දිවයිනේ පාසල් බොහොමයක විදුහල්පතිවරුන් කොරෝනා නීති රීති උල්ලංඝනය කරමින් ඉතා අත්තනෝමතික ආකාරයට

පාසල්වල ගුරු මණ්ඩල රැස්කිරීම්, දෙමාපියන් රැස්කිරීම්, දරුවන් පාසලට කැඳවීම් සිදුකර ඇති අතර තවදුරටත් එසේ සිදුකරමින්ද පවතින බව ලංකා ගුරුසේවා සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමුකර ඇති ලිපියක එබව සඳහන්වේ.

පිළි/කොතලාවලපුර පාසලේ නවාතැන් ගෙන සිටින නාවික හමුදා සෙබළුන් 6කට ආසන්න පිරිසක් කෝවිඞ් 19 ආසාධිතයන් බව තහවුරු වී තිබීමත්, ඒ අනුව පසුගියදා එම පාසලට පැමිණි ගුරුවරුන් 26 දෙනෙකු ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය කිරීමට සිදුවීමත් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් එම ලිපිය යොමුකර තිබේ.

ඉහත විද්‍යාලයේ විදුහල්පති විසින් 2020 මැයි 21 දින තම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය පාසලට කැඳවීම තුළ ඇති වී තිබෙන අන්දෝලනාත්මක තත්වයට වගකිවයුත්තේ කවුරුන්ද පිළිබඳ සොයා බැලිය යුතු බව එම සංගමය කියා සිටියි.   පාසල තුල නාවික හමුදා කඳවුරක් පවතින පසුබිමක් තුල විදුහලේ ආචාර්ය මණ්ඩලය උක්ත දින කැඳවීමට ගෙන ඇති තීරණය පවතින කොරෝනා නීතිරීති උල්ලංඝනය කිරීමක් බව ඉතා පැහැදිලි බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

මේ හේතුවෙන් පාසලේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයනුත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හා සමීපතයන් බලවත් අපහසුතාවයට පත්වීමත්, ඔවුන් වෙත සමාජයෙන් මතුවන බලපෑමත් පිළිබඳ අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන්ගේත්, දේශපාලන අධිකාරියේත් විශේෂ අවධානය යොමු විය යුතු බව එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

 

නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය හා මාම්පේ ධර්මරාජ :

තම සංගමය වෙත වාර්තා වී ඇති අන්දමට දිවයිනේ පාසල් බොහොමයක විදුහල්පතිවරුන් කොරෝනා නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පවසන ලංකා ගුරුසේවා සංගමය, නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ පසුගිය දිනක ගුරුවරුන් කැඳවා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීමකින් තොරව ගුරු රැස්වීම් පවත්වා ඇති බවත්,  බප/පිළි/මාම්පේ ධර්මරාජ විදුහලේද මේ ආකාරයේ ගුරු රැස්වීම් පවත්වා ඇත්තේද කොරෝනා නීති රීති උල්ලංඝනය කරමින් බවත් කියා සිටියි.

ඉහත කී සිද්ධීන් පිළිබඳව දැඩි අවධානය යොමුකරන මෙන් අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින එම සංගමය, පවතින වසංගත තත්වය තුල අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව විධිමත් උපදෙස් මාලාවක් නිකුත් කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ගෙන් ඉල්ලා සිටියි.

ඉහත තත්වය කඩිනමින් පාලනය නොකළහොත් පාසල් මට්ටමින් කොරෝනා වසංගතය ව්‍යාප්තවීම දක්වා මෙය වර්ධනය විය හැකි බවට එම සංගමය අනතුරු අඟවා සිටියි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්