පසුගිය දශකය තුළ ආර්ථිකයේ වර්ධන ප්‍රමාණය දෙගුණ කිරීම සටහන් කරමින් 2020 වර්ෂය ආර්ථික වර්ධනයේ සැමරුම් උත්සවයක් පැවත්වීමට හැකිවනු ඇතැයි චීනයේ නායකත්වය අපේක්ෂා කළේය. එහෙත් නව

කිරීටක වෛරසය එම අපේක්ෂාව බොඳ කර දමා ඇත.

අපේක්ෂා කළ කාලයට වඩා කඩිනමින් චීනය තුළ වෛරස් වසංගතය පාලනය කර ඇතත්, සත්‍ය වශයෙන්ම සිදු වී ඇත්තේ වෛරසය පැතිරීමේ ප්‍රමාණය හා වේගය චීන සමාජය අංශභාග තත්ත්වයට පත් කර තිබීමය.

චීනයේ වසංගතය මන්දගාමී වූයේ පෙබරවාරි මැද භාගයේ දී රට පුරා සිදු කළ වසා දැමීම් නිසාය. මාර්තු 10 වන දින ජනාධිපති ෂී ජින්පින් , හුවෙයි පළාතේ අගනුවර වන වුහාන්  හී සංචාරය කළේය. මාර්තු 19 වන විට චීනය තුළ සොයා ගන්නා ලද කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීග්‍ර ලෙස පහල ගියේය.

වසංගතයේ නව කේන්ද්‍රස්ථානය හා වෛරසය පැතිරීමේ වේගවත්ම ස්ථානය ලෙස ඇමරිකා එක්සත් ජනපදය පත් වූ විට , ඇමරිකාවේ ජීවත්වීමට වඩා චීනයේ ජීවත්වීම  ආරක්ෂිත බවට මතයක් ඇති වන්නට විය.

එය එසේ වුවද, මෙම වෛරසයෙන් ආර්ථික වශයෙන් දරුණුම හානියට පත් වී ඇත්තේ චීනය ය. මූල්‍ය ආධාරයකින් වුවද  චීනයට යථා තත්ත්වයට පත්වීමට හැකි වෙතැයි යන අපෙක්ෂාව තබා ගැනීමට පවා මේ වන විට අවිනිශ්චිතය.

චීනයේ ඵලදායිතාවය තිරසාරව යථා තත්ත්වයට පත් කිරීමට නම්, ඇමරිකා එක්සත් ජනපද ඉල්ලුම, යළිත් යථා තත්ත්වයට පත් කිරීම අත්‍යාවශ්‍ය ය.

r
චීනය විසින් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද ආර්ථික දර්ශක, වෙළඳපොල නිරීක්ෂකයන් විසින් මීට පෙර පුරෝකථනය කරන ලද ප්‍රමාණයට වඩා බෙහෙවින් දුර්වලය. සිල්ලර විකුණුම් 20.5% න් ද, කාර්මික නිෂ්පාදන 13.5% න් ද පහත වැටී ඇත.

ආර්ථික විශ්ලේෂකයින් විසින් චීන ආර්ථිකය පිළිබඳ ඔවුන්ගේ දෘෂ්ටිවාදය මේ වන විට දක්වා තිබේ. ඊට අනුව, ප්‍රධාන මූල්‍ය උත්තේජනයක් සහ පොලී අනුපාතය කප්පාදු කිරීමක් කර තිබියදීත්, 2020 වර්ධනය සඳහා ඇස්තමේන්තු මුල් ඉලක්කය වූ 6% ආර්ථික වර්ධනය 4% සිට 1% දක්වා පහත වැටීමක් සිදුවනු ඇතැයි ඔව්හූ පුරෝකථනය කර ඇත.

සාර්ස් ( SARS ) වෛරසය හේතුවෙන් 2002- 2003 වසර වල චීන ආර්ථික ප්‍රකෘතිය, වී (V) හැඩයක් ගත් අතර, චීනය ඒ අවධියේ සිය කෙටි කාලීන අලාභයන් සියල්ලම පියවා ගත්තේ බටහිර රටවල ශක්තිමත් පාරිභෝගික ඉල්ලුමට කඩිනමින් ප්‍රවේශ වීමෙන්ය.

2008 දී පැවැති ලෝක ආර්ථික අර්බුදයේදී ද , අනෙකුත් රට වලට සාපෙක්ෂව චීනය බලපෑමකට ලක් නොවූ අතර, ගෝලීය නිෂ්පාදන සහ සැපයුම් ජාල අඛණ්ඩව ක්‍රියාත්මක වූ නිසා වේගවත් ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යෑමට චීනයට හැකි විය.

