ලංකාවේ සිවිල් යුද්ධය, යුදමය වශයෙන් පරාජය කර එකොලොස් වසරක් ගත වී තිබේ. නමුත් යුද්ධයට පසුබිම් වූ දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය ඉල්ලීම් කිසිවක් මෙතෙක් ආමන්ත්‍රණය වී නැත. එවැන්නකට වෑයමක් දැරුවා

නම් එය සිංහල බෞද්ධ මහජාතිවාදයේ ලැව් ගින්නට හසුව දැවී ගියේ ය. එම ගිනිදැල් නිවීමට සමත් බ්‍රිගේඩයක් ප්‍රජාතන්ත්‍රවාදය සතු නොවූ වා පමණක් නොවේ; ඒ සදහා යොදා ගත් බවුසර් සමහරක් පුරවා තිබුනේ පොටෑසියම් බයිකාබනේට් ද්‍රාවනයෙන් නොව LP ගෑස් වලින් ය.

ඒ තතු යටතේ තවමත් අඩුම තරමින් තමන්ගේ මලවුන් සැමරීමේ ඉඩ කඩක් වත් පරාජිත දෙමළ ජනතාවට නැත. බහුතර ජනමාධ්‍ය අනුග්‍රහයෙන් ආණ්ඩුව ගෙනයන, “කොටි” යලි උත්ථානයවීමේ “අනතුර” පිලිබද ප්‍රචාරය මේ අවම දැයටත් එරෙහිව නිරතුරුව යොදා ගැනේ.

 

බියකරු සිදුවීම් සිහිපත් කරන දිනයන් :

1990 ජූනි 20 දිනය එක්තරා බියකරු සිදුවීමක් සිහිපත් කරන දිනයකි. එයට සිදුවීමක් - දිනයක් කීම සෑහෙන්නේ නැතැයි සිතේ. මන්දයත් එකම සිදුවීමක දිගුවක් ලෙස තවත් බිහිසුනු දෑ ඊලග සති වල දී ත් සිදුව ඇති නිසාය.

එම සිදුවීම එකිනෙකට සම්බන්ධිත අනෙක් සිදුවීම් නොතකා හැර වෙන්ව ගත් කල්හි සාපේක්ෂව අඩු වැදගත් කමක් දරන්නා සේ පෙනීමට ද ඉඩ ඇත. ඒ නිසා ජූනි 20 ඇරඹී දෙමසකට ආසන්න කාලයක් තුළ ඇදී ගිය සමූල ඝාතන වැලකින් යුත් සිද්ධි වාචකය මෙසේ සටහන් කරමු.

Veeramunai

වීරමුනේ යනු අම්පාර දිස්ත්‍රික්කයේ පරම්පරාගත දෙමළ ගම්මානයක්. පෘතුගීසීන් තම ජනපද ඇති කිරීම සදහා මුස්ලිම් ජනතාව වෙරළබඩ ප්‍රදේශ වලින් ඉවත් කරනු ලැබූ අතර ඒ දරු පවුල් යාබද වෙනත් බිම් වල පදිංචි වූ හ. සමන්තුරේ නගරය එදා එසේ වාසස්ථාන බවට පත් වූ පෙදෙසකි.

මේ බිම්කඩවල් තම වාසභූමි කරගත් මුස්ලිම් හා දෙමළ ජන කණ්ඩායම් එක්ව උරෙනු’ර ගැටෙමින් තම භූමි ප්‍රදේශවලට දියුණුව ළඟා කර ගනිමින් සාමයෙන් දිවි පෙවෙත ගෙන ගියහ.

එදා, 1990 ජූනි 20 දා සන්නද්ධ හමුදා වීරමුණේ ගම් පියස වටකරගත් අතර ගම්වැසියන්ට අණ ලැබුනේ වීරමුණේ ගණදෙවි කෝවිලට යන ලෙසයි. එසේ නොගොස් යමෙක් නිවෙස්හි රැදී සිටියේ නම් ඔහු වෙඩි තබා මරා දැමුණි.

