මහ මග පහරදී වෘත්තීය සමිති නායකයකු ඝාතනය කිරීම  සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායකයා ආණ්ඩුවට වරද පවරා තිබේ.

 ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ ඝාතනය ත්‍රීරෝද හිමියන් වෙත ආණ්ඩුව විසින් ලබාදෙන බවට පොරොන්දුවූ කල්බදු සහන ලීසිං සමාගම් වෙත නිසියාකාරයෙන් දැනුවත් නොකිරීම නිසා සිදුවුවක් බවයි සමගි ජන බලවේගයේ නායකයා පවසන්නේ.

 ආසන්න කාලයේ දී රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉහළ ගොස් ඇති අතර මිනීමැරුම්, පහරදීම්, මංකොල්ලකෑම ආදී කටයුතු වැඩි වශයෙන් අසන්නට ලැබෙන බව ඔහු සදහන් කළේ ජුනි 11 බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

වීඩියෝ 


 සැකකරුවන් 08ක් රිමාන්ඩ් :

සිය සංගමයේ සාමාජිකයකුගේ  ත්‍රීරෝද රථයක් ෆිනෑන්ස් සමාගමක් විසින් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ඇති වු ගැටළුවක් පිළිබදව මිරිහාන ප්‍රදේශයේ පිහිටි එම කල්බදු සමාගමේ සේවකයන් සමඟ සාකච්ඡා කිරීමට යෑමේ දී ඇති වු ආරවුලක් හේතුවෙන් සිදුවු පහර දීමකින් සුනිල් ජයවර්ධනගේ මරණය සිදු ව ඇති  බව පොලීසිය පවසයි.

ඇඳිරි නීතියට පොලියත් අල්ලලා:

නිරෝධායන ඇදිරිනීතිය රට පුරා ක්‍රියාත්මක වු පසුගිය මාස තුනක කාලයට අදලාව කල්බදු වාරික නොගෙවීම නිසා ත්‍රිරෝද රථය එම ලීසිං සමාගම පැහැරගෙන ගිය බවට ත්‍රී රෝද රථයේ හිමිකරු මංජුල කිත්සිරි සිය සංගමයේ සභාපතිවරයාට පැමිනිලි කර තිබේ.

 වාරික තුනෙහි එකතුව රුපියල් තිස් එක් දහස් දෙසීයක් වුවද එම මුල්‍ය සමාගම එම කාලයට අදාලව පොලියද එකතු කර රුපියල් තිස් පන්දහසක් එකවර ගෙවන ලෙස දන්වා එම ත්‍රීරෝද රථය පැහැරගෙන තිබේ.

 මෙම ඝාතනය සිදුව ඇත්තේ ත්‍රිරෝද රථ හිමියන්ට කල් බදු සහන ගෙවීමට රජය විසින් මාස හයක  සහන කාලයක් ලබා දී තිබු පසුබිමකයි.

 කල්බදු සමාගම  පැහැරගත් ත්‍රී රෝද රථයේ හිමිකරු මංජුල කිත්සිරි මාධ්‍යවේදීන් හා කියු තිබුනේ සිය ත්‍රිරෝද රථය බේරා දීමට  ගොස් සුනිල් ජයවර්ධන ජීවිතයෙන් වන්දි ගෙවු බවයි.

 මිය යන විට  53 වියේ පසුවු වෘත්තිය සමිති නායක  සුනිල් ජයවර්ධන  කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 සුනිල් ජයවර්ධනයේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් එම කල්බදු සමාගමේ සේවකයන් අට දෙනකු නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන්   ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

වීඩියෝ පටයක් !

පහර දීමෙන් ජිවිතක්ෂයට පත්වූ සුනිල් ජයවර්ධන එම කල්බදු ආයතනයේ නිලධාරින් සමග සිදුකළ සාකච්ජාවක වීඩියෝපටයක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අතර එයින් ඔහු ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇත්තේ ඒ කල් බදු ආයතන මැරයන් යොදා වාහන පැහැරගැනීම සිදු කිරීම නවත්වන ලෙසයි.

 ඊට අමතරව සුනිල් ජයවර්ධනට සිදුකළ පහරදීම යයි සැකකෙරෙන පෞද්ගලික ලීසිං සමාගමක් ඉදිරිපිට සිදුවන පහරදීමක් සම්බන්ධ වීඩියෝවක් ද සමාජ ජාලවල සංසරණය වෙමින් පවතියි. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්