ඊයේ (08) රාත්‍රී හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පාස්කු ඉරිදා (21) ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව

සම්බන්ධයෙන් බරපතල විවේචනයක් සිදුකර ඇති අතර තවදුරටත් එහිකටයුතු තමා ඉලක්ක කරගෙන පවත්වා ගෙන ගියහොත් කැබිනට් මණ්ඩල රැස්වීම වලට සහභාගී නොවන බව දැනුම් දී ඇත.

අප්‍රේල් 21 වන දා සිදුවීමට අදාළ තමාවද වගඋත්තරකරුවකු කරමින් නඩු 05ක් මේ වන විට ශ්‍රේෂ්ඨාකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර, එවන් අවස්ථාවක තේරීම් කාරක සභාවත් පත්කර කටයුතු කිරීම, එම ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පවසා තිබේ.

නීතිපතිවරයා විසින් තමන්ට මේ බව දැනුම් දුන් පසු ඒ පිළිබඳව කතානායක වරයා දැනුවත් කළ බවත් නමුත් කතා නායකවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර මෙම තේරීම් කාරක සභාව පවත්වාගෙන යන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එනිසා මෙම නීති විරෝධී කටයුත්ත දිගටම පවත්වා ගෙන ගියහොත් තමන් මින් ඉදිරියට කිසිදු අවස්ථාවක රාජ්‍ය මට්ටමේ කටයුත්තකට සහභාගී නොවන බවත් කැබිනට් මණ්ඩලයද නැවත නොකැදවන බවත් ජනාධිපතිවරයා දැඩිව සඳහන් කර තිබේ.

නමුත් ජනාධිපතිවරයා ලෙස දෛනික රාජකාරී වල තමන් යෙදෙන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.

රාජකාරියේ නියුතු ආරක්ෂක අංශවල නිලධාරීන් ගෙනවිත් මෙම සිදුකරන විහිළු සහගත ක්‍රියාපටිපාටිය වහා නැවැත්විය යුතු බවත් එමෙන්ම ඉදිරියේදී කිසිදු අවස්ථාවක මෙම තේරීම් කාරක සභාව හමුවට සේවයේ නිරත ආරක්ෂක අංශ නිලධාරීන් ඉදිරිපත් නොකරන බවත් ඔවුන් සියලු දෙනා පිළිබඳ වගකීම තමන් භාර ගන්නා බවත් ජනාධීපතිවරයා ප්‍රකාශ කර තිබේ.

හදිසියේම කැඳවා තිබු මෙම කැබිනට් රැස්වීමට එජාප ඇමතිවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගිවී නොසිටියේය.

 

රාජ්‍ය බුද්ධි තොරතුරු:

පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීම ඊයේ(7) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ වන තෙක් තේරීම් කාරක සභාවට කැඳවා ඇත්තේ සේවයෙන් ඉවත් කරන ලද නිලධාරීන් බවත්, දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙක් තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන අතර, එම සියලුදෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බව ද ජනාධිපතිවරයා එම අවස්ථාවේදී ද අවධාරණය කර සිටියේය.

 

මුළු රටම අරාජික තත්වයකට !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර මතුවී ඇති පෞද්ගලික ගැටුම් හේතුවෙන් මේ වනවිට මුළු රටම අරාජික තත්වයකට පත්ව තිබේ.

පාර්ලිමේන්තු කාරක සභාව හරහා පාස්කු ඉරිදා (21) ඛේදවාචකයේ වගකීම තමා මත පැටවීමට අගමැතිවරයා සැලසුම්කර ඇති බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.

ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පසුගියදා දුරකථනය ඔස්සේ අගමැතිවරයාට බැණ වැදි තිබු අතර මේ වනවිට දෙදෙනා අතර කිසිඳු කතාබහක් ද නොමැති බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

දෙන්නා අතර තියෙන්නේ මහා විරසකය පාස්කු ඉරිදා ප්‍රහාරය කෙරෙහි ද තීරණාත්මක ලෙස බලපෑ බව “රෑන්ඩ්” ආයතනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන විද්‍යාඥ ජොනා බ්ලෑන්ක් මහතා ද මාධ්‍යවේදී නිලන්ත ඉලංගමුව මහතා සමග කළ සාකච්ඡාවදී අවධාරණය කර තිබිණ.

එහිදී ජොනා බ්ලෑන්ක් මහතා මෙසේද සඳහන් කර ඇත.

