ඉදිරි මහ මැතිවරණයෙන් පසු බලවත් රටවල් කිහිපයක් සමග දැඩි ප්රතිපත්තියක පිහිටා කටයුතු කිරීමට සුදානම් වන්නැයි
විදේශ අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ විසින් විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකීය තානාපතිවරුන්ට හා මහ කොමසාරිස්වරුන්ට විශේෂ දැනුම් දීමක් සිදුකර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
පසුගිය ජුලි 08 බදාදා දිනයේ විදෙස් හි සිටින ශ්‍රී ලාංකීය මහ ලේකම්වරුන් හා තානාපතිවරුන් සමග පවත්වා ඇති වීඩියෝ සංවාදයක දී ඔහු එම දැනුම්දීම සිදුකර ඇතැයි පැවසේ.
ඉදිරියේදී බටහිර රටවල් පමණක් නොව මුස්ලිම් අරාබි රටවල් පවා ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා නගමින් ආර්ථික සම්බන්ධක පැනවීමේ ඉඩක් ඇතැයි එහිදී පැහැදිලිකර ඇති විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා, ඊට මුහුනදීම සඳහා එවැනි රටවල දේශපාලනඥයින් පමණක් නොව දේශපාලනඥයින්ට බලපෑමක් කළහැටි ව්‍යාපාරිකයින් හා මාධ්‍යවේදීන්ද බිලිබා ගැනීමට අවශ්‍ය උපාය උපක්‍රම හා සැලසුම් ඉදිරිපත් කරන ලෙසත් එහිදී අවධාරණය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා, බරැක් ඔබාමා රජයේ උප ජනපති ලෙස දෙවරක් කටයුතු කර ඇති ජෝ බයිඩ්න් ජයග්‍රහණය කිරීමේ ඉඩක් පවතින බවත්, එහිදී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කළ සමන්තා පවර් රාජ්‍ය ලේකම්වුවහොත් දැනට පවතින රජයට වඩා ලෝකයේ මානව හිමිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට ඉඩ ඇති බවත් එය එතරම් ලංකාවට සුබදායක නොවන බවත් පෙන්වා දී ඇති විදේශ අමාත්‍යංශ ලේකම්වරයා, එවැනි තත්වයක් මතුවුහොත් ගතයුතු ක්‍රියාමාර්ග යෝජනා කරන්නැයි ද ඉල්ලා ඇතැයි පැවසේ.
ඒ ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික හා සමාජයීය අර්බුද හමුවේ සිදුවිය හැකි මානව හිමිකම් උල්ලංඝනය කිරිම්, නීතියේ ආධිපත්‍ය බිඳවැටීම් මෙන්ම මානව නිදහස සීමා කිරීම් හමුවේ ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් බරපතල චෝදනාවලට ලක් වීමට ඉඩ ඇති බවය. විදේශ අමාත්‍යංශ ලේකම්වරයා, මෙහිදී අවධාරණය කර ඇත්තේ, එවැනි තත්ත්වයක් හමුවේ රාජතාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිය හැකි පිරිසක් කල්තියා නිර්මාණය කරගත යුතු බවය.
පැය 06කට ආසන්න කාලයක් පුරා කඩින් කඩ පැවති මෙම සාකච්ජාවේදී එහි දෙවන පියවර ලෙස ජුලි 15 අනිද්දා, විදෙස් ආර්ථික සම්බන්ධතා පිළිබඳවත්, තෙවැනි වටය ලෙස ජුලි 25 දා මුලික එකඟතා සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටත් තීන්දු කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
විදේශ ලේකම්වරයා මෙම සාකච්ජාව පැවැත්වුයේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අනුදැනුම මතදැයි අනාවරණය වී නොමැත.
බරපතල අනතුරක් : මෝඩ උද්දච්ච ස්ථාවරයකට
මේ සම්බන්ධයෙන් theleader.lk වෙත අදහස් දැක්වූ විදෙස් හි සිටින ශ්‍රී ලාංකීය රාජ්‍ය නිලධාරියකු පැවසුයේ, මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුව බරපතල තීන්දු තීරණ ගණනාවක් ගැනීමට නියමිත බව හැඟී ගිය බවයි.
ඉදිරියේදී ආණ්ඩුව මානව හිමිකම් හා ප්රජාතන්ත්රවාදය නොසලකා කටයුතු කිරීමේ බරපතල අවධානමක් විදේශ ලේකම්වරයාගේ පැහැදිලි කිරීම් වලින් ඒත්තු ගිය බව ද ඔහු සඳහන් කළේය. ''රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් මෙදා පාරත් මෝඩ උද්දච්ච ආකාරයෙන් කටයුතු කරන්නැයි හදන්නේ'' එම නිලධාරියා කියා සිටියේය.
පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ද විදෙස් රටවල දේශපාලනඥයින්ට කප්පම්දීමට යාමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් බලවත් කැළලක් සිදුවූ ආකාරය ද ඔහු සිහිපත් කළේය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිය පවුලේ සාමාජිකයින් සමඟ මෙරට සංචාරයක නිරතවීම සහ එම සංචාරය පිළිබඳ තොරතුරු හෙළි කිරීමට නොහැකිවීමෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය අත්හිටුවීමට එරට පාර්ලිමේන්තුව කටයුතු කලේ ශ්‍රී ලංකාවට ද ඇතුල් පහරක් දෙමිනි.
2013 වසරේ පසුගිය රජයේ අනුග්‍රහය මත ඉයන් පේස්ලි ජූනියර් මෙරටට පැමිණ ඇති අතර ඒ වෙනුවෙන් ලක් රජය පවුම් ලක්ෂයක මුදලක් වියදම් කර ඇති බවද අනාවරණය විය. එම සංචාරය පිළිබඳ විමසීමේදී මන්ත්‍රීවරයාට අදාල තොරතුරු හෙළි කිරීමට නොහැකිවීමෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඔහුගේ මන්ත්‍රී ධූරය අත්හිටුවීය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධය ගැන මුස්ලිම් රටවල් කනස්සල්ලෙන් !
කොරෝනා ආසාදිතයකු ආදාහනය කරන අවස්ථාවක්...
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට මේවනවිට බටහිර රටවලින් පමණක් නොව මුස්ලිම් අරාබි රටවලින් ද බලපෑම් එල්ලවෙමින් තිබේ.
කෝවිඩ් 19 වසංගතය පැතිරීම සමග මුස්ලිම්වරුන්ට කරන අඩන්තේට්ටම් අත්හිටුවන ලෙස තෙල් අපනයනය කරන ප්‍රධාන රටවල් ඇතුළු ලෝකයේ බලවත් ඉස්ලාමීය රාජ්‍ය ශ්‍රී ලංකාවට දැනමත් දැනුම් දීමක් කර තිබේ.
මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකෙරෙන ක්‍රියා හෙලා දකින ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) එම ප්‍රජාවේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස කෝපාන්විත ස්වරයෙන් යුත් නිවේදනයකින් ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා සිටී.
“ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන නැග එන වෛරී භාෂණය සහ එදිරිවාදිකම්, රට තුල නව කොරෝනා වසංගතය (කෝවිඩ් 19) පැතිරීමට මුස්ලිම් ප්‍රජාව වගකිව යුතු බවට වන පක්ෂග්රාහී හා සනාථ නොකළ චෝදනා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තා මෙන්ම, වසංගතයට ගොදුරු වූ මුස්ලිම්වරුන්ගේ සිරුරු ආදාහනය කළ බව හා එම පිළිවෙතට විරුද්ධ වූ ප්‍රජා සාමාජිකයන් අත් අඩංගුවට ගැනීම පිළිබඳ වාර්තා ද කෙරෙහි ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) බරපතල අවධානය යොමුවී තිබේ,” යි එම සංවිධානය ප්‍රකාශ කරයි.
කොරෝනා රෝගාතුර වී මියයන ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන්ගේ සිරුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ඉස්ලාමීය වත් පිළිවෙත් වලට පටහැනිව ආදාහනය කිරීමත්, කෝවිඩ් 19 වසංගත මර්දනය බාර රාජ්‍ය බලධාරීන් මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මුස්ලිම් විරෝධී වෛරය ඇවිලවීමත් එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර හා හා දේශීය මානව හිමිකම් සංවිධාන වල කනස්සල්ලට මේ වනවිටත් හේතුවී තිබේ.
රටවල් 57 කින් සැදුම්ලත් OIC සංවිධානයද ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රතිපත්තිය හෙලා දකිමින් මුස්ලිම්වරුන්ගේ ගෞරවය රැකදීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටී.
සබැඳි පුවත් :
ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධය ගැන බලවත් මුස්ලිම් රාජ්‍ය වලින් තරවටුවක්!
අතුරුදහන් කිරීම් ගැන ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න - එක්සත් ජාතීන් ලංකාවට කියයි
ජිනීවා : විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කොමිසම, ශ්‍රී ලංකාව UN යෝජනාවෙන් ඉවත්වීම හෙළාදකී
ජිනීවා : ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ පරීක්ෂණයක් පැනවීමේ අනතුරක් !