සිවිල් යුද්ධයක් සැම විටම ඒ භූමියේ ජීවත්වන සෑම කණ්ඩායමකටම ජාතිකත්ව වේවා මතවාදී වේවා එක්වරම හානි පමුණුවයි.

එහි දී ප්‍රාරම්භකත්වය, බලයේ අසමානතාව අනුව හානියේ තත්ත්වය ගණනය කළ හැකි වුවද මනුෂ්‍යත්වයට වන හානිය ඉලක්කම් වලින් මිනිය නොහැකිය.

කෙසේ වෙතත් අන්තර්ජාතික යුද්ධයක දී ට වඩා සිවිල් යුද්ධය ජනතාවගේ ජීවිත වලටත් දේපලටත් වඩා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයටත්, ඒ අනුව මනසටත් හානි පමුණුවයි.

ලංකාවේ සිවිල් යුද්ධය හමාර වී දශකයක් ඉක්මවද්දී පවා රාජ්‍ය බලයේ හිමිකාරීත්වය උසුලන සිංහලයෝ තමන්ගේ ජාතියේ මනුෂ්‍යයන්ට, ආගමට හා ඒ ආශ්‍රිත පුරාවිද්‍යා ස්මාරක ආදියට සිවිල් යුද්ධයෙන් සිදුවූ හානිය වාර්ෂික සැමරුම් ලෙස සවිස්තරව සිංහල/ඉංගිරිසි ‘ජාතික’ ජන මාධ්‍යයන්හි ඉස්මතු කරති.

 

ජාතිවාදය නඩත්තු කිරීම :

ඒ හුදු ගතවූ කාලයක තොරතුරු මතක් කර දීමට වඩා මහ ජාතිවාදය නඩත්තු කිරීමේ අටියෙන් බවද ඒවා ඉදිරිපත් කරන ස්වරූපය අනුවම දෘශ්‍යමාන වේ.

නමුත් මේ සිවිල් යුද්ධයෙන් හා සිංහල බෞද්ධ මහ ජාතිවාදයේ රාජ්‍ය බලය මගින් අනෙක් ජාතිකයන්ට එරෙහිව විශේෂයෙන් දෙමළ ජනතාව ජීවත්වන ගම්බිම් ඉලක්ක කර දියත් කළ සමූල ඝාතන නිසා වැනසී ගිය ස්වකීයයන් හා ගණන් මිනුම් නැති දේපල හානි පමණක් නොව ඔවුන්ගේ ඉතිහාසයට, ස්මාරකයන්ට, සොහොන් බිම් වලට, ගම්බිම් වලට සිදු වූ විනාශ ජාතියක් වශයෙන් සැමරීමට හෝ ඉඩක් විවරයක්, අවසරයක් නැත.

 ඒ ඒ සිදුවීම් එකිනෙකට සම්බන්ධයක් නැති අහම්බයන් සේ ගෙන ප්‍රදේශගත හුදකලා සැමරුම් හෝ ආගමික චාරිත්‍ර ඉටු කෙරෙනවා විය හැකි ය. එවැන්නකට ඉඩ ලැබෙන්නේ නම් ඒ එවන් සැමරුම් දේශපාලන වශයෙන් අභියෝගාත්මක නොවන නිසාත්, අදාල පාර්ශවයන් ‘අපේ උන් වෙනුවෙන් මේ දේ කළා නේදෝ’ යි සැනහීමට පත් වනු ඇතැයි සිතන නිසාත් ය.

නමුත් ගණන් ගැනීමක් වන්නේ නම් එවන් විටෙක දී බොහෝ දෙනෙකුගේ අතැ’ඟිලි අවශ්‍ය වන මේ ජන සංහාර ප්‍රමාණය සමස්තයක් ලෙස එක් සමරුවකට ගොනු කිරීමට ඉඩ ලැබේ ද? අත්දැකීම නම් එයට ඉඩ නොලැබෙන බවයි.

 

‘ඉල්ලං කෑම්’ සමරන්නේ කව්රුන් ද?

 එවැන්නකට සූදානම් වීම වුව බෙදුම්වාදයේ නැගීමක් ලෙස පෙරකී ජනමාධ්‍ය විසින් හදුන්වනු ලබයි. එතැනින් නොනැවතෙන මේ මාධ්‍යකරුවෝ දෙමළ ජනතාව මුහුණ දුන් ඒ ජීවිත හා දේපල හානිය දක්වන්නේ වෙනත්ම කෝණයකින්ය. ඒ එවන් හානි විහින් කරගත් දෑ ලෙසය. අපේ ග්‍රාම්‍ය බාසාවෙන් කියන්නේ නම් “ඉල්ලං කෑමක්” ලෙසය. ‘ඉල්ලං කෑම්’ සමරන්නේ කව්රුන් ද?