''මේ දෙන්නා අතර තියෙන්නේ මහා විරසකයක්''.

''සිද්ධියක් වුණාට පස්සේ වෙච්ච දේට හේතු කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒත්, මේ සිද්ධියේදී පෙනී යනවා, ඉතා බරපතල දේශපාලනික අසාර්ථකත්වයක් නිසා ආණ්ඩුව පැත්තෙන් දුර්වලතාවක් ඇති වුණා කියලා. විදේශ බුද්ධි සේවාවකින් (බොහෝ විට ඉන්දියාවෙන්) අවශ්‍ය කරන බුද්ධි තොරතුරු සහ අනතුරු ඇඟවීම් ජනාධිපති සිරිසේනගේ කාර්යාලයට ලබා දීලා තියෙනවා. ඒත්, ඒවා අනුව ප්‍රමාණවත් පරිද්දෙන් පියවර අරගෙන තියෙන බවක් පේන්න නැහැ. ඒ තොරතුරු අගමැති වික්‍රමසිංහට දීලා නැහැ.

ඒකට හේතු දෙකක් තියෙනවා: එකක් තමයි, අගමැතිවරයා ගැන ජනාධිපතිවරයාගේ විශ්වාසයක් නැති කම. (ඔහුව එම තනතුරින් පහ කරන්නත් ජනාධිපතිවරයා බැලුවා). ඒක නිසා මේ දෙන්නා අතර තියෙන්නේ මහා විරසකයක්.

දෙවැනි කාරණේ තමයි, ඉන්දියාව තමන්ට වඩා අගමැතිවරයාට බරයි කියලා ජනාධිපතිවරයා හිතන නිසා, ඉන්දියාවෙන් එන බුද්ධි තොරතුරුත් ගණන් නොගෙන ඉන්නට ජනාධිපතිවරයා පෙළඹුණා වෙන්නත් ඉඩ තියෙනවා.''

මේ වගේ ත්‍රස්ත ප්‍රහාර අනාගතේ ඇති වීම වළක්වාගත හැකි යැයි ඔබ සිතන යෝජනා තියෙනවද? දැයි මාධ්‍යවේදී නිලන්ත ඉලන්ගමුව මහතා කල විමසීමේදී ජොනා බ්ලෑන්ක් මහතා මෙසේ සඳහන් කර ඇත.

''ඔව්. ශ්‍රී ලංකාව ගැන එහෙම යෝජනා කිහිපයක් කරන්න පුළුවන්.

1. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තියෙන කඹ ඇදිල්ල ඉවරයක් කරන්න. රටේ ඉන්න ඉහළම දෙන්නා කුලල් කා ගන්නකොට, රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ඒ දෙන්නා සහතික කරන්නේ කොහොමද? අත්‍යාවශ්‍යම නම් මැතිවරණ තියන්න. එහෙම නැත්නම්, දෙන්නාට එකට වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න.

2. ප්‍රති-ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳ බුද්ධි තොරතුරු බෙදා ගැනීමට වෙනත් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කරන්න. මේ සැරේ වුණේ ඉන්දියාවෙන් ලැබිච්චි තොරතුරු මත කටයුතු නොකිරීමයි. මේ අංශය ගැන ඉන්දියාවට විශාල තොරතුරු සම්භාරයක් තියෙනවා. ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ වෙනත් රාජ්‍යයන්ටත් එහෙම බුද්ධි තොරතුරු තියෙනවා.

3. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සමග එකට වැඩ කරන්න. මීට කලින් ලංකාවේ ත්‍රස්ත-විරෝධී සහ කැරලි-විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාව හොඳ එකක් නෙවෙයි. ආණ්ඩුවේ දරුණු ක්‍රියාකාරකම් නිසා දෙමළ ජනතාව එදා ආණ්ඩුවට අහිමි වුණා. ඒකෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජනතා පදනම ශක්තිමත් වුණා. ඒ කැරලිකාරී/ත්‍රස්තවාදී කණ්ඩායමේ ශක්තියත් තර වුණා. ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනතාව සම්බන්ධයෙන් කරපු ඒ වැරැද්ද මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් මෙවර නොකළ යුතුයි.''


සබැඳි පුවත් :

රනිල් හා මහින්ද ගැන ජනපතිට සැකයක්!

“IS සංවිධානය ලංකාව තෝරාගත්තා නොව, ලංකාවේ කණ්ඩායමක් IS සංවිධානය තෝරාගෙන ඇත” -ජොනා බ්ලෑන්ක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්