වේලාව ගත වෙද්දී හමුදා භටයන් විශාල පිරිසක් මේ කෝවිලට ආහ. ඒ වන විට දහසකට අධික ජනකායක් හමුදා නියෝග පරිදි කෝවිලට පැමිණ සිටියහ. මේ පිරිස අතරින් වයස අවුරුදු 15 ඉක්මවූ පිරිමින් වෙන්කරගත් හමුදාව 69 ක් වූ ඒ තරුණ පිරිස සිය ඥාති හිත මිත්‍රාදීන් බලා සිටිය දී අත් අඩංගුවට ගනු ලැබුණි.

අත් අඩංගුවට ගත් මිනිසුන් සමන්තුරේ මර්ජාන් පාසලට රැගෙන ගොස් වධබන්ධනයන්ට ලක් කර ඇත. ඒ හේතුවෙන් 50 දෙනෙක් මරණයට පත් වූ අතර ඔවුන් ගේ සිරුරු ඒ අසබඩ පිහිටි කැලයකට රැගෙන ගොස් ගිනිතබා ති‍බේ.

''අත් අඩංගුවට ගත් මිනිසුන් සමන්තුරේ මර්ජාන් පාසලට රැගෙන ගොස් වධබන්ධනයන්ට ලක් කර ඇත. ඒ හේතුවෙන් 50 දෙනෙක් මරණයට පත් වූ අතර ඔවුන් ගේ සිරුරු ඒ අසබඩ පිහිටි කැලයකට රැගෙන ගොස් ගිනිතබා ති‍බේ.''

එම ජූනි 29 වැනිදා යලි මේ ගම්වැසියන්ගෙන් පිරිසක් හමුදා මගින් කෝවිලෙන් රැගෙන ගොස් ඇති අතර ඔවුහු අතුරුදහන් වී ගියෝ ය. මේ සිදුවීම් වලින් පසු කෝවිලේ සිටි අවතැන් වූ ජනතාව එතැනින් ඉවත් කර කරෙයිතිව් මහා විද්‍යාලය වෙත රැගෙන ගොස් ඇත.

 

ජූලි 03 වැනිදා පාසල වට කළ හමුදාවන්....

යලි ජූලි 03 වැනිදා මේ පාසල වට කළ හමුදාවන් තවත් තරුණයන් 11 දෙනෙක් ද රැගෙන ගිය අතර ඔවුන් ද අතුරුදහන්ව ගියේ ය.

නැවත ජූලි 05 දා මිනිසුන් 13 දෙනෙක් රැගෙන ගිය අතර, ඔවුන් සියලු දෙනා වධබන්ධනයටන්ට ලක් කර ඝාතනය කිරීමෙන් පසු සිරුරු ටයර් දමා පුළුස්සා දමනු ලැබිණි.

මේ අතර හමුදාවන් රැගෙන ගිය තම ඥාතීන් පිළිබදව විමසීමට ගිය පුද්ගලයන්ට ද අත්අඩංගුවට පත්ව පහර කෑමට සිදුවී තිබේ. අනතුරුව මේ අවතැන්වූ පිරිස් යලිත් වීරමුනේ අනාථ කදවුරකට යවන ලදී.

 

අත්අඩංගුවට පත් කාන්තාවන් සමූහ දූෂණයට :

ජූලි 10 වැනිදා නැවතත් තරුණයන් 15 ක් ඒ ඉරණමට මුහුණ දුන් අතර ජූලි 16 වැනිදා මේ අනාථ කදවුරේ සිටින 08 දෙනෙකුගෙන් යුත් කාන්තාවන් පිරිසක් තම නිවෙස් දැක බලා ගැනීම සඳහා යමින් සිටියදී මල්වත්ත මුර පොලේ දී අත් අඩංගුවට පත්ව, හමුදා භටයන් 30කට වැඩි පිරිසකගේ සමූහ දූෂණයට ගොදුරු වීමෙන් අනතුරුව ඝාතනයට ලක්ව දැවී යෑමේ ඉරණමට ගොදුරුවී ගියහ.

''ජූලි 16 වැනිදා මේ අනාථ කදවුරේ සිටින 08 දෙනෙකුගෙන් යුත් කාන්තාවන් පිරිසක් තම නිවෙස් දැක බලා ගැනීම සඳහා යමින් සිටියදී මල්වත්ත මුර පොලේ දී අත් අඩංගුවට පත්ව, හමුදා භටයන් 30කට වැඩි පිරිසකගේ සමූහ දූෂණයට ගොදුරු වීමෙන් අනතුරුව ඝාතනයට ලක්ව දැවී යෑමේ ඉරණමට ගොදුරුවී ගියහ.''

