ලංකාවේ ණයගැතිභාවය, සංවර්ධන ව්‍යාපෘතිවල දූෂිතභාවය හා ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නිශ්චිත පැහැදිළි කිරීමක් නොමැතිනම්, ජපාන රජය විසින් මෙරට ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක කිරීමට නියමිත

සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව නැවත සලකා බැලීමක් සිදුකරන බව JICA ආයතනය විසින් ලක් රජයට අනතුරු ඇඟවීමක් කර ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ලෝකයේ ප්‍රධාන ණය ආධාරකරුවෙක් හා අවුරුදු 70 ක් මේ රටට උත්තරීතර සේවයක් කරපු ජපානය, අද අපේ රටට ණය හා ආධාර දීමෙන් ඉවත්වීමට සූදානම්වීම, මේ ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තිය ගැන බරපතල රතු එලියක් මුලු ලෝකයටම දැල්වීමක් බව පෙන්වා දෙන හිටපු ආමත්‍යවරයා, රජයේ දූෂිත මූල්‍ය ප්‍රතිපත්තියත්, දූෂිත ලෙස කරගෙන යන ව්‍යාපෘති කටයුතුත් නිසා ජපානය ශ්‍රී ලංකා රජය පිළිබඳව කලකිරීමට පත්ව සිටින බවද පෙන්වා දෙයි. 

අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ අද(15) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසිය.

''වැඩිම ප්‍රදාන හා ඉතාම අඩු පොලියට ණය ලබාදී තිබෙන්නේ ජපානයයි''

1950 පමණ සිට ලංකාවට අද දක්වාම අවුරුදු 70 ක් වැඩියෙන්ම උදව් කරල තිබෙන්නෙ ජපාන රජයයි. අද ඔවුන් අපේ ආණ්ඩුවට ඉතාම පැහැදිළි අනතුරු ඇඟවීමක් කරල තියෙනවා. 

අපිට කිසිම බාධාවක් නොකොට අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, අපේ ඉඩම් කොල්ලකන්නෙ නැතිව, දූෂණ වලින් තොරව තමයි ජපන් රජය අපට ආධාර කළේ. කිසිම ජපන් ව්‍යාපෘතියකින් දූෂණ වාර්තා වෙලා නෑ. 

මෑත කාලයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කොට්ටාව - ගාල්ල අධිවේගී මාර්ගය, අද ගොඩනැගෙන නව කැලණි පාලම, ඉහළ කොත්මලේ ජලාශය වැනි විදුලි බලාගාර, කොළඹ නගරයේ භූගත විදුලි පද්ධතිය, දැවැන්ත ජල ව්‍යාපෘති, දෙස බැලවහම අපට රටක් හැටියට වැඩිම ණය හා ප්‍රදාන දීල තියෙන්නෙ ඉතාම අඩු පොලියට ජපානයේ ජයිකා (JICA) ආයතනය.

 චීනය රටක් හැටියට වැඩියෙන් තිබුණත් ඔවුන් බැංකු හරහා දීල තියෙන්නෙ, ඒ නිසා ඒව වානීජ ණය ලෙසයි සලකන්නෙ.

''අපිට කිසිම බාධාවක් නොකොට අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, අපේ ඉඩම් කොල්ලකන්නෙ නැතිව, දූෂණ වලින් තොරව තමයි ජපන් රජය අපට ආධාර කළේ. කිසිම ජපන් ව්‍යාපෘතියකින් දූෂණ වාර්තා වෙලා නෑ.'' 

ජපානය ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන සැපයුම්කරු. ජපානය පසුගිය මැයි 07 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ ඇති ආර්ථික සංවර්ධන මූල්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට ලිපියක් යොමුකර තිබේ. මෙම ලිපියේ විදුලිබල මණ්ඩලයේ හානි පූර්ණය කරගැනීම සඳහා වූ ව්‍යාපෘතියක් ද නැවත දැනුම් දෙනතුරු නතර කරන බව සඳහන් කර තිබේ.  

