ජුනි 20 දා මහ මැතිවරණය පැවැත්විම සහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය
බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභා කළත් ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් ගෙන යන සටන ඉදිරියටම ගෙන යන බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් කියයි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ඊයේ (02) පස්වරුවේ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිය.
දින 10 ක් පුරා පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකාර පාර්ශ්වය විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතාවය පිළිගෙන පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබුණි.
ජුනි මස 20වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පාර්ශව 07 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණි.
එම පෙත්සම් වලට එරෙහිව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමි ආචාර්ය ගුණදාස අමරසේකර නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත ඇතුළු පාර්ශව 15 ක් විසින් අතරමැදි පෙත්සම් ගොනුකර තිබුණි.
''නිෂ්ප්රභා කළා. එයට හේතු කීවේ නැහැ.''
මෙම නඩු තීන්දුවෙන් පසු අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණි ජනාධිපති නිතීඥ ඒම්.ඒ. සුමන්තිරන් මෙසේ පැවසිය.
"මේ ගොනු කර තිබු නඩු වල මූලික කාරණා දෙකක් තිබූණා. ඉන් පළමුවැන්න ජුනි 20 මැතිවරණය පැවැත්වීමට එරෙහිවයි. දෙවැන්න පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනක් ඉක්ම ගොස් ඇති නිසා ඒහි වලංගුභාවය ගැන ප්‍රකාශයක් කිරීමටයි.
නඩුව පටන් ගත් පළමු දිනයේම මැතිවරණ කොමිසම ජුනි 20 මැතිවරණයක් පැවැත්විමට නොහැකි බව අධිකරණයට දැනුම් දීම නිසා පළමු නඩුව ඉදිරියට ගෙන යන්නේ නැති මම ප්‍රකාශ කළා. එම සහනය එදිනම ලැබුණු අතර දෙවැනි කරුණ සම්බන්ධයෙන් මුලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් වුණා.
දවස් 10 ක් මේ සම්බන්ධයෙන් වාද විවාද කළා. අද දීපු නියෝගය තමා මේ මූලික විරෝධතා පෙත්සම් ඉදිරියට ගෙන යාමට නොහැකි බව පවසා මේ නඩුව විභාගයට නොගෙනම නිෂ්ප්රභා කළා. එයට හේතු කීවේ නැහැ. ඒ සම්බන්ධයෙන් හේතු ඉදිරියේදී ඉදිරිපත් කරයි කියා මා සිතනවා"
(aithiya.lk)