ජාතික හා ජාත්‍යන්තර වටිනාකමකින් යුත් පාරිසරික කලාපයක ලොරි කම්හලක් ඉදි කිරීම සඳහා නීති විරෝධී ලෙස මායිම් සලකුණු කරමින්

සිටින බව ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාරිසරික ආයතනයක් චෝදනා කරයි.

ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, වෑවල ග්‍රාම නිලධාරි වසමේ පිහිටි අට්ටික්කගහවත්ත හා වැටකෙයාගහ කුඹුරට මායිම්ව පිහිටි මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ  අක්කර පනහක භුමිය මෙසේ  නීති විරෝධී ලෙස සතු කරගනිමින් ලොරි රථ සෑදීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි චෝදනා කරන්නේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයයි.

එම ව්‍යාපාරයේ සජීව චාමිකර ප්‍රශ්න කරන්නේ මෙකි නීති විරෝධී කටයුත්ත සඳහා ජා-ඇල ගොවිජන සේවා දෙපාර්තමේන්තු කාර්යාලයේ සහයද ලැබුනේ කෙසේද යන්නයි. මෙම ව්‍යාපාරිකයා 1998 වසරේදී ද මුතුරාජවෙළ අභය භූමියෙන් අක්කර 406 ක් අයථා ලෙස අත්පත් කරගනිමින් නිවාස ව්‍යාපෘතියක් සෑදීමට ගත් උත්සාහය ව්‍යවර්ථ කළ බවද සජීව චාමිකර වැඩි දුරටත් කියා සිටි.

 

ජාතික පාරිසරික පනත හා පුරා වස්තු ආඥා පනත උල්ලංඝනය කරමින්...

හිතුමනාපයේ මෙසේ මුතුරාජවෙල වෙල්යාය දඩබිමක් බවට පත්වුවද ජාතික පාරිසරික පනතට අනුව හෙක්ටර්යාර 4කට නැතහොත් අක්කර 10කට වැඩි තෙත්බිම් ගොඩ කිරීමට ප්‍රථමයෙන් පරිසර ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතුය. මේ ක්‍රියා පටිපාටියෙන් තොරව කිසිදු රාජ්‍ය ආයතනයකට තෙත්බිම් සංවර්ධන කටයුතු සදහා භාවිතා කිරීමට  අවසර ලබාදිය නොහැකිය.

මීට අමතරව පුරාවස්තු ආඥා පනත අනුවද ඉඩම් හා තෙත්බිම් ගොඩකිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදුකර ඒ සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලබාගත යුතුය.

මේ සියලු කාරණා අනුව පෙනී යන්නේ ජා-ඇල ගොවිජන සේවා දෙපාර්තමේන්තු කාර්යාලයේ නිලධාරින්  විසින් ජාතික පාරිසරික පනත හා පුරා වස්තු ආඥා පනත උල්ලංඝනය කරමින් මුතුරාජවෙල තෙත්බිම් අක්කර 50ක් නීති විරෝධී ලෙස වෙන් කිරීමට හා ගොඩ කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව නොවේදැයි සජීව චාමිකර විමසයි.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රාජ්‍ය විසින් පරිසර ආරක්ෂා කර, සුරක්ෂිත කර, වැඩි දියුණු කළයුතු බව සඳහන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ ) උප වගන්තියට අනුව ස්වාභාව ධර්මය ස්වාභාවික සම්පත් රැකගැනීම ශ්‍රී ලංකාවාසි සෑම තැනැත්තකුගේම යුතුකම බව සඳහන් වේ. මේ නිසා සෑම රාජ්‍ය නිලධාරියෙක්ම, සිවිල් පුරවැසියෙක්ම මේ සම්පත් ආරක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බැඳී සිටි.

Muthurajawela 1

මිගමුව කලපුව තෙක් විහිදී ඇති මුතුරාජවෙළ තෙත්බිම් පද්ධතියේ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 3068 කි. 1994 වසරේදී මධ්‍යම පරසර අධිකාරියේ තෙත්බිම් සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් මුතුරාජවෙළ හා මිගමු කලපුව සංරක්ෂණ හා කළමනාකරණ සැලසුමක් සකස් කැරිණි.

ඒ අනුව මුතුරාජවෙළ තෙත්බිම් ප්‍රදේශය කොටස් තුනකට බෙදන ලදී. එනම් කොළඹ ආශ්‍රිත දැඩි නාගරික සිමාවේ පිහිටි තෙත්බිම් ප්‍රදේශය උප කාර්මික කලාපය ලෙසත්,  මිගමුව කලපුව ආශ්‍රිත පිහිටි කොටස මුතුරාජවෙල අභය භුමිය ලෙසත්ය.

මෙම කලාප දෙක අතර මැද කොටසක් ස්වාරක්ෂක කලාපය හෙවත් ප්‍රේරක කලාපය ලෙස වෙන් කළේය. මෙලෙස කලාප වෙන් කිරීමේ අරමුණ වූවේ උප කාර්මික හා අභය භුමිය අතර ඝට්ටනය අවම කිරීමටය.