මේ වීරමුනේ හා අවට ගම්මාන වල ජන කොටස එල්ලකර ගත් තවත් අතුරුදහන් කිරීම් හා ඝාතන රැසක් එනම්; ජූලි 26 වැනිදා අත් අඩංගුවට ගත් පාසල් සිසුන් 23 ක් අතුලත් 32 ක් පිළිබදවද, ජූලි 29 දා අත් අඩංගුවට ගත් ගුරුවරුන් 08 දෙනෙක් පිළිබදවද, අගෝස්තු 01 දා සිවිල් වැසියන් 18 දෙනෙකු සම්බන්ධයෙන් ද සිදු කෙරුණු බව වාර්තා කෙරී තිබේ.

 

මිනිසුන් 200 කට වැඩි පිරිසක් ඝාතනය කරලා !

මේ වාර්තා සලකා බලන කල පෙනෙන්නේ 1990 ජූනි 20 සිට අගෝස්තු 15 දක්වා කාලය තුලදී මේ වීරමුනේ හා අවට ගම්මාන වල මිනිසුන් 200 කට වැඩි පිරිසක් එක්කෝ ඝාතනය කර නැත්නම් අතුරුදහන්කර තිබෙන බවයි.

මෙකී සිදුවීම් මාලාව ආශ්‍රිතව වීරමුණේ හි නිවාස 600 ක් ගිනිබත් කෙරුණි. ඊට අමතරව අවට පිහිටා ඇති මල්වත්ත, මල්ලිහයිතිව්, නව නගරය, කනපතිපූරම්, වලත්තපිඩ්ඩි හා සම්මන්තුරෙයි ගම්වල නිවාස 1352 කට ගිනි දමන ලද්දේ ය. සමස්ථයක් ලෙස ගත්කල ප්‍රදේශයේ නිවාස 2000 කට වැඩි ප්‍රමාණයක් මාස දෙකක් ඇතුලත හමුදා ක්‍රියාකම මත ගිනි තබා විනාශ කර ඇත්තේ ය.

එකට එකක් ඇමුණුනු මේ සිදුවීම් රැස පිළිබදව අත් දුටු සාක්ෂි කිහිපයකට සවන් දීමට දැන් අවස්ථාව එළඹ ඇතැයි සිතමු. අත්දුටුවන්ගේ බොහොමයක් සාක්ෂි අතරින් සිත් කම්පා කරවන සාක්ෂි දෙකක් පමණක් මෙහි ඉඩ ඇති පරිදි සටහන් කරමු.

ඉන් එකක් මවකගේ හදවතේ විලාපය අප ඉදිරියේ තබයි. දෙවැන්න මේ අත්දැකීමට මුහුණ දී දිවි ගලවාගත් තරුණයෙකු ගේ ය. එය දකින කල සැමරීමට ඇත්තේ මෙවන් දෑ නම් ඒවා සැමරීමට වග කිවයුත්තන්ට ඉඩදිය හැක්කේ ද යන්න විමතිය කි.

Veeramunai Kovil

 

මවකගේ හදවතේ විලාපය :

පෙර කී වීරමුනේ වැසි මවක් තම හඬ අවදිකර ඇත්තේ මෙසේ ය.

“ඒ ජූනි 20 වැනිදා. හවස 02 ට විතර හමුදා වාහන පෙලක් වීරමුනේ කෝවිල් භූමිය තුළට ආවා. එය දහස් ගණනක් මිනිසුන්ට රක්ෂාස්ථානයවයි තිබුනේ. සොල්දාදුවන් ශබ්ද විකාශන මගින් නිවේදන කළා වයස අවුරුදු 15 ට වැඩි සෑම පිරිමියකුටම කෝවිලේ මිදුලට රැස්වන ලෙසට. මිනිසුන් තමන් සරණාගතයන් බවට පත් කරල කෝවිලට දමපු දා ඉදලම හඬ නැගුවේ තමන්ට ආසු නිවෙස්වලට යාමට ඉඩ දෙන ලෙසයි. මොකද සොල්දාදුවන් ඒ බිමේ දී ඝාතන සෙල්ලම පටන්ගනීවි යැයි බියට පත්ව සිටි නිසා.

