මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම්වලට මුදල් යෙදවූ 'කොලෝසස් පුද්ගලික සමාගම' සිදුකළ නිෂ්පාදන සඳහා අවශ්‍ය තඹ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක්
ඊට ලබාදෙන ලෙස එවකට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කළ දේවිකා ලියනගේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙත දැනුම් දී තිබුණු බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ.ඩී.රංජිත් අශෝක පැවසීය.
ඔහු එබව සඳහන් කර සිටියේ, පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය දා (ජුලි 03) සාක්කි දෙමිනි.
මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනත් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී එදින රැස්විය.
'කොලෝසස් පුද්ගලික සමාගම' පාස්කු ඉරුදින 'සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් එකකි.
''කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙත 'කොලෝසස්' පෞද්ගලික සමාගමට අනෙකුත් ගැණුම්කරුවන්ට වඩා වැඩි තඹ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර ගේ අත්සන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දේවිකා ලියනගේ ගේ අත්සන සහිත ලිපි දෙකක් මගින් එම දැනුම් දීම කර තිබුණු බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ.ඩී.රංජිත් අශෝක කොමිසම හමුවේ සාක්කි දෙමින් සදහන් කළේය.
ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර 2018 ජුලි 6 වැනිදා එම ලිපිය එවා තිබු බවද, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දේවිකා ලියනගේ 2018 පෙබරවාරි 5 දින අදාළ ලිපිය එවා තිබු බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්ෂාෆ් අහමඩ්ට අයත් තඹ ව්‍යාපාරයෙන් ඉපැයු රුපියල් කෝටි 4 1/2ක මුදලක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සදහා යොදවා ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ මිට ඉහත දී අනාවරණය වුණි.
මේ අතර පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.ආර් රවින්ද්‍ර විමලසිරි පසුගිය දා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ, මෙරට ප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් යුසුෆ් ඊබ්රාහිම්ගේ පුතෙකු වන, සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා "කොලෝසස් (Colossus)" නම් ආයතනය හරහා තඹ වයර් නිෂ්පාදනය කර ඉන්දියාවට අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.