රජයේ නව මූල්‍ය ප්‍රතිපත්තියත්, රජයේ ණයගැතිභාවයත් පිළිබඳව ජපාන රජය ඉතාම  බලගතු අනතුරුදායක සිතුවිල්ලක සිටිනවා ය කියන එක ප්‍රකාශ කරල තියෙනවා. 

ඊට අමතරව ව්‍යාපෘති තුනක් ගැන කියනවා. ආණ්ඩුව ජපානයෙන් ඉල්ලල තියෙනවා ණය ආපසු ගෙවීමට කාලසීමාවක්. ජපාන් ආධාර යටතේ LNG බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකිරීමට පසුගිය රජය කාලයේ යෝජනාවක් තිබුණ.
LNG
ඒ වගේම අපේ අමාත්‍යාංශයෙන් පසුගිය කාලයේ දියත් කරපු ලයිට් රේල්වේ සිස්ටම් එක ගැන ඒ අය ඉතාම බරපතල විදියට හිතන බව ප්‍රකාශ කරල තියෙනවා.

අපේ රජය සැහැල්ලු දුම්රිය පද්ධති ව්‍යාපෘතියක් ඇති කළා. ඩොලර් බිලියන 2.2 ක දැවැන්ත මුදලක් ආයෝජනය කරල. ඒ මුදලෙන් ඩොලර් බිලියන 1.8 ක් ම ලැබුණෙ ජපානයෙන්. 0.1% පොලියට.

 JICA ඉතිහාසයේ කිසියම් ව්‍යාපෘතියක සංකල්ප පත්‍රිකාවක් ඇවිල්ල, ඒ ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයනයක් කරල, ඒ ව්‍යාපෘතියට අදාල පරිසර අධ්‍යයනයක් කරල, ඒ ව්‍යාපෘතියෙන් බලපාන සමාජ කණ්ඩායම් පිළිබඳ අධ්‍යයනයක් කරල, උපදේශන මණ්ඩල පත්කරල, ණය ගණුදෙනු අත්සන් කරල, ව්‍යාපෘතිය ඉදිකිරීම් තත්ත්වයට අවුරුදු 03 ක් ඇතුළත ගෙනාපු එකම ව්‍යාපෘතිය මේකයි කියල JICA ආඩම්බරයෙන් ලෝකයට ප්‍රකාශ කලා.


''දූෂිත නිලධාරීන් හා දේශපාලකයින් එකතුවී රට නැවත උකස් කිරීමේ සූදානමක්''

දැන් ඒ නාගරික සංවර්ධන කාර්ය භාරය භාර ඇමතිවරයා මහින්ද රාජපක්ෂ, ඉතාම දූෂිත නිලධාරීන් පිරිසක් එකතුවෙලා මේ ව්‍යාපෘතිය දැම්ම පහලට. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අද නතර කරල තියෙනවා. නතර කරල ඒ වෙනුවට අද 6% පොලියට විදේශ රටවලින්, විශේෂයෙන් චීන සමාගම් වලින් කැලණියේ සිට ඉහළින් යන පාරක් දාන්න යනව අතුරුගිරියට. ඒ සඳහා වෙනම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරල තියෙනවා. මුදල් ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධන අමාත්‍යාංශයෙන් මැයි මාසෙ 12 වෙනිදා. 

''ඉතාම දූෂිත නිලධාරීන් පිරිසක් එකතුවෙලා මේ ව්‍යාපෘතිය දැම්ම පහලට. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අද නතර කරල තියෙනවා. නතර කරල ඒ වෙනුවට අද 6% පොලියට විදේශ රටවලින්, විශේෂයෙන් චීන සමාගම් වලින් කැලණියේ සිට ඉහළින් යන පාරක් දාන්න යනව අතුරුගිරියට.''


ඒ වගේම මහාමාර්ග අමාත්‍යාංශයෙන් තවත් කැබිනට් පත්‍රිකාවක් දාල තියෙනව. මේ ව්‍යාපෘති කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. කුරුණෑගල සිට නුවර දක්වා වන අධිවේගී මාර්ග කොටස හදන්න ජපන් රජය අපට ආධාරයක් දෙන්න කටයුතු සූදානම් කර තිබියදී අද එයත් අවලංගු කිරීමට ආණ්ඩුව කටයුතු කරල තියෙනවා.

