ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවත්, වෙනත් සාකච්ඡාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසයි.

 

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මෙම අදහස් පළකලේ ඇඹිලිපිටියේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මහින්ද රාජපක්ෂ වැනි ජනතාවාදී නායකත්වයක් සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් අපේක්ෂකයෙකු මෙන්ම ශක්තිමත් වැඩ පිළිවෙලක් ද ඇති බව ඔහු එහිදී අවධාරණය කළේය.

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහාත් ඉදිරි මහ මැතිවරණයට පොදු සන්ධානයක් යටතේ තරඟ කිරීම සඳහාත් ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර මේවනවිටත් සාකච්ජා පැවැත්වෙමින් තිබේ. එසේ තිබියදී මන්ත්‍රීවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රීලනිප මහ ලේකම්වරයාව මෙම මාධ්‍ය හමුවේදී දැඩිව විවේචනය කළේය.

Clip

 

'ගෝඨා ෆුල් ෆිට් එකේ ඉන්නවා''

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා අසනීප තත්වයෙන් පසුවන බවට පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ හිතවතකුගෙන් කළ විමසීමකදී පැවසුයේ, ''ගෝඨා ෆුල් ෆිට් එකේ ඉන්නවා'' කියාය.

කෙසේවුවද 'රාවය' පුවත්පත වාර්තා කර ඇත්තේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සිංගප්පූරු රෝහලකදී ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බව, අධිකරණයේදී අනාවරණය වී ඇති බවයි. එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

''මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් රුපියල් තුන්කෝටි තිස්නව ලක්ෂයක් අවභාවිත කළැයි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ, ඔහුට එරෙහිව විභාග වන නඩුව කැඳවූ පසුගිය 3 වනදා මෙම කරුණු අනාවරණය වී ඇත.

නඩුව කැඳවූ ජූනි 2 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු විදේශගතව යළි දිවයිනට පැමිණ සිටියේ නැත. එහෙත් පසුගිය මැයි 23 වැනිදා අධිකරණය අවසර දී තිබුණේ මැයි 24 සිට ජූනි 02 දක්වා වෛද්‍ය පරීක්ෂණය සඳහා විදේශගත වීමටය.

මේ නිසා ඔහුගේ නීතිඥ අලි සබ්රි ජූනි 03, මෝසමක් මගින් නඩුව කැඳවා ප්‍රකාශ කළේ සිය සේවාදායකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරු රෝහලකදී ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බවය. තවත් වෛද්‍ය පරීක්ෂණ කීපයකට මුහුණදීමට ඔහුට සිදුව ඇති බවත් පැවසූ නීතිඥවරයා, ශල්‍ය කර්මය පිළිබඳ වෛද්‍ය වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කළේය.

 

වෛද්‍ය වාර්තාව ආරක්ෂිත සේප්පුවක :

එමෙන්ම විශේෂත්වය වූයේ එම වෛද්‍ය වාර්තාව අධිකරණයේ ආරක්ෂිත සේප්පුවක රෙජිස්ට්‍රාර්වරයා භාරයේ තබන ලෙසට කළ ඉල්ලීමය.

නීතිඥ අලි සබ්රි තවත් විශේෂ ඉල්ලීමක් කරමින් ප්‍රකාශ කළේ ජූනි 19 නඩුව විභාග කිරීමට දැනටමත් දින නියම කර ඇති නිසා නඩුව ‘විභාග රෝලෙන්’ (නඩු විභාග කාලසටහනෙන්) ඉවත් කරන ලෙසය.

වෛද්‍ය වාර්තාව ආරක්ෂිත සේප්පුවේ තැබීමට අධිකරණයේ අවසර හිමි වුවත්, නඩුව ‘විභාග රෝලෙන්’ ඉවත් කිරීමට නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ වසන්ත පෙරේරා විරුද්ධ වී තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ විත්තිකරු වෙනුවට පෙනී සිටීමට නීතිඥවරයාට අවසර ලැබී ඇති නිසා නඩුව විභාග රෝලෙන් ඉවත් කිරීම අවශ්‍ය නොවන බවය.

ජූනි 19, නඩුව යළි කැඳවීමටත් විත්තිකරු නොමැතිව නඩුව විභාග කරන්නේද යන්න එදින තීන්දු කිරීමටත් අධිකරණය තීරණය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි මෙම නඩුව විවිධ උපක්‍රම භාවිත කරමින් කල් යැවීමට විත්තිය උත්සාහ ගනිමින් සිටින බවට, නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙරද අධිකරණය ඉදිරියේ චෝදනා කර තිබිණි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්