ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලිබලාගාර ඉදිකිරීම් කොන්ත්‍රාත්තු විදේශ සමාගම්වලට ලබාදීම නීති විරෝධි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

 

අද(21) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එබව සඳහන් කළ ඔහු, මේ රටේ යළිත් වතාවක් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් දැවැන්ත ජාතික අපරාධ සිදුවන බව කියා සිටියේය.

අගමැති මහින්ද රාජපක්ෂ 2020 මැයි මාසේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින්, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පිහිටා තියෙන ස්ථානයේම, එම සමාගම ලවාම තවත් මෙගා වොට් 300 ක බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කිරීමට කටයුතු කර තිබේ.

''මේ රටේ යළිත් වතාවක් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් දැවැන්ත ජාතික අපරාධ සිදුවෙන්න යනවා''

මෙය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ විදුලිබල පනතට පටහැනි ආකාරයට සිදුවන්නක් බව පැවසු චම්පික රණවක හිටපු විදුලිබල ඇමතිවරයා, විදුලිබල පනතට අනුව මෙගා වොට් 25 ට වඩා වැඩි විදුලි බලාගාර කිසියම් සමාගමක් විසින් සිදු කරනවා නම් අනිවාර්යෙන්ම ඒ සඳහා රජයේ කොටසක් තිබිය යුතු අතර, එයට තරඟකාරී පදනමින් ටෙන්ඩර් කැඳවීමක් සිදුකළ යුතු බව කියා සිටියේය.

නමුත් එවැනි කිසිදු තරඟකාරී පදනමකින් තොරව කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් දැනට ලක්විජය බලාගාරය ගෙනියන CMAC සමාගමට මෙම බලාගාරය ක්‍රියාත්මක කිරීමේ කටයුතු පවරා තිබේ.

එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තක් බව චම්පික රණවක මෙම මධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.

''කිසිදු තරඟකාරී පදනමකින් තොරව කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් දැනට ලක්විජය බලාගාරය ගෙනියන CMAC සමාගමට මෙම බලාගාරය ක්‍රියාත්මක කිරීමේ කටයුතු පවරා තිබේ. ''

ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ නියාමනයට මහජන උපයෝගීතා කොමිසම පිහිටුවා ඇත.  එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විටින් විට දීර්ඝ කාලීන ජනන සැලසුමක් සකස් කරති.

නමුත් දැනට මහජන උපයෝගීතා කොමිසම අනුමත කරන ලද දිගු කාලීන ජනන සැලසුමේ මෙගා වොට් 300 ක ගල් අඟුරු බලාගාරයක් ඇතුලත්ව නොමැත.

 

''පසුගිය රජය කාලෙත් ඇතැම් අය මේවට උත්සහ කළා. එත් බැරිවුනා..''  

''මෙවැනි අදහසක් පසුගිය රජය කාලෙත් ඇතැම් අය ගේන්න උත්සාහ කළා, නමුත් අපි එයට විරෝධය පෑවා. ඒ නිසා ඒක හකුලාගන්න කටයුතු කළා.'' යයි පැවසු පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා තවදුරටත් මෙසේද පැවසිය.

''දැනට මෙගාවොට් 900 ක් පුත්තලම බලාගාරයේ තියෙනවා. මේ මෙගාවොට් 900 ලැබෙන්න ඕන බලශක්තිය රටට ලැබිල තියෙනවද ?

2011 ඉඳන් මම මේ ගැන සංඛ්‍යා ලේඛන හැදෑරුවා. සාමාන්‍යයෙන් ගල් අඟුරු බලාගාරෙක ස්ථාපිත ධාරිතාවයෙන් අඩු වශයෙන් 85% ක් වාර්ෂිකව ලබාදිය යුතුයි. නමුත් මේ බලාගාරයේ ඒකක විටින් විට තමයි එකතු වුණේ. එවැනි ආකාරයට 85% ක තත්ත්වයක් කිසිම වසරක ලබාදී නැහැ.

මේ තත්ත්වය හැදෑරුවට පස්සෙ පේන දෙයක් තමයි මෙතන මෙගාවොට් 200 ක ගල් අඟුරු බලාගාරයක් තිබුණනන් එහෙම ඒ මොගාවොට් 200 ගල් අඟුරු බලාගාරය ලබාදෙන විදුලියවත් ලබාදීල නෑ. ඒ කියන්නෙ මෙගාවොට් 900 දීල නෑ. මෙම බලාගාරය ඉදිකිරීම් කටයුතු කරන අවස්ථාවේ 2006,07,08 සිදුවෙච්ච අක්‍රමික වැඩපිළිවෙල තමයි මේ සඳහා සම්පූර්ණයෙන්ම බලපාල තියෙන්නෙ.

අපි ඕක නිවැරදි කරන්න 2010-11 දි කටයුතු කළේ නැත්නම් මේ තත්ත්වයවත් අද ඔය බලාගාරයේ නෑ. දැනටමත් මෙගාවොට් 200 ක හිඟයක් තියෙනව නම් තව මෙගාවොට් 300 ක් එතැනින්ම ගන්න ගියාම මොන වගේ තත්ත්වයක් රටට ඇතිවෙයිද කියන එක රටේ ජනතාව තේරුම්ගත යුතුයි.

