ජාතික රක්ෂණාභාර අරමුදලට අයත් ප්‍රතිරක්ෂණාවරණ දෙකක් කොළඹ දිසා අධිකරණයේ වාරණ නියෝගයට ලක්ව සිටින

හා රක්ෂණ නියාමන කොමිසමේ ලියාපදිංචි නොවූ රක්ෂණ බ්‍රෝකර් සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය ලෙස අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනා දෙකක් අනුව එම ප්‍රතිරක්ෂණාවරණ කැබිනට් මණ්ඩලය අනුමත කළ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ජූලි 23 දින කැබිනට් මණ්ඩලය දැනුම්දීමේ නිවේදනයේ සඳහන් වේ.

මෙම ප්‍රතිරක්ෂණ ලබාදී ඇත්තේ ඉන්දියාවේ ජේ.බී. බෝදා (J. B. BODA INSURANCE BROKERS PVT. LTD) සමාගමටය.

පාසල් සිසුන් සඳහා 'සුරක්ෂා' රක්ෂණය ආරම්භ කළ අවස්ථාවේදී එහි ප්‍රතිරක්ෂණාවරණය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ලබා දුන්නේ 'බෝදා' සමාගමට වන අතර, එය නීති විරෝධී යැයි කියමින් 'ස්ට්‍රටජික් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (Strategic Insurance Brokers) පෞද්ගලික සමාගම කොළඹ දිසා අධිකරණයේ නඩු පවරනු ලැබීය.

එහිදී දිසා අධිකරණය 2018 ජනවාරි මාසයේදී බෝදා සමාගමේ කටයුතු සඳහා වාරණ නියෝගයක් නිකුත් කළේය.

 

බ්‍රෝකර් සමාගමක් ලෙස ලියාපදිංචි නොවූ සමාගමක් !

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ බ්‍රෝකර් සමාගමක් ලෙස ලියාපදිංචි නොවූ සමාගමකට ප්‍රතිරක්ෂණාවරණයක් ලබා දිය නොහැකි බව සඳහන් කරමින් එම නඩුව ගොනුකර තිබිණ.

'ස්ට්‍රටජික් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්' සමාගමේ ඉහළ නිලධාරියකු ගෙන් කරන ලද විමසීමකදී ඔහු පැවසූයේ, බෝදා සමාගමට එරෙහිව එම වාරණ නියෝගය තවමත් පවතින බවත් මෙම වසරේ නොවැම්බර් මාසයේදී එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් ය.

 

ප්‍රතිරක්ෂණය සඳහා මිලියන 985.5ක පිරිවැයක් !

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය එම රක්ෂණයන්ගෙන්  30% ක් අනිවාර්යෙන් ප්‍රතිරක්ෂණාවරණයක් ජාතික රක්ෂණාභාර අරමුදලෙන් ලබාගත යුතු අතර, රක්ෂණාභාර අරමුදලේ එම ප්‍රතිරක්ෂණය නැවත ප්‍රතිරක්ෂණය සඳහා 'බෝදා' සමාගම තෝරාගෙන ඇත.

එම ප්‍රතිරක්ෂණ කාලය මාස 18ක් වන අතර ඒ සඳහා රුපියල් මිලියන 985.5ක පිරිවැයක් දරන බව කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ සඳහන් වේ.

 

අනෙක් ප්‍රතිරක්ෂණයට මිලියන 116.39 ක පිරිවැයක් !

බෝදා සමාගමට ලබා දෙන අනෙක් ප්‍රතිරක්ෂණය වැඩවර්ජන, කැරලි කෝලාහල, මහජන කැළඹීම් සහ ත්‍රස්තවාදී අරමුදල සඳහා ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් ජාතික රක්ෂණභාර අරමුදල ලබා ගන්නා ප්‍රතිරක්ෂණය නැවත ප්‍රති රක්ෂණය කිරීම වේ.

 එය ද මාස 18 ක කාලයකට අදාළ වන අතර එම රක්ෂණාවරණය අගය රුපියල් මිලියන 116.39 ක් බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ ( Insurance Regulatory Commission of Sri Lanka) වෙබ් අඩවියට අනුව බෝදා සමාගම, රක්ෂණ බ්‍රෝකර් සමාගමක් ලෙස ලියාපදිංචි කර නැති අතර මේ වන විට රක්ෂණ බ්‍රෝකර් සමාගම් 65කට එහි අනුමැතිය හිමිව තිබේ.

(ලසන්ත රුහුණගේ -අනිද්දා ජුලි 26)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්