මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පෙරේදා (11) ලිපියක් යවමින් දැනුම් දී ඇත.
ඉකුත් ජුනි මස 03 වෙනිදා සිය අමාත්‍යධුර වලින් රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, කබීර් හෂීම් සහ අබ්දුල් හලිම් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍යංශ 04 ක් සඳහා රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන්ගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත පසුගිය සතියේදී යවා ඇත.
එක්සත් ජාතික පක්ෂය විසින් නම් කර ඒවා තිබු නම් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා විසින් පුරප්පාඩුවී ඇති අමාත්‍යංශයන්හි වැඩබලිම සඳහා රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු පත්කර ඇත.
කැබිනට් ඇමැතිවරුන් ඉල්ලා අස්වී ඇති අවස්ථාවක එම අමාත්‍යාංශයන්හි වැඩබලන ඇමැතිවරුන් පත්කළ නොහැකි බවත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව එම පත්කිරීම් ව්‍යවස්ථාවට පටහැනි බව අගමැතිවරයා විසින් සිය ලිපිය මගින් කරුණු පෙන්වාදී ඇත.
ඇමැතිවරුන් පත් කිරීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔවුන්ගේ නම් අගමැතිවරයා විසින් නිර්දේශ කළ යුතුව ඇතැයිද එහෙත් තමා එවැනි නිර්දේශ කිරීමක් කර නැතැයිද අගමැතිවරයා ජනාධිපතිවරයාට දන්වා යවා ඇති බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
අබ්දුල් හලීම් හිටපු අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමෙන් මේ වන විට පුරප්පාඩුවී තිබෙන තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් කිසිදු පත්වීමක් සිදුකර නොමැත.
චම්පික ගෙන් දෝස්මුරයක් !
මේ අතර ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැබිනට් මණ්ඩලය රැස් නොකිරීම ව්‍යවස්ථා විරෝධී වගකීම් විරහිත කටයුත්තක් බවත්, එමගින් ඔහු පාර්ලිමේන්තුව අභියෝගයකට ලක්කර ඇති බවත් ය.
ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා කලාපය රාජ්‍ය, විධායකය හා ආණ්ඩුව හිතාමතා අකර්මණ්‍ය කිරීම බවත්, එහි භයානක ප්‍රතිඵලයන්ට ඉදිරියේ දී ඔහුට මුහුණ දීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.
ජනාධිපතිවරයා විසින් නිර්මාණය කර ඇති මෙම අර්බුදය වහා අවසන් කර කැබිනට් මණ්ඩලය ලබන අඟහරුවාදාට පෙර කැඳවා රට යථා තත්ත්වයකට පත් කිරීම සැමගේ වගකීමක් බවත් ඇමැතිවරයා කීවේය.
මලික් ඉවතට : කපුවා රවී
මේ අතර ජනාධිපතිවරයා සමග යළි යම් එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා අගමැතිවරයා විසින් අමාත්‍ය රවී කරුණානායක නම් කර ඇත. ඒ, මෙතෙක් එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපතිවරයා අතර සම්බන්ධීකරණය කළ අමාත්‍ය මලික් සමරවික්‍රම වෙනුවටය.
වාර්තාවන ආකාරයට එම සම්බන්ධිකරණ කටයුතු එතරම් සාර්ථකවී නොමැති අතර තෙදින සංචාරයක් සඳහා අද (13) තජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි පසු ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
ජනපති- අගමැති දෙන්නම ඉවත්කළ යුතුයි !
ශ්‍රි ලංකාවේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති ශ්‍රී ලාංකීය විද්වතුන් ගෙන් සමන්විත 'ෆ්‍රයිඩේ ෆෝරම්' (Friday Forum) සංවිධානය පවසන්නේ, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින වගකීම් විරහිත, එදිරිවාදී අන්තර්-පුද්ගල කෝන්තරය, ජාතික උන්නතිය සඳහා, තවදුරටත් රටට ඉවසිය නොහැකි බවයි.
එහෙයින් ජාතියේ උන්නතිය තකා, ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉල්ලා අස්වීමට බල කරන්නැයි එම සංවිධානය පුරවැසියන්ගෙන්, සිවිල් සමාජ සංවිධානවලින් සහ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.
සබැඳි පුවත් :