අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරේ දැයි යන්න සහ ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන්

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතදී කළ ඇතැම් ප්‍රකාශ පැහැදිලි කරන මෙන් ද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් පිරිසක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් එම ඉල්ලීම කරන්නේ ජිනීවා නුවර ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරිය වන දයානි මෙන්ඩිස් මාර්ගයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් යොමුකරමිනි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරන ලද 30/12 යෝජනාව ප්‍රකාර ක්‍රියාවට නැගෙමින් තිබෙන ක්‍රියාදාමයෙන් ඉවත්වීමට බලාපොරෝත්තුවන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව කළ ප්‍රකාශය ගැන සිය බරපතල අවධානය පළ වී ඇතැයි පවසන විශේෂ නියෝජිතයෝ, එම තීන්දුව යළි සලකා බලන මෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට යෝජනා කරති.

 

අතුරුදහන්වූවන්ගේ වේදනාව:

අතුරුදහන්වූවන්ගේ වේදනාව

මානව හිමිකම් සහ වගවීම වෙනුවෙන් තවදුරටත් කැප වී සිටින බවට රාජපක්ෂ ආණ්ඩුව කරන ප්‍රකාශය අගය කරන එක්සත් ජාතීන් පෙන්වා දෙන්නේ මානව හිමිකම් මණ්ඩලයේ කටයුතු සමඟ සහයෝගයෙන් ක්‍රියාකිරීම එම අරමුණු ඉටුකරගැනීමෙහි ලා අත්‍යවශ්‍ය සාධකයක් වන බවය.

පසුගිය මැයි මස 11 වෙනි දින එම ඒකාබද්ධ ලිපිය ඇමතිවරයා වෙත යොමුකරනු ලැබ තිබෙන්නේ, බලහත්කාර අතුරුදහන් කිරීම සම්බන්ධ ක්‍රියාකාරී කණ්ඩායම (Working Group on Enforced or Involuntary Disappearances), නීති විරෝධී මනුෂ්‍ය ඝාතන පිළිබඳ විශේෂ නියෝජිතවරිය (Special Rapporteur on extrajudicial, summary or arbitrary executions), මානව හිමිකම් ක්‍රියාධරයන් සම්බන්ධ විශේෂ නියෝජිතවරිය (Special Rapporteur on the situation of human rights defenders) සහ සත්‍යය, යුක්තිය ප්‍රවර්ධනය සහ යළි සිදු නොවීම සහතික කිරීම පිළිබඳ විශේෂ නියෝජිතවරිය (Special Rapporteur on the promotion of truth, justice, reparation and guarantees of non-recurrence) විසිනි.

විශේෂ නියෝජිතයින් මතුකරන කරුණු පිළිබඳව විමසීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇමතීමට කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ අතර පසුගියදා විශේෂ ප්‍රකාශයක් කළ අගමැති මහින්ද රාජපක්ෂ, විශේෂයෙන්ම පසුගිය ආණ්ඩුව අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට පියවර ගැනීම දැඩි විවේචනයට ලක් කර තිබිණි.

 

විශේෂ නියෝජිතයින් කියන්නේ කුමක්ද?

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය (OMP) සහ හානි පූර්ණ කාර්යාලයේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවට ආණ්ඩුව දුන් ප්‍රතිඥාව අගය කරන බව පවසන විශේෂ නියෝජිතයන් පවසන්නේ, කෙසේ වුවත් "ආණ්ඩුවේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව" එහි මෙහෙයුම් යළි සකස් කරන බවට ආණ්ඩුව කළ ඉඟිය පිළිබඳව සිය අවධානය පළ වී තිබෙන බවය.

ශ්‍රී ලංකා ආණ්ඩුව අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ සහ එයට ස්වාධීනව සිය කටයුතු පවත්වාගෙන යාම පිණිස පහසුකම් සැලසීමේ වැදගත්කම ඔවුහු අවධාරණය කරති.

කිසියම් ලෙසකින් එහි කාර්යභාරය සංශෝධනය කරන්නේ නම් එය සිදුවිය යුත්තේ සිවිල් සමාජ ක්‍රියාධරයින් සහ වින්දිතයින්ගේ අනුදැනුම සහිතව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවය යන්න ඔවුන්ගේ ස්ථාවරයය.

එසේ අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම්වල සංශෝධනයක් සිදු කරනු ලබන්නේ නම් ඒ කවර ආකාරයකට ද යන්න සහ අතුරුදහන් වූවන් සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රතිපත්ති රාමුව ගැන සවිස්තර තොරතුරු ලබාදෙන මෙන් ද විශේෂ නියෝජිතයෝ විදේශ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිති.