 “ඉල්ලං කෑම” යන මේ වහරට පැහැදිලි අරුතක් තිබේ. එනම් බලවතා සමග ගැටීමෙන් හරි හෝ වැරදි වේවා වැඩිම හානිය සිදු වන්නේ දුබලයාට ම ය යන්නයි. එසේ ඒ වහරට අනුගතව බලන කල්හි ඉල්ලං කන්න යන්නේ නැතිව “දෙන දේ කාලා, කියන දේ අසා සිටීම” දුබලයා ගේ හිත-ගත සුව පිනිස ම වන්නේ ය.

 මේ තතු යටතේ අපි “හතර රියන” ත්, “ජාතික සමරු”ත් අහිමි සිවිල් යුධයෙන් වැනසී ගිය මිනිසුන් ගැහැණුන් හා දරුවන් මුහුණ පෑ අත්දැකීම් ලද හැකි ලිඛිත සාක්ෂි මත ඉදිරිපත් කෙරේ. ඒ තත්කාලීන ඉතිහාසයේ සිදුවීම් ගැන ‘ජාතික’ ජන මාධ්‍යයෙහි දකින්නට නැති තොරතුරු දකින්නටත්, ඒ සමග දකින්නට ඇති තොරතුරු එකතුකර ගැනීමෙන් සිවිල් යුද්ධය සමස්තයක් ලෙස දැක සත්‍ය වටහා ගැන්මටත් කැමැත්තෝ වෙත් නම් ඔවුන් සදහා ය.

 

සුදන්දිරපුරම් සමුලඝාතනය - 10.06.1998 “බෝම්බ වලින් බේරෙන්න
- පණබයේ හිස් ලූ ලූ අත දිවගියා” කාසිමලර් කියයි

SUTHANTHIRAPURAM

සුදන්දිරපුරම් යනු මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදු වෙරළ බඩ පිහිටි ගම්මානයකි. එය සිය වාසස්ථානය කරගත් ජනතාව 1998 ජූනි 10 වැනිදාත් සුපුරුදු පරිදි තමන්ගේ එදිනෙදා ජීවන රටාව අරඹමින් සිටියහ. හදිසියේ ම ගම්මානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරයක් එල්ල කෙරුණු අතර ඒ පසු පසින්ම ෂෙල් වෙඩි වරුසාවක්ද එල්ල විය.

එදින උදේ 09.15 පමණ සිට 10.30 පමණ වන තෙක් පැයකට වැඩි කාලයක් තිස්සේ මේ හදිසි ප්‍රහාරය නොකඩවා පැවැතීම නිසා ගම්වාසීන්ට සුරක්ෂිත ස්ථාන සොයා ගැනීමට අපහසු වූ අතර බෝම්බ ප්‍රහාරයෙන් 25 දෙනෙක් ඝාතනයට ලක් වී 50 කට වැඩි පිරිසක් තුවාල ලැබී ය. ලක්ෂ ගණනක දේපල හානියක් සිදු කෙරුණි. ඒවා අතර මේ ගම් වැසියන්ගේ ජීවන පැවැත්ම රැක දුන් වගාවට අයත් පොල් ගස් සිය ගණනින් විනාශ වී ගියේ ය.

 මේ බිහිසුනු සිදුවීමට මුහුණ දුන් ගනේෂන් කාසිමලර් ඒ මකරාගේ හෝරාව විස්තර කර ඇත්තේ මෙසේ ය.

“එදා උදේ 09.30 ට පමණ බෝම්බ වැටෙන කොට මම හිටියේ ගෙදර. අපේ ගෙදරටත් බෝම්බ වැටුනා. අපි ගෙදර අත්හැර දුවන්න පටන් ගත්තත් කොහාට දුවන්න දැයි තේරුමක් තිබුනේ නැහැ. හැම තැනක්ම බෝම්බ වලට අහුවෙලා තිබුණේ. වියවුලෙන් හිස් ලූ ලූ අත දිව ගිය නිසා පවුලේ සාමාජිකයන් එකිනෙකාගෙන් වෙන් වෙලා ගියා. මගේ අම්මා, මල්ලී, නංගීට සිදුවුනේ කුමක් දැයි මම දැන හිටියේ නෑ. ඒ අතර යලිත් තවත් ගුවන් යානාවක් පැමිණියා. දැන් කළ යුත්තේ කුමක් ද, ජීවිතාරක්ෂාව ඇත්තේ කොතැනද? ඒ කිසිත් නොදැන පන බයේ එතැනින් මෙතැනටත්, තව තැනකටත් දිව ගියා පමණයි. ෂෙල් වෙඩි කොපමන ද කියනව නම් ගම පැත්තට යන්නත් බෑ. යාළුවන්, අසල්වැසියන්, නෑදෑයන් ගේ සිරුරු තැන් තැන් වල දකින්න තිබුනා. ඒ වන විටත් අවතැන්ව, අමාරුවෙන් දිවි ගෙවමින් හිටිය අපිට සැලසුම් සහගතව එල්ලකරපු ප්‍රහාරයක් විදියටයි මේක පෙනුනේ.”