මිනිසුන් එකා පසුපස එකා බැගින් එලියට පැමිණ කෝවිල අයිනේ තිබූ මේ විවෘත ස්ථානයේ සිට ගත්තා. කාන්තාවන් ඉමහත් කැළඹීමෙන් යුතුව බලා සිටියා. සොල්දාදුවන් කෝවිල ඇතුලේ කවුරු හරි හැංගිලා ඉන්නවාද කියා නිසැකවම දැක බලා ගැනීමේ නියාවෙන් එහි අභ්‍යන්තරයේ අතිපාරිශුද්ධ කොටසට පවා රිංගා පරීක්ෂා කළා. කිහිප වරක් සෝදිසි කර මැන බැලීමෙන් පසුව තරුණයන් හා වැඩුනු සිරුරු ඇති ළමයින් පිරිසක් එහි ගෙනැවිත් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් වලට නංවා ගත්තා.

කාන්තාවන් මේ සොල්දාදුවන් ඉදිරියට ගිහින් ඔබලා මේ කරන්න හදන්නේ මොනවාදෝ යි ඇසුවා. එහි නිලධාරියෙක් කියා සිටියේ ඔවුන්ව රැගෙන යන්නේ ප්‍රශ්න කිරීමට බවත්, ඉන් අනතුරුව ඔවුන්ව නිදහස් කිරීමට ඉඩ ඇති බවත් ය. කාන්තාවන් මේ සොල්දාදුවන් ඉදිරියේ; මේ තමන්ගේ දරුවන් කිසිදු ආකාරයක ත්‍රස්තවාදයක් සමග බැදීමක් නැති බවත්, මේ අත් අඩංගුවට ගත් දරුවන් සැවොම අහිංසක තරුණයන් බවත් කියමින් කන්නලව් කළා.

සොල්දාදුවන් මේ කාන්තාවන්ගේ කදුලින් බරවූ ආයාචනා නොතකා ඒ තරුණ පිරිස් ද රැගෙන කෝවිල් භූමියෙන් පිටව යාමට සැරසුනා. අපි ඒ වාහන ඉදිරියේ ඇද වැටී සොල්දාදුවන්ට වැද වැටුනා අපේ කොලුපැටවුන්ව නිදහස් කරන ලෙස. කෝවිලට කඩා වැදී මේ පැහැරගැනීම මෙහෙය වූ හමුදා නිලධාරියා කාන්තාවන්ගේ විලාපයට පිලිතුරු ලෙස කර්කශ වචන වලින් හඬ නැගුවේ, වාහන වල ගමනට හරස්කපන ගෑනු පිරිමි සැමට වෙඩි තැබීමට තම මිනිසුන්ට නියෝග කරන බවටයි. බිය වැදුනු කාන්තාවන් පසු බැස යද්දී හමුදා වාහන අපේ දරුවන් රැගෙන පිටව ගියා. පසුව ඉන් කිහිප දෙනෙක් පැමිණියේ වධදීම් වලින් ඇතිවූ තැලීම් පොඩිවීම් හා කැඩුම් බිදුම් සහිත සිරුරු රැගෙන යි.”

 

සුදු පාට ගෝනි බිල්ලා

අත් අඩංගුවට ගැනීමෙන් පසු එම මාරමුඛයෙන් ගැලවී පැමිණි පෙර කී තරුණයා මෙසේ කියා ඇත්තේ මෙසේ ය.

“මම වීරමුනේ කෝවිලේ දී ජූනි 20 වැනිදා අත් අඩංගුවට ගත්තවුන් අතරින් එක් අයෙක්. සරණාගත වූ අය රැදී සිටි කෝවිලෙන් තරුණ මිනිස්සු ගණනාවක් රැගත් වාහන සම්මන්තුරේ අල්-මර්ජාන්  මුස්ලිම් ඉස්කෝලෙට රැගෙන ගිහින් කිසිදු හේතුවකින් තොරව දරුණු ලෙස පහර දුන්නා. සොල්දාදුවන් පළමුව අපට පහර එල්ල කළේ තුවක්කු බඳවල් වලින්; ඉන් පස්සේ අතින් පයින් පහර දුන්නා.