දූෂිත නිලධාරීන් හා දේශපාලකයින් එකතුවෙලා රට නැවත උකස් කිරීමට  යන බව අපිට පේනවා. ආණ්ඩුව මේ කරන්න යන්නේ තවත් දූෂිත ගණුදෙනුවක්. ප්‍රසම්පාදන ක්‍රියාවලියට එරෙහිව විධිමත් ඇගයීමකින් තොරව කරන මේ කටයුත්තක්. 

''අපේ මිත්‍ර රටවල් බොහොමයක් අපිට නැතිවෙගෙන යනව''

මේ මගින් අපේ මිත්‍ර රටවල් බොහොමයක් අපිට නැතිවෙන්න යනව. ලබන වසරේ මේ රටේ සම්පත් රාජ්‍ය දේපොළ විකිණීම සඳහා ආණ්ඩුව දැනටමත් වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. ඊට කලින් මැතිවරණය පවත්වල දේශප්‍රේමී කතා කියල නැවත බලය තහවුරු කරගන්න තමයි හදන්නේ.

මේ රටට අවුරුදු  70 ක් බෙහොම හිතවත්ව, ඉහළ ප්‍රමිතියකින් යුතුව අඩු පොලී අනුපාත යටතේ අපට ණය ලබාදුන් ජපානය, අපේ රටට ඉදිරි සංවර්ධනය සඳහා විදුලි බල ක්ෂේත්‍රයේ, ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ, දුම්රිය ක්ෂේත්‍රයේ, ජලපද්ධති දියුණු කිරීම යන කෂේත්‍රවලින් ජපානය එළවා ගැනීමෙන් වෙන්නෙ මේ රට දැවැන්ත ණය උගුලක හිරිවීම පමණයි. 

මෙය ධන ලෝභය, කොමිස් ලෝභය සහ බල ලෝභය විසින් වැදගත් රටත්, වැදගත් ආයතනයත් එළවා ගත්තම අනෙකුත් වැදගත් මූල්‍ය ආයතන සියල්ලත් අපේ රටෙන් ඉවත්වෙලා ගිහින් රට තුළ තිබෙන මූල්‍ය අර්බුදය තවත් දැවැන්ත මූල්‍ය අර්බුදයක් බවට පත්වීම තමයි වෙන්නෙ.

''රාජ්‍ය සේවයේ දරුණු බිඳ වැටීමක්.''

කොවිඩ් වසංගතයෙන් පසු අපේ රටේ සෑම තරාතිරමක පුද්ගලයෙක්ම විශාල මූල්‍ය අර්බුදයකට ගොදුරු වෙලා තිබෙනවා. සෑම අයෙක්ටම ආදායම් අහිමිවෙලා තිබෙනවා. බොහෝ දෙනෙකුට රැකියා අහිමිවී තිබේ. අද මූලික ආහාර පාන පවා මිලදී ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටී. රට පුරා ඖෂධ හිඟයක් ඇතිව තිබේ. මුදල් ගෙවාවත් ඖෂධ මිලදී ගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. රාජ්‍ය සේවාවන් දරුණු ලෙස බිඳවැටී තිබේ.

බැංකු, ලීසිං සමාගම්, සීට්ටු යනාදිය මඟින් ගෙවල්වලට උපකරණ ගත්ත, වාහන ගත්ත, ව්‍යාපාර කටයුතුවලට ණය ගත්ත බොහෝ දෙනෙක් අද ණය කාරයන් බවට පරිවර්තනය වී තිබේ. ඒ ඛේදවාචකයේ නරකම දර්ශනයක් තමයි අපි දැක්කෙ සුනිල් ජයවර්ධන මැතිතුමා ලීසිං කොම්පැනි මාෆියාව විසින් පහර දී මරා දැමීම. මේ විදියට බැට කාල ඉන්න ජනතාවට ආණ්ඩුව සහන දෙන්නෙ නෑ, සෑම පැත්තකින්ම දැඩි බදු අයකරගෙන යනව.

