හැම ආගමක්ම වාගේ මත්පැන් පානයට විරුද්ධය. ඒවා පානය කරන්නන් බේබද්දන් ලෙස හංවඩු ගසා නිග්‍රහයට පාත්‍ර කිරීම කුහක ආගමික දෘෂ්ටිවාදයක් වෙයි.

යුරෝපීය රටවල කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නම් එය අතිශය කුහක ආගමික දෘෂ්ටිවාදයකි. ඒ බව විමැසීම මේ ලිපියේ අරමුණයි.

මත්පැන් පමණක් නොව දුම්බීමද නිග්‍රහයට ලක්වේ. සූදු කෙළීමද එසේය. හාස්‍ය ජනක යථාර්ථය නම් අපේ බදු ආදායමෙන් විශාල කොටසක් උපයා ගන්නේ මත්පැන්, සිගරට් සහ ලොතරැයි විකිණීමෙන් වීම යි. ඒ නිසා ආණ්ඩුව විසින් සම්මත කෙරෙන හැම අය වැය ප්‍රකාශයක් ම ආගම් විරෝධී වෙයි.

මත්පැන්, දුම්වැටි මිල වැඩි කිරීමෙන් ඒවා භාවිතය අවම කිරීමට 'ධර්මිෂ්ට' ආණ්ඩු පියවර ගනිති යි යන අදහස අමූලික මුසාවාදයකි. මුසාවාදය ද ආගම්වලින් පිළිකෙව් කෙරේ. එහෙත් එකී මුසාවාදයට පූජ්‍ය පූජක තන්ත්‍රයේ ප්‍රශංසාව හිමි වෙයි.

ලොතරැයි විකිණීම යන මුසාවාදය ද, ඒ හරහා කෝටි ගණන් මුදල් ත්‍යාග දීමෙන් අංහිංසක ජනතාවගේ තෘෂ්ණාව අධික කිරීම ද, ජනතාවගේ මුදල් ඒ හරහා වක්‍රාකාර ව සොරකම් කිරීමද පූජ්‍ය පූජක තන්ත්‍රයේ අවධානයට ලක් නොවේ.

බොරු කීමත්, සොරකමත් ඔවුන්ගේ අනුමැතියට ලක්වේ. ඒ අනුව පූජ්‍ය පූජක තන්ත්‍රය යනු දෙබිඩ්ඩන්ගේ නොහොත් කුහකයන්ගේ අප්‍රකාශිත සංගමයක් ද?

මෙහි ගඳගහන තවත් පැත්තක් තිබේ. ආණ්ඩුව ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ධර්ම ග්‍රන්ථ පළ කිරීමට වැය කරන්නේ මහජනතාවගෙන් අය කර ගැනෙන බදු මුදල්වලින් කොටසකි. බදු ආදායමෙන් වැඩි කොටසක් උපයා ගන්නේ මත්පැන් දුම්වැටි මත පැණැවෙන බදුවලින් නම් පිළිසකර කෙරෙන සිද්ධස්ථානවලින් පළ කෙරෙන ධර්ම ග්‍රන්ථවලින් විහිදෙන්නේ මත්පැන්වල සහ දුම්වැටිවල දුර්ඝන්ධය නොවේ ද? මුසාවාදයේ, සොරකමේ උදාන ගීතය නොවේ ද?

මේ ආගමික කුහකභාවයේ බලපෑම් සමාජයේ කුඩා ම ඒකකය වන පවුල කෙරෙහි ඇති කරන්නේ විශාල බලපෑමකි. ගෘහ මූලිකයා හෝ පවුලේ සාමාජිකයකු හෝ පැන් පානය කරන්නේ නම් මත්පැන් පානයට පැනවෙන බද්ද වැඩි වන්නට වැඩි වන්නට ඔහු ඒ සඳහා දරන වියදම වැඩි වේ. ඔහුගේ මාසික ආදායමෙන් ගෙදර දොර වැඩ කටයුතු සඳහා වැය කරන මුදල අඩුවේ.

