කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන ඇතිවූ 'කොරෝනා අලුත් පොකුර' තුළින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව

අඟහරුවාදා (ජූලි 14) වන විට 519 දක්වා ඉහළ ගොස් තිබේ.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් 440 දෙනෙකු ඊට අයත් වන අතර සෙසු පිරිස එහි කාර්ය මණ්ඩලය සහ ඔවුන් ඇසුරු කළ අය වෙති.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කෙරෙන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පිටත ඒ ආශ්‍රිත වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබෙන්නේ අනුරාධපුරය, රාජාංගනය ප්‍රදේශයෙනි.

කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය සඳහා රාජාංගනය ප්‍රදේශයේ තවත් ගම්මාන දෙකක සංචරණය සීමා කිරීමට සිදුවන බව උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය පාලිත බණ්ඩාර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

Rajanganayaරාජාංගනයේ නිදැල්ලේ සිටින ආසාදිතයන් සොයා පරීක්ෂණ. (BBC)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වුයේ කෙසේදැයි මෙතෙක් නිශ්චිතව අනාවරණයවී නොමැති නමුත්, ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, PCR පරීක්ෂණ වල නිරවද්‍යතාවය ගැන මේවනවිට බරපතල සැකයක් මතුව ඇති බවයි.

මේවනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 498 දෙනෙකුට කොරෝනා ආසදනයවී ඇතැයි තහවුරු වී ඇත.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ වැලිකන්ද ප්‍රදේශයේ කන්දකාඩුවේ හි පිහිටුවා ඇති මෙම ආයතනය හා එවැනි පුද්ගලයින්ට වෘත්තීය පුහුණුව ලබාදෙන ඊට ආසන්නයේ පිහිටි සේනපුර වෘත්තීය කඳවුර තුල 1000කට ආසන්න පිරිසකට පහසුකම් ඇත.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ තරුණයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර දඬුවම්  නියම කිරීමෙන් පසු ඔවුන් පුනරුත්තාපනයට මෙම ස්ථානයට ඇතුලත් කර ගනු ලබන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හරහා එහි අධීක්ෂණය යටතේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වුයේ මෙම මධ්‍යස්ථානයට එන යන උපදේශකයින්, රැඳවුම්කරුවන්ගේ ඥාතීන් හෝ වෙනත් බාහිර පාර්ශවකින් ද යන්න මෙතෙක් ප්‍රකාශ වී  නොමැත. ඒ, බාහිර සමාජයේ කොරෝනා ආසාදිතයින් නැතැයි යන උපකල්පනය මතය.

කොරෝනා තත්වය තුල මෙම ආයතනයට ඇතුලත් කිරීමේදී විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට මෙන්ම, PCR පරීක්ෂණ සිදුකරනු ලබන අතර රැඳවියන් බැලීමට එන දෙමාපියන් හා ඥාතින්ද කොරෝනා සුපරීක්ෂාවට ලක්කර තිබේ.

 

''රැඳවියන් බාර ගන්නේ PCR පරීක්ෂණ වලට යොමුකිරීමෙන් පසුවයි''

මේ සම්බන්ධයෙන් අප වෙත තවදුරටත් කරුණු පැහැදිලි කල නිලධාරියා පැවසුයේ, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ තරුණ පිරිස් කණ්ඩායම් දෙකක් පසුගියදා මෙම ආයතනයට යොමුකර තිබු බවයි. ඒ සියලු දෙනා PCR පරීක්ෂණ වලට යොමුකර කොරෝනා ආසාදනය වී නැතැයි සෞඛ්‍ය බලධාරීන් විසින් සහතික කර තිබී ඇත.

පසුගියදා බන්ධනාගාරය තුලින් කොරෝනා ආසදිතයකු හමුවීමත්, ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටියකු බවට අනාවරණය වනතෙක් කිසිඳු කන්දකාඩු මධ්‍යස්ථානයේ කිසිඳු රැඳවියකු කොරෝනා ආසාදිත ලක්ෂණ පෙන්නුම් කර නොමැත.

