කොරෝනා වසංගතය හේතුවෙන් මාස 03 කට අධික කාලයක් තාවකාලිකව වසා දැමුණු රජයේ පාසල් අද (29) සිට විවෘත විය.

පළමු අදියර යටතේ අද සිට ලබන ජූලි මස 05 වනදා දක්වා පාසල් වෙත කැඳවා ඇත්තේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයයි. ඒ අනුව අද සිට ලබන 05 වනදා දක්වා පාසල් පරිශ්‍ර පවිත්‍ර  කිරීම, විෂබීජහරණ කටයුතු, දෑත් සේදීමේ පරිශ්‍ර සහ ගිලන් කාමර සූදානම් කිරීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් සකස් කෙරෙනු ඇත.

දරුවන් පාසල් වෙත කැඳවීමෙන් පසු ඉදිරි ක්‍රියාවලිය පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම ද විදුහල්පතිවරුන් ප්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසිය.

 දරුවන් පාසල් වෙත එවීමට පෙර මව්පියන්ට උපදෙස් දෙයි

ඉදිරි සතියේ සිට අදියර කිහිපයක් යටතේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසු මව්පියන් අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ යළි සිහිකැඳවයි.

සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හා උණ යන රෝග ලක්ෂණ පැවතිය හොත් දරුවන් පාසල් වෙත යොමු නොකරන ලෙස මෙහිදී ඉල්ලීමක් කෙරින.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩි දුරටත් සඳහන් කළේ මුඛ ආවරණ පැළඳීමට අවශ්‍ය පියවර ගැනීමට අත්‍යවශ්‍ය කරුණක් බවයි. එමෙන්ම පාසලේදී දරුවන්ට අත් සේදීමට පහසුකම් සැළසීම, දුරස්ථභාවය ආරක්ෂා කිරීම කෙරෙහි නිතර අවධානය දීම ආදිය ගැන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට වගකීම් පැවරෙන බවද ඔහු සඳහන් කළේය.

 ජූලි 06 වනදා 05, 11 සහ 13 යන ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන අතර  10 සහ 12 ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු ජූලි 20 වනදා සිට ආරම්භ කෙරෙනු ඇත.

03, 04, 06, 07, 08 සහ 09 යන ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යයන කටයුතු ජුලි 27 වැනිදා සිට ආරම්භ කෙරෙන අතර  01 සහ 02 ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

 එක් එක් ශ්‍රේණි සඳහා පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන කාල වේලාවන් ද සංශෝධනය කර ඇත.

ඒ අනුව 03 සහ 04 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන්නේ පෙරවරු 07.30 සිට පෙරවරු 11.30 දක්වාය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින 05 ශ්‍රේණියේ දරුවන්ගේ අධ්‍යයන කටයුතු පෙරවරු 07.30 සිට මධ්‍යහන 12.00 දක්වා සිදු කෙරේ.

06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු සිදුකෙරෙන්නේ පෙරවරු 07.30 සිට පස්වරු 01.30 දක්වාය.

10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන්ගේ අධ්‍යයන කටයුතු පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා සිදුකිරීමට නියමිතය.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් යම් පාර්ශවයකට ගැටලූ ඇත්නම් ඒ පිළිබඳ සාකච්ජා කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළේය.

 

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්