 

ජාත්‍යන්තර පිළිගැනීම:

අභය භුමිය හෙක්ටර්යාර 1028.62 ක ප්‍රමානයක් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පණත යටතේ විශේෂ ගැසට් පත්‍රයක් මගින් වෙන්  කරන ලදී. ස්වාරක්ෂක කලාපය හෙක්ටර්යාර 206.678 ක් ලෙසින් ගැසට් කළේ 2006 වසරේදීය. ඊට අමතරව ආසියානු තෙත්බිම් නාමාවලියේ ජාත්‍යන්තරව වැදගත් ලංකාවේ තෙත්බිම් 41 ක අතුරෙන් එකක් ලෙසද, ලංකාවේ ප්‍රමුඛ තෙත්බිම් පද්ධති 12න් එකක් ලෙසද මුතුරාජවෙළ හඳුනාගෙන තිබේ.

එමෙන්ම ගංවතුර උවදුරින් ආරක්ෂා කරමින් වැසි ජලයේ අතිරික්තය රඳා සිටීම, අවම ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වාගෙන යාම, වැසි ජලයේ රොන්මඩ ආදිය තැන්පත් කරගෙන ජලය පිරිසිදු තත්වයට පත් කිරීමද මෙහිදී සිදුවේ. නාගරික ප්‍රදේශයේ අධික කාබන්ඩයොක්සයිඩ් මට්ටම යාමනය කිරීම, පරිසර උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාමද  මෙම තෙත්බිමෙන් ඉටුවේ.

නොගැඹුරු මුහුදු තීරයේ ජිවත්වන සාගර මත්ස්‍ය විශේෂ ඇතුළු ඉස්සන්, කකුළුවන් ගේ ප්‍රධාන බෝවීමටද තෝතැන්නක් වී ඇති බැවින් සුළු පන්න ධීවරයන් ගේ පැවැත්මද රඳා ඇත්තේ මෙම තෙත්බිම් පද්ධතිය මතය.

 

පරිසර සිරිසර:

Muthurajawela 3

දැනට සිදුකර තිබෙන අධ්‍යයනවලට අනුව ජෛව විද්‍යාත්මකව ඉතා වටිනා තෙත්බිම් පරිසරයක්වන මෙහි ශාඛ කුල 66 කට අයත් ශාඛ විශේෂ 194ක් වාර්තාවේ.

එවගේම සමනළුන්, බත් කූරන්, මත්ස්‍යයන්, උභය ජීවින්, පක්ෂින්,හා ක්ෂීරපායි යන සත්ව කාණ්ඩ 7කට අයත් විශේෂ 449ක් පමණ සිටින බවට වාර්තා වන බවයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසන්නේ.

ඕලන්ද යුගයේදී කැළණි ගඟේ සිට භාණ්ඩ ප්‍රවාහනය සඳහා මිගමු - කොළඹ මාර්ගයට සමාන්තරව මුතුරාජවෙල වෙල්යාය හරහා මිගමු කලපුව දක්වා ඇළ මාර්ගයක් සැකස කර ඇත. ඕලන්ද ඇළ යනුවෙන් හදුන්වනු ලබන්නේ එයයි.

ඉන්පසු ඉංග්‍රීසින් විසින් භාණ්ඩ ප්‍රවාහනය සඳහා මුතුරාජවෙළ මැදින් මිගමු කලපුව හරහා පුත්තලම දක්වා හැමිල්ටන් ඇළ .සාදන ලදී. මේවායේ ප්‍රතිඵලයක් ලෙස ලවණ ජලය මුතුරාජවෙලට ගලා ඒමෙන් වී වගාව අභාවයට ගොස් නිසරු බිමක් බවට පත්ව ඇත.

වඩදිය අවස්ථාවේදී ලවණ ජලය ගලා ඒම පාලනය කිරීම සඳහා හැමිල්ටන් ඇළ හා ඕලන්ද ඇළ යාකරමින් දොරටු සහිත කුඩා ඇළ මාර්ග 20 කට අධික ප්‍රමානයක් සකස් කළද ඉන් ප්‍රතිඵල ලැබී නැත. මෙනිසා මෙම තෙත්බිම් පද්ධතිය ලවණ වගුරු පද්ධතියක් බවට ක්‍රමයෙන් පර්වර්තනය වී ඇත.

නමුත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඈත අතීතයේ ඉතා සශ්‍රික කුඹුරු යායක් ලෙස ප්‍රචලිත වී ඇති මෙය මුතුමෙන් වටිනා සහල් ලබාදුන් රජුට අයත් වෙල්යායක් නිසා මුතුරාජවෙල නම් වූ බව  වල ජනශ්‍රැතියේ සඳහන් බවයි.

logo

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්