''ඇත්තටම මෙතනට අලුතින් එන තරුණයින් බොහෝදෙනෙක් මුල් දිනවල ඉන්නේ මත්ද්‍රව්‍ය නොමැතිව මනස අවුල් වෙලා. එවැනි තත්වයක් තුල වැලිකන්ද රෝහලේ වෛද්‍යවරුන් ඔවුන්ව නිරන්තර පරික්ෂාවට ලක්කරනවා. ඇතැමුන්ට සුළු සෙම්ප්‍රතිශ්‍යවක්, සාමාන්‍ය උණක් තිබුනත් ඒ කිසිම අවස්ථාවක කොරෝනා ලක්ෂණ ඇතැයි වෛද්‍යවරුන් සැක මතු කලේ නැහැ...

මේ කොරෝනා මතුවුනේ බාහිර සමාජයේ අයකුගෙන් නම් එක බරපතල තත්වයක්. මොකද ඒ කියන්නේ බාහිර සමාජයේ කොරෝනා ආසාදිතයින් ඉන්නවා. දැනට අපට ලැබිල තියන තොරතුරු අනුව නම්, පසුගියදා මෙම මධ්‍යස්ථානයට ඇතුලත් කළ රැඳවියන් සම්බන්ධයෙන් සිදුකර ඇති  PCR පරීක්ෂණ වල ප්‍රතිපලවල නිරවද්‍යතාවය ගැන බරපතල සැකයක් මතුව තියනවා'' යයි ඉහත නිලධාරියා පැහැදිලි කර සිටියේය.

 

සාවද්‍ය PCR පරීක්ෂණ වාර්තා නිසා කෝවිඩ් 19 පාලනය ව්‍යකූල තත්වයකට !

මිට ඉහතදී ද  PCR පරීක්ෂණ වල ප්‍රතිපලවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් සැක මතුව තිබිණ. වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මිට ඉහත දී ප්‍රකාශ කර තිබුනේ,

සාවද්‍ය PCR පරීක්ෂණ වාර්තා මඟින් කෝවිඩ් 19 වසංගත රෝග පාලනය අනවශ්‍ය ව්‍යකූල තත්වයකට පත්වීමේ අවධානමක් ඇති බවයි.


PCR පරීක්ෂණ පිළිබද ජයවර්ධනපුර පරියේෂණ රසායනාගාරයේ චෝදනාව බරපතල බවද රවී කුමුදේශ් පවසා තිබිණ.

 

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වෙයි :

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති රැස්වීමක දී කොවිඩ් වසංගත මර්දනයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවට ලක් වූ බවයි.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ අදහස් පළ කර ඇත.

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී අවධාරණය කර තිබේ.

PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් සමාජය තුළ වසංගතය පැතිරයාම අවම මට්ටමේ තබා ගැනීමට පියවර ගන්නැයි  ද ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ආසාදිතයන් හඳුනාගත් රාජාංගනය අතුළු සෙසු ස්ථානවල PCR පරීක්ෂණ වැඩිකරන ලෙස උපදෙස් දී ඇති ජනාධිපතිවරයා, වසංගතය පිළිබඳ අලුත්ම තොරතුරු සහ රජය ගෙන යන ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කරන ලෙස නිලධාරීන්ට දන්වා තිබේ.

 

''නිරෝධායන කඳවුරු හඳුන්වා දුන්නේ ලංකාව''

කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග ලොව බොහෝ රටවලට පෙර එය මර්දනයට වගකිවයුතු රජයක් ලෙස ඉතා සාර්ථකව පියවර ගත් බවත් එහිදී විවිධ අභියෝගවලට මුහුණදීමට සිදුවූ බව ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර ඇත.

මනා සැලැස්මක් ඇතිව ඒවා එකින් එක ජයගනු ලැබූ බව එහිදී සඳහන් කර ඇති ජනාධිපතිවරයා, නිරෝධායන කඳවුරු ගැන එදා කිසිදු රටකින් අසන්නට නොලැබුණු අවස්ථාවක එය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාව බවත්, අද බොහෝ දෙනෙකුට එය අමතක වී ඇති බවද කියා තිබේ.

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කේෂ්ත්‍රය, යුද හමුදාව, බුද්ධි අංශ සහ පොලීසිය දායක කර ගනිමින් ජනවාරි 26 දින කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරින.

සබැඳි පුවත් :

සාවද්‍ය PCR පරීක්ෂණ වාර්තා නිසා කෝවිඩ් 19 පාලනය ව්‍යකූල තත්වයකට !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්