 

''මේ බලාගරයේ තව තාක්ෂණික ප්‍රශ්න කිහිපයක් තියෙනවා''

මේ බලාගරයේ තව තාක්ෂණික ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මුහුද රළු වෙන කාලටෙ මෙයට ගල් අඟුරු සපයන්න බෑ. මුහුද රළු නොවන කාලයේදීත් ඉතාමත් අපහසුවෙන් තමයි මෙයට ගල් අඟුරු සපයන්නෙ. බලාගාරයට මුහුදෙන් ඇරෙන්න වෙන පැත්තකින් ගල් අඟුරු සැපයීමේ තත්ත්වයකුත් නෑ.

''මුහුද රළු වෙන කාලටෙ මෙයට ගල් අඟුරු සපයන්න බෑ. මුහුද රළු නොවන කාලයේදීත් ඉතාමත් අපහසුවෙන් තමයි මෙයට ගල් අඟුරු සපයන්නෙ. බලාගාරයට මුහුදෙන් ඇරෙන්න වෙන පැත්තකින් ගල් අඟුරු සැපයීමේ තත්ත්වයකුත් නෑ.''

ඒ නිසා තවත් ගල් අඟුරු ප්‍රමාණයක් වැඩි කළොත් මොන වගේ තත්ත්වයක් උදාවෙයිද කියන එක කාටත් හිතාගන්න පුළුවන්.

 

'පුත්තලමේ අධික පරිසර විනාශයක් සිදුවිය හැකියි''

2016 පමණ උද්ගත වෙච්ච තත්ත්වයක් තමයි ගල් අඟුරු හුළඟෙ ගිහිල්ල අවට ප්‍රදේශයේ දැවැන්ත පරිසර විනාශයක් සිදුවෙනව කියන එක. ඒකට අවශ්‍ය සුළං ආවරණ ආදිය ඉදිකරල නෑ. ඒ තත්ත්වය තුළ තවත් ගල් අඟුරු ගෙනත් දැම්මොත් මොනවගේ තත්ත්වයක් ඇති වෙයිද ?

මේ සඳහා පරිසර අධ්‍යයන වාර්තාවක් තිබිය යුතුයි. එවැනි කිසිදු නිල පරිසර අධ්‍යයන වාර්තාවක් මේ තාක් සිදුකරල නෑ මේ නව බලාගාරය සම්බන්ධයෙන්. ඒක නීති විරෝධී කටයුත්තක්.

බලාගාරය පසුගිය කාලය දිව්වෙ මධ්‍යම පරිසර අධිකාරියේ නීති රීතිවලට පටහැණිව. ඉදිරියටත් මේ පරිසර නියමයන්වලට එරෙහිව මේක ක්‍රියාත්මක වෙනවනම් ඉතාම කණගාටුදායක පරිසර විනාශයක් ඒ අවට ජනතාවට භුක්ති විඳින්න සිද්ධවෙනවා.

 

''සම්ප්‍රේෂණ මාර්ගවල ධාරිතාවක් නෑ''

අනෙක් එක තමයි මේ නිපදවන විදුලිබලය ගෙන එන්නෙ කොහොමද කියන එක. ඒක ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම ඉංජිනේරු මහත්වරු දන්නවා මෙතැනින් විදුලි බලය නිපදවූවාට සම්ප්‍රේෂණ මාර්ගවල ධාරිතාවක් නෑ මේ විදුලි බලය ගේන්න.

එහෙම ධාරිතාවයක් නැතිව විදුලිය බලය නිපදවල කොහෙන්ද මේ නිපදවන විදුලිය ගේන්නෙ? මෙන්න මේ වගේ බරපතල තාක්ෂණ අඩු පාඩු මෙහි තියෙනව.

''රටට දැන් අවශ්‍ය මෙම ගල් අඟුරු බලාගාරය පුත්තලමේ ඉදිකිරීම නෙමෙයි, කෙරවලපිටියේ ද්‍රව වායු බලාගාරය ඉදිකිරීමයි.''

මේ වසර 05 ක් ඇතුළත ආයෝජනය කරන්න යන්නේ හදිසි විදුලියට මුවාවෙලා. හදිසි විදුලියක් කියන්නෙ මේ වසර 05 කින් එන බලාගාරයකට නෙමෙයි. ගල් අඟුරු බලාගාරයක් හදිසි විදුලියක් වෙන්නෙ නෑ මාධ්‍ය වාර්තා කරල තියෙන ආකාරයට.

රටට දැන් අවශ්‍ය මෙම ගල් අඟුරු බලාගාරය පුත්තලමේ ඉදිකිරීම නෙමෙයි, කෙරවලපිටියේ ද්‍රව වායු බලාගාරය ඉදිකිරීමයි. ඒ කටයුත්ත නොකොට ගල් අඟුරු බලාගාර ගෙනඒම පිටිපස්සෙ තවත් ජාතික අපරාධයකට මඟ හසර සකස් කරනව කියන එකත්, අපි මේ ගණුදෙනුව ගැන ඉතාමත් විමසිල්ලෙන් සිටිනව කියන එකත් අපි ආණ්ඩුවට මතක් කරනා බවද  හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්