2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනයක් මගින් රෙගුලාසි ලෙස කඩිනමින් බලාත්මක කිරීමේ නීතිමය අවශ්‍යතාව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද

දේශප්‍රිය ඊයේ (ජූලි 15) දිනයේ යළිත් අවධාරණය කළේය.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, මැතිවරණ පැවැත්වීම මෙන්ම ජනතාවගේ ජීවිත රැකගැනීම ද කළ යුතු බවය.

වත්මන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම අපහසු වනු ඇතැයි එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, ඊයේ (ජුලි 15) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාවේ දී මේ පිළිබඳව අවධානය යොමු වු බව ද සඳහන් කර සිටියේය. 

මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් ගැසට් නොකිරීම මැතිවරණය පැවැත්වීමට බරපතල බාධාවක් බවත් එවැනි තත්වයක් තුළ  මැතිවරණය පැවැත්වීම අසීරු වනු ඇතැයි දැඩිව ප්‍රකාශ කරන බවත්  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය 13දා පැවති සාකච්ඡාවකින් අනතුරුව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ද අවධාරණය කර සිටියේය.

ඒ අතර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත ප්‍රමුඛතම සංවිධානයක් වන 'පැෆ්රල් නිරීක්ෂකයන්' ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපමාව ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට රජය පියවර ගත යුතු බවය.

එසේම, මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත 'කැෆේ' සංවිධානය ද පසුගියදා නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කර සිටියේ, මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීම මඟින් බරපතල තත්වයක් ඇතිවිය හැකි බවයි.

 'කැෆේ' සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් එමගින් අවධාරනය කර තිබුනේ, පවතින අවදානම්කාරී සෞඛ්‍ය වාතාවරණය මත මහමැතිවරණය පැවැත්වීම සදහා වන සෞඛ්‍ය නිර්දේශ වහා ගැසට් කළ යුතු බවයි.

එසේ නොකළ හොත් එක් අතකින් යළි රට තුළ බරපතල සෞඛ්‍ය අවධානමක් ඇතිවන බවත්, ඊට අමතරව මහමැතිවරණ‌යේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයට පවා බලපෑම් කල හැකි බව ඔහුගේ අදහසයි.

ඊයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමු වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් විසින්ද සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීමේ ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබීය.

 

මැතිවරණ සෞඛ්‍ය නීති ඇමතිනිය ළඟ හිරකරගෙන !

Cartton pavi

මහමැතිවරණයේ ප්‍රචාරක කටයුතු හා ඡන්ද ක්‍රියාවලියට අදාලව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකර සෞඛ්‍ය  ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ලඟ හිර වී ඇතැයි 'අනිද්දා' සති අන්ත පුවත්පත වාර්තා කර තිබිණ.

එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

''මෙතෙක් එම මාර්ගෝපදේශ ගැසට්‌ නොකිරීම නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන්නේ නීත්‍යානුකූල සෞඛ්‍ය මාර්ගෝපදේශ නොමැති තත්වයක් තුළය.

එම නිසාම මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අභියෝග කිරීමේ හැකියාවක් ඇතැයි  නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පැවසුවාය.

එම මාර්ගෝපදේශ මැතිවරණ කොමිසමේ නිරීක්ෂණයටත් නීතිපතිවරයාගේ අනුමැතියටත් යවා ඇති අතර නීතිපතිවරයා සුලු සංශෝධන සහිතව එය අනුමත කර තිබේ.

ඉන්පසු එම මාර්ගෝපදේශ නැවත සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යවා ඇති අතර ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ වෙත එය‌ යොමු කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා එම මාර්ගෝපදේශ ගැසට් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යවා තිබේ.

අප කළ විමසීමකදී ඇමතිවරියගේ මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ තහවුරු කළේ එම මාර්ගෝපදේශ සෞඛ්‍ය  ඇමතිවරියට ලැබී ඇති බවයි.

එම මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකරන්නේ මන්දැයි විමසීමට සෞඛ්‍ය ඇමතිවරිය දුරකථනයට සම්බන්ධ කර ගැනීමට අපි ගත් උත්සහය ව්‍යාවර්ථ විය

 

ගැසට් නොකරන හේතුව මෙන්න !

Election 2020 GR MR

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන ගෙන් මේ සම්බන්ධව කළ විමසීමකදී ඔහු පැවසූයේ මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් මගින් නීත්‍යානුකූල කළහොත් ඡන්ද අපේක්ෂකයන්ගේ  මැතිවරණ ප්‍රචාර කටයුතු වලට බාදාවක් වන නිසා එය නොකරන බවයි.

කෝවිඩ් 19 රෝග ව්‍යාප්තිය මධ්‍යයේ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය  මාර්ගෝපදේශ නම් වූ එය ජූනි මාසයේ මුලදී සාදා තිබෙන අතර එහි මැතිවරණ ප්‍රචාරණයට අදාල ප්‍රචාරක රැස්වීම් ප්‍රචාරක පත්‍රිකා නිවෙස්වලට බෙදා දීම, මැතිවරණ කාර්යාල පුහුණු සැසි ආදිය ගැන මාර්ගෝපදේශ ඇතුළත් වෙයි.

ඊට අමතරව තැපල් ඡන්දය, ඡන්දය දින ඡන්දය භාවිතා කිරීම, ගණන් කිරීම ආදී පිළිබඳවද මාර්ගෝපදේශ ඇතුළත්ය.

මැතිවරණ සංවිධාන ජූනි 1 වන දින සහිතව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමු කරමින් අවධානය යොමු කර ඇත්තේ එම මාර්ගෝපදේශ ඉක්මනින් ගැසට් කරන ලෙසය. ''

 

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ගැසට් කරනවා -පවිත්‍රා

මෙවැනි බලපෑම් හමුවේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි අද (ජුලි 16) උදැසන නිවේදනය කර ඇත්තේ, ඉදිරි දින දෙක තුළ දී මහ මැතිවරණයේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන බවයි.

සබැඳි පුවත් :

මැතිවරණය පැවැත්වීමට බරපතල බාධාවක් -  මැකෝ කියන කතාව මෙන්න

කොරෝනා: මැතිවරණ මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ ඇයි දැයි සැකයක් !

පවිත්‍රා ළඟ සිරකරගෙන ඉන්න මැතිවරණ සෞඛ්‍ය නිර්දේශ එලියට දාන්න

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්