ඛනිජ තෙල් මිල පහලටම වැටිල තියෙන වෙලාවෙ සහගහන තෙල්බදු අද ජනතාව වෙත පටවල තියෙනව. ඒ වගේම ගල් අඟුරු මිල පහලටම වැටිල තියෙන වෙලාවෙ මාස ගාණක විදුලි බිල එක පාරටම එවල සහගහන විදුලි බිල් හදල තියෙනවා. ජල බිලත් මාස කිහිපයක බිල එකපාර එවල ජනතාව ඒ පැත්තෙනුත් පීඩාවට පත්කරල තියෙනවා. සහල්, පරිප්පු, සැමන්, අල, හාල්මැස්සෝ වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉතා විශාල පරිමාණයෙන් මේ හයමාසය ඇතුළත ආණ්ඩුව ඉහළ දමා තිබේ.


''ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් දැනට දහයෙන් එකක් ගෙවිල ඉවරයි. ඒ දහයෙන් එක තුළ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි හිඟමනට වැටිච්ච සාගත තත්ත්වයකට රට ගොදුරුවෙලා තිබෙන බව කණගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕන.''

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් දැනට දහයෙන් එකක් ගෙවිල ඉවරයි. ඒ දහයෙන් එක තුළ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි හිඟමනට වැටිච්ච සාගත තත්ත්වයකට රට ගොදුරුවෙලා තිබෙන බව කණගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕන. 

ජනාධිපතිතුමා ජනතාවට සහන දෙන්න බැරි වුණාට ධනපතියන්ට බදු සහන ලබාදුන්න පසුගිය දෙසැම්බර් ඉඳන්. එහි ප්‍රතිඵලයක් හැටියට ආණ්ඩුවේ ආදායමෙන් තුනෙන් එකක් ආණ්ඩුවට අහිමි වුණා.

''සංචිත පාවිච්චි කරල  ණය ගෙවන්න යනව.'' 

අපේ ආණ්ඩුව කාලෙ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපතිතුමා ඩොලර් බිලියන 7.2 ක් සංචිත විදියට සකස් කරල ති‍බුන ආනයන මේ රටට ගේන්න. අත්‍යාවශ්‍ය ආනයන, තෙල්, ඖෂධ, ආහාර, පොහොර වැනි දෑ ගේන්න. දැන් ආණ්ඩුව මොකක්ද කරන්න යන්නෙ ? ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිතුමා හදපු ඒ සංචිත පාවිච්චි කරල  ණය ගෙවන්න යනව. 

මේක ඇත්තටම ගිය ආණ්ඩුවට බැණ බැණ ඒ ආණ්ඩුවෙන් හදපු සංචිත වලින් අත්‍යාවශ්‍ය ආනයන කටයුතුවලට යොදාගන්නෙ නැතිව අද ණය ගෙවන්න යනව.

'හිතවතුන්ට පමණක් පර්මිට් ලබාදෙන ආණ්ඩුවේ ආනයන සීමා බන්ධනය''

අද අපි බොහොම පැහැදිළිව කියනවා ආණ්ඩුව ආනයන සීමා බන්ධනයක් දාල තියෙනව, ඒ සීමා බන්ධනය අද හිතවතුන්ට විතරක් මේ ඩොලර් පර්මිට් ලබාදෙන ක්‍රියාවලියක් අද අනුගමනය කරගෙන යනවා. 

ඒ අතරේ ආණ්ඩුවට මේ ණය පියවාගන්න ණය ගැනීමට නොහැකි තත්ත්වයකුත් ඇතිවෙලා තියෙනවා. ලෝකයේ තියෙන ණය ගෙවීමේ හැකියාව මනින සියලුම ප්‍රධාන ආයතන මගින්  අපිව පහළටම දමල තියෙනවා. තව එකක් පහලට වැටුනොත් අපි බංකොලොත් රටක් බවට පරිවර්ථනය වෙන තත්ත්වයට පැමිණ ඇති බවද හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්