මීට වඩා ව්‍යාසනයක් සිදු වනුයේ අඩු ආදායම් ලාභීන් නීති විරෝධී විෂ මත් පැන් වෙත යොමු වීමෙනි. එයින් ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහෙයි, කාර්යක්ෂමතාව ක්ෂය වෙයි. ඇතැම්හු මරණයට ද පත් වෙති. අඩු ආදායම් ලාභීන් මේ තත්වයට පත් වීමේ අපරාධයට ආණ්ඩුවත්, පූජ්‍ය පූජක තන්ත්‍රයත් වගකිව යුතු නැද්ද? ඒ හෙයින් ඔවුහු වක්‍ර අපරාධකාරයෝ මිනීමරුවෝ නොවෙත් ද?

බෞද්ධ පූජක තන්ත්‍රයේ මත්පැන් විරෝධය ගැන කියන මෙම ලියුම්කරුව ඔබ අල්ලාගෙන සිනාසිය හැකි සිදුවීමක් මතක් වේ.

කළෙකට පෙර අපවත්වූ ගණේගම සරණංකර මිහියන් අරභයා ගුණ සමරු උළෙලක් බද්දේගම දුටුගැමුණු විහාරයේ දී පැවැත්විණි. සරණංකර හිමියන් යනු මත්පැන් පානයටත්, මාංශ භක්ෂණයටත් විරෝධය පෑ සුවිසල් සඟනමකි.

මහාචාර්යවරුන් ද සහභාගි වූ එම උළෙල පැවැත්වුණේ පසළොස්වක පෝය දාකයි. එහි අවසන් කතාව කළ උත්සව සංවිධායකවරයා මගේ ද හිත මිත්‍රයෙකු වන අතර ප්‍රකාශිත සිංහල බෞද්ධයෙකි. එහිදී ඔහු පැවැසූයේ සරණංකර හිමියන් මතු බුදු වන දා තමා එහිමියන්ගේ අතවැසියෙකු වන්නට පතන බව යි.

උත්සවය අවසානයේ මට එකී සංවිධායකවරයාගෙන් ඇරයුමත් ලැබිණි. ඒ එවකට ප්‍රකට සිංහල බෞද්ධ ලේඛකයෙකුගේ නිවසට එන ලෙසයි. එහි ගිය මට දැකගන්නට ලැබුණේ බැදපු වල්ඌරු මස් සහ අරක්කු බෝතල් කිහිපයක් සාලයේ මේසය මත තියෙන බව යි. අදේවවාදියෙකු වන මම ශ්‍රද්ධාවන්ත සිංහල බෞද්ධයන් සමග හරි හරියට මත්පැන් බිව්වෙමි. මේ පරම කුහකත්වය නෝවේ ද?

මත්පැන් පානය තරයේ ප්‍රතික්ෂේප කරනා බෞද්ධ සමාජයේ තවත් පැතිකඩක් සිංහල කටවහර ඇසුරින් පෙන්වා දිය හැකි ය. 'මචං එදා මට බුදු වෙරි ' කීමෙන් ඇඟවෙන්නේ කොතෙකු හොඳටම බීවමත්ව සිටි බව යි.

කාලක් බීවොත් කාලකන්ණියෙකු වන අතර එක භාගයක් බීවොත් 'භාග්‍යවන්තයෙක් ' වෙයි. 'භාග්‍යවතුන් වහන්සේ ' යනු බුදුන් සඳහා යොදෙන්නකි. බෝතලයක් බිව් එකා 'බෝධි සත්වයෙකි ' බෝධි සත්ව යනු බෞද්ධයින් මහත් ගෞරවයෙන් සලකන තත්වයකි.

හොඳට වෙරි වීම බුදු වීමකට සමාන කරන සිංහල බෞද්ධයාගේ කුහකත්වයක්, ආගමික නායකයන්ගේ කුහකත්වයත් සලකා බැලීමේදී අපට පෙනී යනුයේ සමස්ථ සිංහල බෞද්ධ ජන විඥානය තුළ ම කුහකත්වය උඩුදුවා ඇති බව ද? පූජ්‍ය පූජක තන්ත්‍රය සමතිවිප්පවාසයෙන් ක්‍රියා කරන බව ද? එසේ නැතිනම් ඔවුන් ද දේශපාලඥයන් මෙන් ම කෛරාටික පාපතරයන් බව ද?

(නීල් ක්‍රිස්ටෝපර් - අනිද්දා පුවත්පතේ පළවූ ලිපියකි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්