2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගය පාවා දී ඇතැයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසා බලමින් සිටින බව

ICC ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

එමෙන්ම එම තරඟය පාවා දුන් බවට එවකට ක්‍රීඩා අමාත්‍ය පදවිය හෙබැවූ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු සමඟ අදහස් හුවමාරු කරගැනීමට අදහස් කරන බව ද ICC ආයතනය පවසයි.

ජගත් පාලක මණ්ඩලයේ මාධ්‍ය සහ සන්නිවේදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිය කෙටකි ගොලත්කාර් ඒ බව සඳහන් කළේ, මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කරන චෝදනාව පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදීය.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය පිල නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින්, නිලධාරීන් ඇතුළු පිරිසගෙන් කරුණු විමසන්නේ දැයි ඊමේල් මාර්ගයෙන් බීබීසී කළ විමසීමට නිසි පිළිතුරක් නොදුන් සන්නිවේදන කළමනාකාරිනිය කියා සිටියේ, මේ අවස්ථාවේ ඊට වඩා යමක් පැවසිය නොහැකි බවය. අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නේ දැයි කළ විමසීමට ද ඇය සෘජු පිළිතුරක් දී නොතිබිණ. 

 

හිටපු ඇමති කීවේ කුමක්ද?

2011 අප්‍රේල් දෙවෙනි දින ඉන්දියාවේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැත්වුණ ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය පාවා දී ඇතැයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය සතියේ NewsFirst වැඩසටහන සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. "මම අද කියනවා 2011 ලෝක කුසලානය අපි වික්ක කියල," ඔහු පැවසීය. "අපි දිනන්න තිබුණ තරගේ මම කියනවා පාවාදීමක් කළා කියල."

Mahindananda

එයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සම්බන්ධ නොවූ බව කියා සිටි හිටපු අමාත්‍යවරයා, 'යම් කිසි පාර්ශවයන්" එයට සම්බන්ධ වූ බවත් සඳහන් කළේය. විශේෂයෙන්ම සිය අනුමැතියකින් තොරව අවසාන මහා තරගයේ දී ක්‍රීඩකයින් සිව් දෙනෙකු වෙනස් කිරීම ගැන ද හිටපු අමාත්‍යවරයා පසුව සඳහන් කර තිබුණි.

 

මහේල සහ අරවින්ද ගේ ප්‍රතිචාරය:

ට්විටර් ජාලය ඔස්සේ හිටපු ඇමතිවරයාගේ චෝදනාව ගැන ප්‍රතිචාර දක්වමින් එවකට කණ්ඩායමේ උප නායකයා වූ මහේල ජයවර්ධන, මැතිවරණය ළඟ දැයි උපහාසයෙන් ප්‍රශ්න කර තිබුණි. මහේල ජයවර්ධන එම අවසාන මහා තරගයේදී නොදැවී ශතකයක් රැස් කිරීමට සමත්විය. 'සංදර්ශනය' ඇරඹී ඇති හැඩක් පෙනෙන බවත් පවසන ඔහු, තරග පාවා දුන් පුද්ගලයන්ගේ නම් සහ සාක්ෂි කවරේ දැයි ප්‍රශ්න කර තිබුණි. 

mahela Tweete world cup 2011

මහේල ජයවර්ධනගේ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යළිත් වරක් සඳහන් කර තිබුණේ තරගය පාවා දුන්නේ ක්‍රීඩකයින් නොවේ යයි තමන් පවසද්දී මහේල සහ සංගක්කාර ඒ ගැන උනන්දු වන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බවයි. එහෙත් මහේල ජයවර්ධන පවසන්නේ, ක්‍රීඩකයින් යොදා නොගෙන තරග පාවා දෙන්නේ කෙසේ දැයි තමන් නොදන්නා බවය. එවකට කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර ද ඇමතිවරයාගේ ප්‍රකාශය විවේචනය කොට තිබිණ. පොදුජන එක්සත් පෙරමුණේ මහ මැතිවරණ අපේක්ෂකයෙකු ද වන හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කළ චෝදනාව සම්බන්ධ විවාදය තවත් ඉදිරියට යමින් එවකට ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපතිවරයා වූ අරවින්ද ද සිල්වා ද එයට ප්‍රතිචාර දක්වා තිබුණි. හිටපු ඇමතිවරයා නගන චෝදනාව ගැන ප්‍රතිචාර දක්වමින් එවකට තේරීම් කමිටු සභාපතිවරයා වූ අරවින්ද ද සිල්වා පවසන්නේ, එසේ පාවාදීමක් සිදු වී ඇත්නම් වසර 09 ක් තිස්සේ ඔහු එය සඟවාගෙන සිටීමම ගැටලුවක් බවය. ඇමතිවරයාගේ ප්‍රකාශය ඉතා බරපතල බැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙන්ම ඉන්දියානු ක්‍රිකට් ආයතනයද ඒ පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් අරවින්ද ද සිල්වා අවධාරණය කර තිබුණි. 

