කොරෝනා වසංගත තත්වය හමුවේ මැතිවරණ පැවැත්වීම සඳහා මුලින් දෙන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ ඊට දින  38 ට පසුව නිකුත් කෙරුනු මැතිවරණ රෙගුලාසි ඇතුලත් ගැසට් නියෝගය මගින් වෙනස් කිරීම

සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් සිය කණස්සල්ල පළ කර තිබේ.

කොවිඩ් -19 හා සබැඳි  මැතිවරණ නියෝග පිළිබඳ ස්ථාවරය පැහැදිලි කරමින් ජුලි 19 දා නිකුත් කළ නිවේදනයක් මගින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ, ඡන්දදායකයන්ද ඇතුලත් සියලු පාර්ශවකරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ සැබෑ වගකීම බවයි.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් ජූලි 18 දා ප්‍රකාශයට පත් කෙරුණු නියෝග පරිදි ඡන්ද  රැස්වීමක් සදහා සහභාගී වීමේ අවසරය හිමිවන පුද්ගලයන් සංඛ්‍යාව 100 සිට 300 දක්වා ඉහළ දමා ඇති අතර යම් හෙයකින් එවන් රැස්වීමකට යම් පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා සහභාගී වන්නේ නම් සහභාගි විය හැකි ගණන 500කි.

එමෙන්ම නිවසට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සදහා වන අවසරය හිමිවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව තිදෙනෙකුගේ සිට පස් දෙනකු දක්වා ඉහළ දමා තිබේ.

මුල් මාර්ගෝපදේශයෙහි අන්තර්ගතව පැවැති බොහෝ විධිවිධාන මෙකී රෙගුලාසි ගැසට් කිරීම ඔස්සේ මුළුමනින්ම ඉවත් කර ඇති අතරම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සදහා 7 වැනි වගන්තියේ දක්වා ඇති සෞඛ්‍ය පරිපාලන ව්‍යුහයද මෙම නව රෙගුලාසි තුළ දක්නට නොමැති  බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ගැසට් නිවේදනයට පසුදා නිකුත් කළ නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

 ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත තත්වය වඩාත් යහපත් අතට හැරෙමින් පවතින ස්වභාවයක් පවත්නා බව දිස්වෙමින් තිබීම හේතුවෙන්, නව රෙගුලාසි හා මුල් මාර්ගෝපදේශ සංග්‍රහය අතර පවත්නා පරස්පරතා පිළිබඳව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය දැඩි අවධානයෙන් පසුවන බව එම නිවේදනයේ තව  දුරටත් සදහන්ය.

සීමාවන් ලිහිල් කිරීම අතාර්කිකයි:

 භෞතිකමය ලෙස මැතිවරණ ප්‍රචාරක සීමා ලිහිල් කිරීම හරහා ප්‍රචාරක කටයුතු විශාල පරිමාණයෙන් සිදු වීම මගින් වැඩි ඡන්දදායකයන් ප්‍රමාණයක් කොරෝනා වසංගතයෙහි බලපෑමට නිරාවරණය වීමේ හැකියාව පවතින බවට අනතුරු අගවන CMEV අවධාරණය කරන්නේ, විශේෂයෙන්ම පක්ෂ නායකයන්ගේ පැමිනීම මත පදනම්ව රැස්වීම්වලට සහභාගී විය හැකි පුද්ගලයන්ගේ ප්‍රමාණයෙහි සීමාවන් ලිහිල් කිරීම අතාර්කික බවයි.

 එවන්  පසුබිමක් තුළ පහත සදහන් ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටී.


1. මුල් මාර්ගොපදේශ සංග්‍රහයෙහි පවත්නා අනෙකුත් විධිවිධාන ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම


2. පළමුව ප්‍රකාශයට පත් කරන ලද මාර්ගොපදේශ මෙලෙස ලිහිල් කර ඇත්තේ ඇයිද යන්න මෙන්ම වසංගත තත්වය වඩාත් අයහපත් වීමට මෙකි ලිහිල් මාර්ගොපදේශක දායක වුවහොත් ඊට අදාලව ගන්නා පියවර කවරේද යන්න පිළිබදව ඡන්දදායකයන් හට පැහැදිලි කිරීමක් සැපයීම,


3. පවත්නා ගැටලු නිරාකරණය කිරීම සහ නියාමනය උදෙසා රෙගුලාසි ප්‍රවර්ධනය කිරීම මෙන්ම මහජනයා දැනුම්වත් කිරීම සදහා සෞඛ්‍ය සේවකයන්, විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග එක්ව කටයුතු කිරීම,

 “කෙටිකාලීනව ලද හැකි  පක්ෂග්‍රාහීමය මැතිවරණ ප්‍රතිලාභ වලින් ඔබ්බට ගොස් මැතිවරණ ක්‍රියාවලිය හා එක්වන ඡන්දදායකයන්ද ඇතුලත් සියලු පාර්ශවකරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ සැබෑ වගකීම” විය යුතු බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image