"කෝවිඩ් 19 වසංගත සමය තුළ සහන වැඩසටහන් ක්‍රියාත්මක කරන විට, වසංගත සමයේ විශේෂ අභියෝගවලට මුහුණපෑමට ඉඩ තිබෙන අතුරුදහන්වූවන්ගේ පවුල් ගැන අවධානය යොමුකරන ලෙස ද අපි ආණ්ඩුව දිරිමත් කරන්නෙමු," යනුවෙන් ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වේ.

disappearances lanka1

 

අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ කටයුතු:

'යහපාලන' ආණ්ඩුව සමයේ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කරන ලද අතුරුදහන්වූවන්ගේ කාර්යාලය මේ වනවිට තමන්ට ලැබී තිබෙන 15,000 පමණ පැමිණිලි පිළිබඳ විභාග කරමින් සිටින බව එම කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබේ.

ඒ, කාර්යාලයට ලැබුණු 22,000 කට ආසන්න ඉල්ලුම්පත්‍ර අතරින් කාර්යාලය විසින් තෝරාගනු ලැබූ පැමිණිලිය.

අතුරුදහන් වූ හමුදා සෙබළුන් 3000 ක් පමණ පිරිසක් පිළිබඳ පැමිණිලි ද ඒ අතර තිබේ.

ඉන් අනතුරුව පසුගිය නොවැම්බර් මාසයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව අතුරුදහන්වූවන් සහ යුද අපරාධ චෝදනා වැනි කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රබල වෙනසකට බඳුන් වූ අතර, විශේෂයෙන්ම අතුරුදහන් වූ සියලුම දෙනා මියගොස් ඇති බවට නව ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අවධානයට ලක්විය.

කෙසේ වුවත් අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය නව රජය යටතේ ද තවදුරටත් ක්‍රියාත්මක වන අතර, එහි ක්‍රියාකාරිත්වයට නව රජයෙන් කිසිදු බලපෑමක් එල්ල වී නැත. කාර්යාලයට ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන ද කිසිදු කප්පාදු කිරීමකට ලක් වී නැත.

 

අතුරුදහන් වූවෝ:

අතුරුදහන් වූවෝ

කෙසේ වුවත්, අතුරුදහන්වූවන්ගේ පවුල් වෙනුවෙන් මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ අය වැය මගින් වෙන් කරන ලද රුපියල් 6,000 මාසික දීමනාව පසුගිය ජනවාරි මාසයේ සිට නවතා දමනු ලැබ තිබේ. ආණ්ඩුව පවසන්නේ නව අය වැය මගින් යළිත් ඒ සඳහා මුදල් වෙන්කරන බවය.

අතුරුදහන්වූවන්ගේ පවුල්වල සුභසාධනය පිළිබඳ ප්‍රබල විවේචනයක් නොමැති වුවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කාර්යාලයට ලැබී තිබෙන බලය ආණ්ඩුවට ප්‍රබල හිසරදයක් වී තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ ජුනි 29 වෙනි දින කළ විශේෂ ප්‍රකාශය මගින් ගම්‍ය වේ.

"2016 අගෝස්තු මාසේ යහපාලකයෝ පාර්ලිමේන්තුවේ විවාදයකටවත් ඉඩ නොතියා අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කරගත්ත," අගමැතිවරයා පැවසීය.

"කාර්යාලයක් කිවුවට ඒක ඇත්තටම සිතාසි නිකුත් කරන්න, සාක්ෂි කරුවන් කැඳවන්න, විභාග පවත්වන්න බලය තියෙන විනිශ්චය සභාවක්. ඒකෙ නිලධාරීන්ට ඕනෑම හමුදා කඳවුරක්,පොලිස් ස්ථානයක්, බන්ධනාගාරයක් වරෙන්තු නැතිව සෝදිසි කරලා ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගන්න පුළුවන්."

එබැවින් මහ මැතිවරණයෙන් අනතුරුව නව පනතක් මගින් OMP කාර්යාලයේ බලතල කප්පාදු කිරීම ආණ්ඩුවේ අභිලාශය වී තිබෙන බව විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.

 

89 'භීෂණ සමය':

අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ සාමාජිකා නීතිඥ නිමල්කා ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, යුද සමයේ පමණක් නොව 89 භීෂණ සමයේ අතුරුදහන්වූවන් පිළිබඳව ද සිය කාර්යාලය විමර්ශන පවත්වන බවය.