 

අර්ජුන සහ සංගක්කාර:

2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පාවා දුන් බවට චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2017 ජුලි මාසයේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එවකට කැබිනට් අමාත්‍ය පදවියක් දැරූ අර්ජුන රණතුංග පැවසුවේ අදාළ අවසාන මහා තරඟය සම්බන්ධයෙන් ජගත් පාලක මණ්ඩලය නිසි විමර්ශනයක් පැවැත්විය යුතු බවය. 

කුමාර් සංගක්කාර බීබීසී මැදිරියේ

ඒ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග සහ කුමාර් සංගක්කාර ප්‍රසිද්ධ වාදයක නියැළුන අතර, ඒ අවස්ථාවේ (2017 ජුලි මාසයේ) ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමඟ සජීව සංවාදයක නිරත වූ කුමාර් සංගක්කාර අවසාන මහා තරගය පාවාදීමේ චෝදනාව සහ අර්ජුන රණතුංග පළ කළ අදහස් ගැන ද සිය මතය පැහැදිලි කළේය.

"විශේෂයෙන් 1999 න් පස්සේ, ක්‍රීඩකයින් සෙල්ලම් කරද්දී සෑම තරගයකම, සෑම ක්‍රීඩාංගනයකදීම ඒ ICC anti corruption unit එකේ කට්ටිය ඉන්නවා. අපි ඉන්න හොටල්වලත් ඉන්නවා. අපි කතා කරන්නේ හම්බවෙන්නේ කවුද කියල ඔවුන් බලන් ඉන්නවා. ඒ වගේම තමයි ඕනෑම අවස්තාවක ඔවුන්ට සැකයක් තිබුණොත් ඔවුන් ඒ ගැන සොයා බලනවා," කුමාර් සංගක්කාර පැවසීය.

"ඉතින් මේගොල්ලන්ටත් නැති දත්ත අර්ජුන රණතුංග මහත්තය හෝ වෙන කාගේ හරි ළඟ තියෙනව නම් මම හිතන්නේ ඔවුන්ගේ වගකීමක් තියෙනව මේ අයිසීසී එකේ මේ ඉන්න කට්ටියට භාරදීලා, මට සැකයක් තියෙනව හොයල බලන්න කියල කියන්න. ක්‍රීඩකයන්ටත් ඒ වගේ වගකීමක් තියෙනව."

එසේ සොයා බැලීම "ඉතාම හොඳ දෙයක්" බව ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ නායකයාගේ ස්ථාවරය විය. අවසාන මහා තරගයේදී කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු මාරු කිරීම සම්බන්ධ චෝදනාව ගැන ද කුමාර් සංගක්කාර සවිස්තරව කරුණු දැක්වීය.

ඒ අවස්ථාවේ ඇන්ජලෝ මැතිවුස් සහ මුත්තයියා මුරලිදරන් දෙදෙනාම ආබාධිතව සිටි බව සිහිපත් කළ ඔහු, ක්‍රීඩකයන් සිව් දෙනෙකු ආදේශ කළේ තේරීම් කමිටු සභාපතිවරයා, කණ්ඩායමේ කළමනාකරු, පුහුණුකරු සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඇතුළු සියලු දෙනාගේ අනුමැතිය සහිතව බවත් සඳහන් කළේය.

බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවේ දී කුමාර් සංගක්කාර වැඩිදුරටත් කියා සිටියේ, තරඟය පරාජය වීම ක්‍රීඩා ලෝලීන්ට පමණක් නොව තමන් ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ද වේදනාවක් බවය.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලද බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළ අතර, එයට අදාලව පොලිසිය විසින් මහින්දානන්ද අලුත්ගමගේ හිටපු මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. 

( සරෝජ් පතිරණ -BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්