අනාථ කදවුරෙන් රැගෙන ආ තරුණයන්ව පසුව පැහැපත්, මහත, තරුණ පෙනුමැති අමුත්තකු වෙත ඉදිරිපත් කළා. මා ඔහු ඉදිරියට පත් කළ විට ඔහු No කීවාම මාව පැත්තකට අරන් ගියා. ඒ සැදෑවේ මේ අමුත්තාට අපේ තරුණයන් බොහොමයක් ඉදිරිපත් කළාම කල්හි ඉන් බොහොමයකට එයා Yes කී බව මට දැනගන්නට ලැබුනා. ඔහු විසින් “ඔවු” කියනු ලැබූ අයව වෙනත් ගොඩනැගිල්ලකට රැගෙන ගියා. ඔහු විසින් “නෑ” ප්‍රකාශය කරනු ලැබූ අයව දෙමළ බස කථා කළ හැකි වෙනත් නිලධාරියකු ඉදිරියට පත් කරනු ලැබුවා.

මා ඔහු කුමක් කියන්නේ දැයි අවධානයට ගන්න තරම් සිහි කල්පනාවකින් හිටියේ නෑ. ඉන් ටික වේලාවකට පෙර මා පෙළනු ලැබූ වදදීම් විසින් මගේ ශරීර ශක්තියත් කල්පනා ශක්තියත් උදුරාගෙන තිබුනා. හමුදා නිලධාරියා අපට කීවේ අපව ගෙන ආ කෝවිලටම ආපසු යන ලෙසයි. අනෙක් අය අපෙන් වෙන් කරනු ලැබුවා. අපේ තේරුමේ හැටියට ඔවුන්ව මලෙයිකාඩු කියන කැලෑබද කදුකර පුදේශයට හමුදා වාහන වලින් ගෙන ගිහින් මරා දමා තිබෙනවා.

එදා, 20 වැනිදා කෝවිලෙන් රැගෙන ගිය අයගෙන් ආපසු පැමිණියේ 20 ක පමණ කණ්ඩායමක් පමණයි. අපිට දැනගන්නට ලැබුනා බාගෙට පිලිස්සී ගිය මිනිස් සිරුරු මලෙයිකාඩු පෙදෙසේ කුණුවෙමින් තිබෙන බවත්, මේ කුණුවන මිනී මස් වල ගන්දස්සාරය දරා ගන්නට බැරි වූ තැන පළාතේ මුස්ලිම් මිනිස්සු එකතුවෙලා දහයියා ට්‍රැක්ටර් ගනනාවක් ගෙනැවිත් ඒවා යොදා ගෙන මේ කුණුවන සිරුරු දැවූ බවත්.”

hena
1988-89 දකුණ භීෂණයෙන් ඇලලී ගියේය.

මේ සිදුවීම් මාලාවේ අරුත සැඟවිය යුතු තරම් දෙයක් නැත. නමුත් සිහිපත් කළ යුතු වැදගත් සත්‍ය තොරතුරක් මේ තුළ අඩංගු වී ඇත. මේ  දකුණේ බිල්ලන් යොදාගෙන කැරළිකාර සිංහල තරුණයන් අත් අඩංගුවට ගෙන අතුරුදහන් කළ වකවානුවේ කෙලවරට ආසන්න යුගයයි.

ලංකාවේ බොහෝ තන්හි මෙන්ම මෙහි ද “ඔව්”, “නෑ” කියූ අයකු මරණය රැගෙන ආ බව පෙනේ. “ඔව් - නෑ” කට්ටිය එක සමාන බව පෙනේ. නමුත් මරණයට ගොදුරු වූවන් නම් වෙනස් ය. ඒ එක් කොටසක් උතුරේ ස්වපාලනය වෙනුවෙන් කැරළිගැසුවා යයි චෝදනා ලද්දෝ වෙති.

(රණත් කුමාරසිංහ)

සබැඳි පුවත්:

දින තුනක් තුල සමරු යෙදෙන දෙමළ සමූහ ඝාතන තුනක්!

නාවික හමුදාව චෝදනා ලබන 'කුමුදිනී සමූලඝාතනයට' අවුරුදු තිස් පහයි!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්