නව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ප්‍රධාන යුරෝපීය ආර්ථිකයන් සියල්ලම පාහේ අවුල් ජාලයකට පත්වී ඇති අතර, චීනයේ ආර්ථිකය ද නැවත ආරම්භ වෙමින් පවතින්නේ මන්දගාමීවය.

බටහිර රටවල් හරහා ප්‍රමාණවත් ගණු දෙනු කරුවන් සොයා ගැනීමට චීනයට අරගලයක් කිරීමට සිදුවී ඇත. වෙනත් රටවල නැගී එන වෙළඳ පොලවල් යුරෝපයේ මෙන් චීනයේ හානිය අවම කර ගැනීමට ප්‍රමාණවත් නැත.

කොරෝනා වෛරස් වසංගතයත් සමඟ ප්‍රධාන බටහිර සමාගම් සිය නිෂ්පාදන වසා දැමූ බැවින් , සැපයුම් දාම කඩාකප්පල් වී තිබේ. වසංගතය නිසා දැඩි ලෙස බලපෑමට ලක් වූ අංශ යටතට , මෝටර් රථ නිෂ්පාදන සහ සංනිවේදන උපකරණ නිෂ්පාදන ද ඇතුළත් ය.

චීනයට බරපතල චෝදනා


කොරෝනා වසංගතය ව්‍යාපතවීම පාලනය නොකිරීම සම්බන්ධයෙන් , ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින්  චීනයට කරන චෝදනා බරපතලය. එය උපයෝගී කර ගනිමින් වෙළඳ හා ආයෝජන ප්‍රථිසංස්කරණ සඳහා චීනයට බලපෑම් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් තීරු බදු පුළුල් ලෙස භාවිතා කිරීම පදනම් කරගත් තර්කණය නැවත විමර්ශනය කිරීමට බල කර ඇත.

පසුගිය ජනවාරි මාසයේ දී ඇමරිකාව් චීනය සමඟ ඇති කර ගත් වෙළඳ ගිවිසුම මේ වන විට අක්‍රීය වී තිබේ. තීරු බදු වෙළඳ සීමාවන් සමඟ සම්බන්ධ කිරීමේ එක්සත් ජනපද උපාය මාර්ගය වැනි ප්‍රවේශ , චීන ඇමරිකා වෙළඳ ගිවිසුමේ ප්‍රමුඛතා සමඟ නොගැලපෙන තැනට පත් වී ඇත.

වඩා හොඳ වුවත්, වඩා නරක වුවත් , ගෝලීය ආර්ථිකය පදනම් වී ඇත්තේ සම්බන්ධතා මතය. චීනයේ හා බටහිර රටවල  අාර්ථික වර්ධනය නැවත පණ ගැන්වීමට නම්, ලෝක වෙළඳාම සහ හොඳින් ක්‍රියාත්මක වන සැපයුම් ජාලයන් හී පුණර්ජීවනය අත්‍යාවශ්‍ය කරුණක් බවට පත් වී ඇත.

කොමියුනිස්ට් පක්ෂ පාලනයේ රාමුවක් සහිත " රාජ්‍ය ධනවාදය " මඟින් , චීනය වෙළඳපොල ආර්ථිකයක් බවට පත් කළ ඩෙන්ග් ෂියාඕපින්ග් ගෙන් ආරම්භ වූ චීන ආර්ථික වර්ධනය, පදනම් වූයේ ලාභ ශ්‍රමය සහ අති විශාල වූ බටහිර වෙළඳපොල මතය.

" බළලුන් මීයන් අල්ලා ගන්නේ නම්, බළලාගේ වර්ණය සොයන්නේ කුමකට ද?


" බළලුන් මීයන් අල්ලා ගන්නේ නම්, බළලාගේ වර්ණය සොයන්නේ කුමකට ද? " යැයි ඩෙන්ග් ෂියාඕපින් ඇසුවේ , ඔහු ඇමරිකාව සමඟ ගිවිසුම් ගැසූ මුල් අවධියේ දීය.

මානව හිමිකම් සහිත බටහිර පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වූ ඩෙන්ග් ෂියාඕපින් , එම ප්‍රජාතන්ත්‍රවාදය සැලකුවේ කොමියුනිස්ට් පක්ෂ පාලනයට එල්ලවිය හැකි තර්ජනයක් ලෙසය.

වත්මන් චීන නායක ෂී ජින්පින් , ඩෙන්ග් ෂියාඕපින්ටත් වඩා එම ප්‍රතිපත්තියේ පිහිටා ඊටත්  වඩා ඒකාධිපති ස්වරූපයකින් පාලනය ගෙන යන්නෙකි. 

