කොරෝනා වසංගතය පැතිර යන ප්‍රංශයේ සිට නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණෙන ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ව

නීරෝධායන නීතියෙන් මුදා හැරීමට එරට බලධාරීන් විසින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

බ්‍රිතාන්‍ය බලධාරීන් එවැනි තීන්දුවක් ගෙන ඇත්තේ, කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යට පැමිණෙන සියලු දෙනා දින 14 ක කාලයක් අනිවාර්යයෙන් නීරෝධායනය විය යුතු බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් ප්‍රකාශයට පත් කර තිබියදීය.    

ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වන චාල්ස් ඩිගෝල් විසින් ප්‍රංශ ජනතාව අමතා 1940 වසරේ ජුනි 18 වැනිදා සිදු කළ ප්‍රසිද්ධ දේශනයේ 80 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකට සහභාගී වීම සඳහා ප්‍රංශ ජනාධිපති මැක්රෝන් බ්‍රිතාන්‍යයට පැමිණෙනුයේ එරට කොරෝනා වෛරසයෙන් මිදීම සඳහා අගුලු දමා ඇති මොහොතකදීය.

දින 14ක නීරෝධායන කාල සීමාවෙන් මැක්රෝන් මුදා හැරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් තීරණය කර ඇත්තේ ඔහු එරටට නිල කටයුත්තක් වෙනුවෙන් පැමිණෙන විශේෂ නියෝජිතයෙකු ලෙස සළකමිනි.  

බ්‍රිතාන්‍යයට ප්‍රංශ ජනාධිපතිවරයා සමග අදාළ නිල කටයුත්තට සහභාගී වීම සඳහා පැමිණෙන නියෝජිත පිරිසම නීරෝධායනයෙන් මුදා හැරීමට තීරණය කර ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවද ඩිගෝල් ජනාධිපතිවරයාගේ දේශනයේ සංවත්සර උත්සවය සමාජ දුරස්ථභාවය රැකීම ඇතුළු නීරෝධායන ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් පැවැත්වෙන බව අගමැති කාර්යාලය කියයි.  

මේ අතර වේල්සයේ කුමාරයා වන චාල්ස් කුමරු හා ඔහුගේ බිරිය වන කෝර්න්වෙල් හී ආදිපාදවරිය වන කැමිලා පාර්කර් බෝල්ස් විසින් ප්‍රංශ ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවයක්  ලන්ඩනයේ පිහිටි ක්ලැරන්ස් මාළිගයේදී මෙම 18වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.    

(ඒමන්ති මාරඹේ -දිවයින)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්