උදාහරණයක් ලෙස පසුගිය මාර්තු මාසයේ සිය කාර්යාලයක් මාතර පිහිටුවනු ලැබීමෙන් අනතුරුව මේ වනවිට 300 කට ආසන්න පැමිණිලි එම කාර්යාලයට ලැබී තිබෙන බව ඇය පෙන්වා දුන්නාය.

අතුරුදහන් වූ හමුදා සෙබළුන් පිළිබඳ පැමිණිලි ද ඒ අතර තිබේ.

 

මවුවරුන්ගේ වේදනාව:

"තාමත් ප්‍රාදේශීය කාර්යාලවලට දෙමාපියෝ ඇවිත් අයදුම්පත් දෙනවා. දෙමාපියන් ඉදිරිපත් කළ අයදුම්පත් ගැන අපි විමර්ශනය කරමින් ඉන්නවා," නීතිඥ නිමල්කා ප්‍රනාන්දු පැවසීය.

"දැන් මේ කෝවිඩ් කාලේ පවා මාසෙකට 30 ක් විතර උතුරු නැගෙනහිරින් අයදුම්පත් එනවා. ඒ සියලු අයදුම්පත් ගැන අපි කටයුතු කරමින් ඉන්නවා. පවුල් සහායක නිලධාරීන් ඒ දෙමාපියන් සමඟ මේ වනවිටත් සාකච්ඡා කරමින් ඉන්නවා."

"දේශපාලන පලිගැනීම්" සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද ජනාධිපති කොමිසම විසින් අතුරුදහන්වූවන් සම්බන්ධ විමර්ශන නතර කරන මෙන් නීතිපතිවරයාට නියෝග කළ බවට පළ වූ වාර්තා ගැන ද එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ බරපතල අවධානය පළ කරති.

දරුවන් ඇතුළු සාමාන්‍ය වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා සිටි සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාවක් ප්‍රදානය කරනු ලැබීම ගැන තමන් "තැතිගත්" බව ද ඔවුහු පවසති.

disappearances lanka 2අතුරුදහන් වූවෝ (ඡායාරූප මූලාශ්‍රය, Amnesty International)

බලහත්කාර අතුරුදහන්වීම සම්බන්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ සභාපති ලුචියානෝ හසන් (Luciano Hazan), නීති විරෝධී මනුෂ්‍ය ඝාතන පිළිබඳ විශේෂ නියෝජිත ඇග්නස් කැලමාර්ඩ් (Agnes Callamard), මානව හිමිකම් ක්‍රියාධරයින් සම්බන්ධ විශේෂ නියෝජිත (Mary Lawlor) සහ සත්‍යය, සාධාරණය සහ හානි පූර්ණය සම්බන්ධ විශේෂ නියෝජිත ෆේබියන් සැල්වියෝලි (Fabian Salvioli) ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත යොමු කරන ලද ඒකාබද්ධ ලිපියට අත්සන් තබා තිබේ.

 

විදේශ අමාත්‍යාංශය:

මේ අතර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි සැසිවාරයේ දී, මහා කොමසාරිස්වරියගේ වාර්ෂික වාර්තාව පිළිබඳ අන්‍යෝන්‍ය සංවාදය අවස්ථාවේ ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා දූත මණ්ඩලය, "ශ්‍රී ලංකා රජය දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්තිවලට අනුකූලව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ සහ අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවයට පත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ධාරිතා සංවර්ධනය හා තාක්ෂණික සහාය ලබාදීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප සහයෝගයෙන් යුතුව අඛණ්ඩව කටයුතු කරන," බව අවධාරණය කර තිබිණි.

"පවත්නා යථාර්ථයන් හඳුනා ගන්නා ලෙසත් වසර හතර හමාරකට වැඩි කාලයක් තිස්සේ සැබෑ ප්‍රතිසන්ධානයක් ලබාදීමට අපොහොසත් වී ඇති බාහිරව මෙහෙයවන ලද කාර්ය රාමුවක් තුළ තවදුරටත් කටයුතු කිරීමට තීරණය කරනවා වෙනුවට ජනතාව ලබාදුන් වරමකින් පිටිවහලක් ලබන සහ ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ යහපත උදෙසා වන ප්‍රතිසන්ධාන පියවර කෙරෙහි අවධානය යොමු කිරීමේ මෙම ප්‍රවේශය අගය කරන ලෙසත් සියලු පාර්ශ්වයන්ගෙන් නැවත වරක් ඉල්ලා සිටිමු," යනුවෙන් ද එම ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.

(BBC සිංහල සේවය)

 Apekshakaya

subscribeYT

නවතම පුවත්