පාස්කු ඉරිදා (21) ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැඳවන යම් රජයේ නිලධාරියකු හෝ නිලධාරිනියක එම නියමයට පිටුපා කටයුතු කළහොත්,

එවැනි පුද්ගලයින් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා ඔහුට හෝ ඇයට එරෙහිව තීන්දු තීරණ ගැනීමටත්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් හැකියාවක් පවතින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ විශේෂඥ නීතිවේදියකු පැවසිය.

ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය පිළිබඳව 'ද ලීඩර්' කළ විමසීමකදී ඔහු එබව සඳහන් කළේය.

පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහයෝගය නොදීමට ද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපතිවරයා පවසයි.

දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් නොවිය යුතු බවත්, ඔවුන් සියලු දෙනා පිළිබඳ වගකීම තමා බාර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙරේදා (07) පැවති විශේෂ කැබිනට් හමුවේදී අවධාරණය කර තිබිණ. පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීම පෙරේදා (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී ද ජනාධිපතිවරයා එබව සඳහන් කළේය.

කෙසේවුවද ඊට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කළ කතානායකවරයා, වර්තමානයේ පවතින නීතිය අනුව යම් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටින බවත්, එය කඩකිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ඔවුනට පැහැදිළි අවබෝධයක් ඇති බවත් සඳහන් කර තිබිණ.

 

බුද්ධි අංශ ප්‍රධානින් අර්බුදයක !

ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර හටගෙන ඇති බරපතල අර්බුදය හේතුවෙන් ඉදිරියේදී මෙම තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව සිටින ආරක්ෂක අංශ ප්‍රධානින් හා බුද්ධි අංශ ප්‍රධානින් බරපතල අර්බුදයකට පත්ව සිටින අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමටද තීන්දු කර ඇත.

එවැනි කැඳවීමක් ලබන නිලධාරියකුට තේරීම් කාරක සභාවට නොයන්නැයි නීතිපතිවරයා උපදෙස් දුනහොත් නීතිපතිට එරෙහිව ද කටයුතු කිරීමේ බලයක් පාර්ලිමේන්තුව සතුව ඇතැයි අප වෙත කරුණු පැහැදිලි කළ නීති විශාරදයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති ධුරය හා අගමැති ධුරය පක්ෂ දෙකක් අතර බෙදී පැවති 2000 -2002 වකවානුවේදී ද ආරක්ෂා අංශ ප්‍රධානින් මෙවැනි අර්බුදයකට මුහුණදුන් අවස්ථාවේදී එවකට ආරක්ෂක මණ්ඩල ප්‍රධානීයාව සිටි අද්මිරාල් දයා සඳගිරි ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා ගෙන් උපදෙස් පතා තිබිණ. එවකට සිටි නීතිපතිවරයා එහිදී පවසා ඇත්තේ ආරක්ෂක අංශ සම්බන්ධ කාරනා වලදී හමුදා සේනා විධායක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නියෝග අනුවට කටයුතු කරන ලෙසත් පාර්ලිමේන්තුවට අදාල කටයුතු වලදී අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝගමත කටයුතු කරන ලෙසත්ය.

 

බුද්ධි අංශ ප්‍රධානියා අස් වුණා ද? අස් කළා ද?

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්, ජනාධිපතිවරයා විසින් එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

නමුත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගේ තනතුර හිස්වීම දේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉල්ලා අස්වීමක් හැටියට ය.

පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර වළක්වා ගත හැකිව තිබූ බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ප්‍රකාශ කර තිබුණි.

ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ඇතිවිය හැකි තර්ජනය නිසි ලෙස තක්සේරු කිරීම සඳහා ආරක්ෂක විමර්ශන රැස්වීම් නිතිපතා නොපැවැත්වුණු බවත් ඔහු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ පැවසීය.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ඉන්දියාවේ බුද්ධි අංශ කල් තියා අනතුරු ඇඟවීම් කර තිබියදීත් එය වළක්වා ගැනීමට නොහැකි වීම ගැන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට සහ රජයට දැඩි චෝදනා එල්ල විය.

 

මහජනතාවගේ අයිතියක් !

ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අතර අර්බුදය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල ද පුළුල් සංවාදයක් මතුව ඇති අතර ජයතිලක බණ්ඩාර සිය FB පිටුවට සටහනක තබමින් පවසන්නේ,
''තේරීම් කාරක සභාව පවත්වාගෙන යාම පාර්ලිමේන්තුවේ වගකීමක්.
මහජනතාවගේ අයිතියක්.'' කියාය.

Jayathilaka Bandara

සබැඳි පුවත් :

විධායකය හා ව්‍යවස්ථාදායකය යළි ගැටෙති : කතානායකගෙන් ජනාධිපතිට අභියෝගයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්