චීනය තුළ ශ්‍රමය සූරාකෑමෙන් ගොඩ නඟා ගත් අතිරික්ත මූල්‍ය ප්‍රාග්ධනය, ලොව පුරා වපුරමින්, එසේම බටහිරයන්ට අභියෝග කරමින් , සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ,සමාජ ,ආර්ථික, දේශපාලන සහ භූමිය පවා හැසිරවීමට පටන් ගෙන ඇති චීනයට ,එම මාර්ගය ඔස්සේ බාධාවකින් තොරව ඉදිරියට ගමන් කළ නො හැකි වටපිටාවක් මේ වන විට මතුවෙමින් තිබේ.

කොරෝනා වෛරස් වසංගත අර්බුදය තුළ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්, චීන භාණ්ඩ මිලදී ගැනීම අවම කිරීමටත්, චීනය තුළ පවත්වාගෙන යන මහා පරිමාන බටහිර ව්‍යවසායන් චීනයෙන් ඉවත් කර ගැනීමටත්, සැලසුම් කර තිබීම හේතුවෙන් චීනය බලවත් ආර්ථික අර්බුදයකට පත්වීම නො වැලැක්විය හැකිය.

新华社照片,武汉,2020年2月12日    武汉体育中心方舱医院开始收治首批患者    2月12日,来自安徽医疗队的陈荔英(左)与同事在门口等待转运来的患者。    当日下午,位于武汉体育中心的方舱医院正式启用,提供1100张医疗床位,收治新冠肺炎轻症患者。    新华社记者 肖艺九 摄
චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළ නිලධාරීන් අතලොස්සකගේ අභිමතය පරිදි රාජ්‍ය පාලනයක් ගෙනයමින්, රටේ ධනයෙන් අති විශාල ප්‍රමාණයක් 1% ක් තරම් වූ පිරිසක් විසින් අත්පත් කරගනිමින් ,පොදු ජනතාව අතර නිසි පරිදි ආදායම් බෙදීමක් සිදු නොකොට ශ්‍රමය කුණු කොල්ලයට ලබා ගන්නා රටකට මෙම අර්බුදය අභ්‍යන්තර ගැටලු තිව්‍ර කිරීමට හේතු විය හැකිය.

එසේම ලාභ ශ්‍රමය මත නිෂ්පාදනය කරන භාණ්ඩ,  අඩු මිලකට බටහිර වෙළඳ පොල තුළට පිවිසීම අවම වීමේන්, බටහිර පාරිභෝගිකයන්ට භාණ්ඩ සඳහා පෙර කලට සාපේක්ෂව  අධික මිලක් ගෙවන්නට සිදුවිය හැක.

එහෙත් චීනය තුළ පවතින  බටහිර ව්‍යවසායන් ඉන්දියාව වැනි වෙනත් ආසියාතික රටවලට ගමන් කිරීමෙන් පසුව එකී රටවල ලාභ ශ්‍රමය මත පදනම්ව නිපදවන භාණ්ඩ නැවතත් බටහිර වෙළඳ පොල තුළට පිවිසීමෙන් එම ගැටලුව විසඳා ගැනීමට බටහිර රාජ්‍යයන් සමත්වනු ඇත.

මාඕ සේතූං ගේ " ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්ව" පාලන විධි ක්‍රමය ප්‍රතිසංස්කරණයකට ලක් කළ ඩෙන්ග් ෂියාඕපින් චීනයට හඳුන්වා දුන් " එක් රටක් පද්ධති දෙකක්" යන මූලධර්මය, එනම් එකම දේශපාලන අධිකාරියක් යටතේ කොමියුනිස්ට්වාදය සහ ධනවාදය සහජීවනයෙන් පවත්වාගෙන යෑම යන මූලධර්මය ඉදිරියේ දී අර්බුදයට ගමන් කරනු ඇත.

ෂී ජින්පින් ගේ නායකත්වය යටතේ වත්මන් චීනය වඩාත් ඒකාධිපති ස්වරූපයක පාලනයකට නතුවී ඇති අතර,  ලෝක බලවතුන්ට අභියෝග කරමින් , පරිධියේ රටවල් තම අණසකට නතු කර ගැනීමට යන ගමන කෙලවරවනු ඇත්තේ " එක් රටක් පද්ධති දෙකක්" යන මූලධර්මය සුණුවිසුනු වීමෙන් විය හැක.

සුනිල් ගාමිණී

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්