් කොහු කර්මාන්ත ශාලාවේ සේවකයින්

මාසයකට වැඩි කාලයක් පුරා අඛන්ඩ වර්ජනයේ නිරත වී සිටිති. ඒ, කම්හල් පරිපාලනය විසින් සිය වැටුප් කප්පාදු කිරීමටත්, නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීමටත් විරෝධය පළකරමිනි.

රට තුල කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙම කම්හලේ නිෂ්පාදන කටයුතු  මාර්තු මස මැදදී නවතා දමා තිබිණ. අප්‍රේල් මස නැවත වැඩ ආරම්භ කිරීමේ දී, සමාගම් පරිපාලනය විසින් සේවකයින්ගේ වැටුප අඩකින් පමන කප්පාදු කර, නිෂ්පාදන ඉලක්ක ඉහල දමා තිබේ.

අප්‍රේල් සහ මැයි මාසවල වැටුප් පමනක් නොව, සෑම වසරකම අප්‍රේල් මාසයේ දී ලබාදෙන අවුරුදු දීමනාව ගෙවීම ද කම්හල් පරිපාලනය විසින් පැහැර හැර තිබේ.

180 ක් පමන වන කම්හලේ සේවකයින් පරිපාලනයේ මෙම ප්‍රහාරවලට එරෙහිව කම්හල ඉදිරිපිට මාර්ගය හරස් කොට පසුගිය මැයි 04 දා විරෝධතාවයක් පැවැත්වූහ.

 

සේවකයින්ගේ වැටුප වියනු ලබන ලනු ප්‍රමානය අනුවයි :  

කම්හලේ සේවකයින්ගේ වැටුප තීන්දු කරනු ලැබුවේ සේවකයින් විසින් වියනු ලබන ලනු ප්‍රමානය අනුවයි. පැය 08 ක වැඩ මුරයක ලනු විවීමේ නිරතවන කම්කරුවෙකු හට දිනකට උපයා ගත හැකි වූයේ රුපියල් දහසක් පමනි. නව කොන්දේසි යටතේ එම අගය රුපියල් 310 කින් පමන කප්පාදු වනු ඇත.

ලනු විවීමට ගන්නා කොහුවල රොඩු සහිත වීම හෝ වෙනත් හේතූන් මත කොහුවල තත්වය බාල වුවහොත් විවිය හැකි ලනු ප්‍රමානය අඩුවන බවත් එවන් දිනවලට කම්කරුවන්ගේ වැටුප රුපියල් 415 ක් තරම් සොච්චමක් වන බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (wsws.org) සමග අදහස් දැක්වූ සේවකයින් ප්‍රකාශ කර තිබේ.  

වසර 11 ක සේවා කාලයක් ඇති මුත් රැකියාව ස්ථීර නොමැති දෙදරු මවක්, ලනු විවීමේ නිරත කම්කරුවන්ගේ කොන්දේසි එම වෙබ් අඩවියට මෙසේ විස්තර කර ඇත.

 “තුන් දෙනෙක් වැඩ කරන මැෂින් එකක පොටවල් කිහිපයකින් යුත් ලනු මීටර් 250 ක රෝලක් වියන්න අපිට රුපියල් 64 ක් දුන්නා. ඒ වගේ රෝල් 45 ක් විතර අපි දවසකට ගහනවා. එක් අයෙකුට රුපියල් දාහක් විතර දවසකට ලැබුනා. දැන් රෝල් ගනන 65 ක් දක්වා වැඩි කරලා. එකකට ගෙවන ගානත් රුපියල් 18 කින් කපලා. ඒ අනුව අපේ පඩිය රුපියල් 350 න් විතර කපලා. අනික ඒවගේ ටාගට් එකක් අපිට දෙන්න බෑ”.  

ඇයගේ ස්වාමිපුරුෂයා අසනීප තත්වයෙන් පසුවෙයි. ඒ තත්වයේ දී ස්වාමිපුරුෂයා හා පාසල් යන එක් දරුවෙකු ඇගේ වැටුපෙන් යැපෙන බව පවසන ඇය වැටුප් කප්පාදුව අසාධාරන බවත් එය දරා ගත නොහැකි බවත් කියා සිටියි.

වැටුප් නොගෙවූ අප්‍රේල් සහ මැයි දෙමස වෙනුවෙන් වැටුපෙන් අඩක් ගෙවන ලෙස කම්කරු කාර්යාලයෙන් පරිපාලනයට උපදෙස් දී ඇතිබව සඳහන් කර ඇති තවත් කම්කරු කාන්තාවක්,  එය “බලවත් අසාධාරනයක්” බව කෝපයෙන් ප්‍රකාශ කරයි.

“ෆැක්ටරි හිමියෝ මෙහෙම වැටුප් කපන්නේ හාල් ඇතුලු කන බොන දේවල්වල මිල අඩු කරලා දැ” යි තවත් කම්කරුවෙක් ප්‍රශ්න කරයි. නව ක්‍රමයෙන් කම්කරුවෙකුගේ මාසික වැටුපෙන් රුපියල් 7,000 ක් විතර කප්පාදු වන බව ඔහු පෙන්වා දෙයි.

 

'හේලිස් එකෙන් ආණ්ඩුවට දීපු ගාන අපෙන් අල්ලන්නයි හදන්නේ'

Dammika perera

“ආන්ඩුවේ කොරෝනා අරමුදලට හේලිස් එකෙන් මිලියන ගානක් දීලා තියෙනවා. දැන් ඒවා අපෙන් අල්ලන්න හදනවා වගේ. කොහොම වුනත් අපි දන්න විදිහට ගිය අවුරුද්දේ ලාභවලින් මේ අවුරුද්ද දුවන්න තරම් ලාභයක් ෆැක්ටරියට තියෙනවා” යයි තවත් කම්කරුවෙක් පවසයි.

හේලීස් සමූහයට අයත් තවත් කොහු කම්හලක් දුම්මලසූරියට සමීප නගරයක් වන මාදම්පේ පිහිටා තිබේ. එහි කම්කරුවන් ද නව ප්‍රහාරවලට යටත් කොට ඇති බව සහ වතුගහමුල්ල කම්හල වසා දමා තිබෙන තත්වයේ දී එහි ඇති කොහු මාදම්පේ කම්හලට ගෙන ගොස් නිෂ්පාදන කටයුතු ගෙන යන බව සේවකයින් පැවසූහ.

ලංකාවේ ඉහලම ධනපතියා ලෙස සැලකෙන ධම්මික පෙරේරා හේලීස් සමූහයේ සම සභාපතිත්වය දරයි. කෘෂි, වතු, ඇඟලුම්, කොහු, හෝටල්, ප්‍රවාහන වැනි ක්ෂේත්‍ර ගනනාවක නිෂ්පාදනය කටයුතු සිදු කරන හේලීස් සමූහය රටවල් ගනනාවකට සිය නිෂ්පාදන අපනයනය කරන දැවැන්ත සමාගමකි. නිෂ්පාදනය කරන ලනු ඇමරිකාව, ජපානය සහ යුරෝපයේ තවත් රටවලට අපනයන කරනු ලැබේ.

(මූලාශ්‍රය - wsws.org)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්