 ඇය තවදුරටත් කියා සිටියේ මේ ප්‍රහාරය නිසා උන්හිටි තැන් අහිමි වූ වැසියන් සිද්ධියෙන් දින 15 කට පමණ පසු යලි තම වාසස්ථාන වෙත පැමිණියත් සියල්ල විනාශ කර තිබුණු බවයි. සියළුම පොල්ගස්, ගෙවතු, ගොඩනැගිලි විනාශ වී ගොස් තිබූ බවත්, තමන් වාසය කළ නිවස තව දුරටත් නිවසක් ලෙස තිබුනේ නැති බවත් ඇය ඔහු පවසා තිබුණි.

 

මණ්ඩතිව් සමුලඝාතනය – 10.06.1986 ගම්වාසී ධීවරයන් 33 ක් වනසයි    

Mandathiv

ඒ 1986 වසරේ ජූනි 10 වැනි දා ය. කරෙයිනගර්, පාසෙයියූර් හා මණ්ඩතිව් යනු තුන් පසකින් සාගරයෙන් වටවී ගත්, යාපනය අරධද්වීපයේ දකුණු වෙරළ බඩ පිහිටා ඇති ගම්මාන ය. ධීවර කර්මාන්තය සිය ප්‍රධාන ජීවනෝපාය කරගත් දරු පවුල් 1200 කට පමණ මේ ගම්මාන වාසභූමි විය.

එදින ඒ මණ්ඩතිව් ආශ්‍රිත මුහුදේ සිටි ධීවරයන් පිරිසකට තමන් ආසන්නයට කළු පැහැ ඇදුම් ඇගලාගත් නාවික හමුදා පිරිසක් පැමිනෙනු දක්නට ලැබුණි. ඒ අවස්ථාවේ ධීවරයෝ තම දෑත් ඔසවා තමන් සිවිල් වැසියන් බවට පෙන්නුම් කර සිටියහ.

එසේ වෙතත්, එතැනට ළඟා වූ නාවික පිරිස මේ ධීවරයන්ට පහර දෙමින්, වධ හිංසා පමුණුවා ඝාතනයට ලක්කරනු ලැබ තිබුණි. ඔවුන් සමහරකගේ ඇස් උගුළුවා තිබූ අතර, සමහරකගේ කුසය පලා විවර කර තිබුණු බව වාර්තා වල දැක්වේ. එසේ ඝාතනයට ලක් වූවන් අතර කරෙයිනගර් වැසියන් 32 කුත්, එක් මාණ්ඩතිව් වැසියකුත් වූ බවත්, ඔවුන්ට අයත් ධීවර යාත්‍රා හා දැල් ආම්පන්න විනාශ කර තිබුණු බවත් වාර්තා වී ඇත.

 

සේරුවිල සමුහඝාතනය – 12.06.1986 සහනාධාර ගෙනයද්දී සංහාරයට

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සේරුවිල පුදේශයේ ගම් ප්‍රධානීන් දෙදෙනකු, රජයේ සේවකයන් තිදෙනකු හා අත්උදව්කරුවන් විසිදෙනකු පමණ වූ කණ්ඩායමක් යමින් සිටියේ අනාථයන් පිරිසක් සදහා වූ ආහාර ද්‍රව්‍ය ඇතුළු සහනාධාර තොගයක් රැගෙනයි. ඒ 1986 ජූනි මාසයේ 12 වැනි දා යි. ඒ පිරිස මැදට හදිසියේ කඩා වැදුනු මහින්දපූරම් හි ග්‍රාමාරක්ෂකයන් පිරිසක් විසින් එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයෙන් මේ වැසියන් 21 ක් සමූල ඝාතනට ලක් කෙරුණු අතර, දෙදෙනෙක් තුවාල ලද්දේ ය.

එසේ මේ ප්‍රහාරයට බිලිවූවන් සහනාධාර රැගෙන යමින් සිටියේ  ඊට පෙර මෙවන් භීෂණයකට මුහුණ දී අනාථ භාවයට පත්ව සිටියා වූ ඊච්චිලම්පත්තු වේ වාසය කළ දෙමළ වැසියන් කණ්ඩායමක් වෙත ය.

(උතුරු නැගෙනහිර මානව හිමිකම් ලේකම් කාර්යාංශය (NESOHR) සහ උතුරු නැගෙනහිර සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය (SNE) විසින් ලේඛනගත තොරතුරු ඇසුරිනි. )

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්