2011 ලෝක කුසලානය අවසන් මහ තරගය මුදලට විකුණූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශය
මේවනවිට ක්‍රීඩා ක්ෂේත්රය පමණක් නොව දේශපාලන ක්ෂේත්රය ද අවුළුවා තිබේ.
ඒ සම්බන්ධයෙන් නැවත වරක් සිය ට්විටර් ගිණුමේ සටහනක් පළකර ඇති මහේල ජයවර්ධන විමසන්නේ, කණ්ඩායමේ නැති කෙනෙක් තරගයක් පාවා දෙන්නේ කෙසේදැයි කියාය.
මහේල ජයවර්ධන පවසන්නේ කණ්ඩායමේ අවසන් 11 දෙනාට නොමැති කෙනෙක් තරගයක් පාවා දෙන්නේ කෙසේදැයි තමන් නොදන්නා බවයි. එසේම යමෙක් 2011 ලෝක කුසලානය විකුණූ බවට පවසයි නම් එය ස්වාභාවිකම විශාල ගනුදෙනුවක් බවත් ඔහු ප්‍රකාශ කරයි.
“අවුරුදු 09කට පසු අපි බුද්ධිමත් වනු ඇතැයි බලාපොරොත්තු වෙමු…” යැයිද ඔහු සඳහන් කර තිබේ.
මහින්දානන්දගේ ඉලක්කය තේරීම් කමිටුව ද?
මහින්දාන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා ඇමතිවරයාගේ චෝදනාවට පදනම් වී ඇත්තේ එම තරඟයට හිටි හැටියේ අලුත් ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුලත් කිරීම හා ඒ පිලිබඳව විෂයබාර අමාත්‍යවරයා ලෙස තමාව දැනුවත්කර නොතිබීමයි.
තරඟ සංචිතයකට හෝ තරඟයකට ක්‍රීඩකයින් නම් කිරීම ක්‍රීඩා විෂයබාර අමාත්‍යවරයාගේ නිර්දේශය මත සිදුවිය යුතු වුවද මෙම අවසන් තරඟයට සහභාගී වීමට නම් කර සිටි ක්‍රීඩකයින් හතර දෙනෙකු අබාධිත තත්වයට පත්වූ අවස්ථාවේදී ඒ සඳහා අලුතින් සිව් දෙනෙකු ඇතුලත් කිරීමේදී ක්‍රීඩා අමාත්‍යවරයා වූ තමාගේ අනුමැතිය ලබාගෙන ගෙන නොතිබුන බව අලුත්ගමගේ පවසයි.
තිසර පෙරේරා, නුවන් කුලසේකර, චාමර කපුගෙදර හා සුරාජ් රන්දෙනිය එසේ අලුතින් නම් කල පුද්ගලයිවේ. එහි සුවිශේෂී කාරණය ලෙස මහින්දාන්ද අලුත්ගමගේ පවසන්නේ, සංචිතයට පවා ඇතුලත්ව නොසිටි, එමෙන්ම එම තරඟාවලියේ කිසිඳු තරඟයකට සහභාගී නොවූ ක්‍රීඩකයින් ද ඒ අතර සිටී බවයි.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති එවකට ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති ලෙස කටයුතු කල අරවින්ද සිල්වා පවසන්නේ, මෙම චෝදනා මුළුමනින්ම පදනම් විරහිත බවයි.
2011 වසරේදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන්නේ යැයි හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශය ගැන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි තමන් ඉල්ලා සිටින බව ද අරවින්ද සිල්වා සඳහන් කරයි.
තවදුරටත් මෙම සිදුවීම ගැන තමන් කට වහගෙන නොසිටින බවට තීරණය කළ බවත් හිටපු ක්‍රීඩා ඇමති වරයාට මෙම ප්‍රකාශය කිරීමට වසර 09ක් ගත කිරීම ගැන තමන් පුදුම වන බවත් ඔහු පැවසීය.