මත් ද්‍රව්‍ය ජාවාරමට සැක කෙරෙන්නන්ට හිරගෙදරදී සැප සැලසීමේ චෝදනාවට රිමාන්ඩ් භාරයට පත් උසස් බන්ධනාගාර නිලධාරියකු තමන් නීතියේ රැහැනින් ගලවා ගැනීම සඳහා මැදිහත් වන ලෙස

ජනපති, අගමැති සොහොයුරන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා තිබේ.

මීගමුව බන්ධනාගාරයේ අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඒ සඳහා තම සුදුසුකම ලෙස ප්‍රකාශයට පත් කළේ රාජපක්ෂවරුන් බලයට පත් කිරීමට කිරීමට ඡන්දය දී  තිබීමයි.

"ජනාධිපතිතුමනි, අපි ඔබතුමාට කියන්නේ අපි ඔබතුමාට ඡන්දෙ දාපු මිනිස්සු. අගමැතිතුමනි, අපි ඡන්දෙ දාපු මිනිස්සු. අපිව බේරගන්න"

මීගමුව බන්ධනාගාර ගත රැඳවියන්ට සුඛෝපභෝගී පහසුකම් සැලසීමේ චෝදනා යටතේ, වැඩ තහනමට ලක්ව අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබියදී දින 11ක් පුරා සැඟව සිටී මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අත් අඩංගුවේ සිටිමින් අගෝස්තු 2 ඉරිදා එම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඊට ඉඩ සලසා දෙමින් සිටිනු වීඩියෝ ගතවී තිබේ.

වරෙන්තුකාර බන්ධනාගාර නිලධාරියා අත් අඩංගුවට ගැනීමට අසමත් වීම ගැන වැඩබලන පොලිස්පති වරයා නීතිපති දෙපාර්තමේන්තුවේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී සිටී.

''සැකකරු තමන් බේරා ගන්නා ලෙස කළ ප්‍රසිද්ධ ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විසින් විමසන ලදුව  පොලිස් ප්‍රකාශක ජාලිය සේනාරත්න ප්‍රකාශ කර තිබුනේ “අසාධාරණයක් සිදුවූ අවස්ථාවක” ඕනෑම අයකුට සමාව දීමේ බලතල ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා සතුවන බවයි.''

සැකකරු තමන් බේරා ගන්නා ලෙස කළ ප්‍රසිද්ධ ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විසින් විමසන ලදුව  පොලිස් ප්‍රකාශක ජාලිය සේනාරත්න ප්‍රකාශ කර තිබුනේ “අසාධාරණයක් සිදුවූ අවස්ථාවක” ඕනෑම අයකුට සමාව දීමේ බලතල ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා සතුවන බවයි.

කෙසේ වෙතත්, විමර්ශනයක් පවතින අවස්ථාවේ ඊට මැදිහත් වීමට ජනාධිපතිවරයාට හැකියාවක් නොමැති බවද පොලිස් ප්‍රකාශකයා කියා සිටියේය.

බන්ධනාගාර නිලධාරියා ගලවා ගැනීමට මැදිහත් වන්නේදැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ අගමැති මහින්ද රාජපක්ෂ හෝ මේතාක් කිසිදු ප්‍රකාශයක් කර නැත.

අත් අඩංගුවට ගත්ත ද ?  ස්වේච්ඡාවෙන් බාර වුනා ද?

අනුරුද්ධ සම්පායෝ පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේද, නැතහොත් ඔහු ස්වේච්ඡාවෙන් බාර වීද යන්න මතබේදයට තුඩු දී තිබේ. 

ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවත් ඔහුගේ නීතිඥයන් පවසන්නේ බාර වූ බවයි. 

හිටපු අමාත්‍යවරයකුගේ “නම සවුත්තු වීම” වලක්වා ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ ඉල්ලීමක් පරිදි තමන් බාර වන බව පවසා ඇති අනුරුද්ධ සම්පායෝ  වැඩි දුරටත් සඳහන් කර  ඇත්තේ අභියාචනාධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමන් පොලීසියට භාර නොවී සිටි බවයි.

''ජොනී ඇමැතිතුමාගේ නම සවුත්තු කරනවා. ඒ නිසයි මම භාර වෙන්නේ. මම භාර වෙන්නේ නැතිව හිටියේ ඇපිල් කෝට් තීන්දුව එනතුරුයි. ගිය ආණ්ඩුවත් අපිට ප්‍රශ්න දැම්මා. මේ ආණ්ඩුවත් ප්‍රශ්න දානවා. ඇයි මෙහෙම කරන්නේ"

"පොලිස්පතිවරයා නිසා තමයි මම භාර වෙන්නේ. මට මෙච්චර නීතිපති දෙපාර්තමේන්තුව ගැහුවට රවි කරුණානායක හැංගිලා හිටියා, රාජිත සේනාරත්න හැංගිලා හිටියා. මේ සම්පූර්ණ වැරදි වැඩක් මට කරන්නෙ. ජොනී ඇමැතිතුමාගේ නම සවුත්තු කරනවා. ඒ නිසයි මම භාර වෙන්නේ. මම භාර වෙන්නේ නැතිව හිටියේ ඇපිල් කෝට් තීන්දුව එනතුරුයි. ඒ ගොල්ලන්ට හැංගිලා ඉන්න පුළුවන්නම් ඇයි අපිට බැරි. ගිය ආණ්ඩුවත් අපිට ප්‍රශ්න දැම්මා. මේ ආණ්ඩුවත් ප්‍රශ්න දානවා. ඇයි මෙහෙම කරන්නේ"

පොලිස් නිලධාරියකු ලඟින් සිටියදී වරෙන්තුකරුවකු පෙර නොවූ විරූ ආකාරයෙන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විශ්මය පල කොට තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න අගෝස්තු 3 සදුදා පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ විශේෂ බුද්ධි මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙස අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත් බවයි.

අනුරුද්ධ සම්පායෝ සහ මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂක ෆ්‍රෙඩ්රික් වුට්ලර් පාසල් සගයන් වීම නිසා සිදුව ඇත්තේ මවා පෑමක් ද යන්න එහිදී මාධ්‍යවේදියකු විසින් පොලිසියෙන් ප්‍රශ්න කර තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ඒ බව පිලි ගත්තේ නැත.

"මේ සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා එම බුද්ධි මෙහෙයුම රාජ්‍ය බුද්ධි සේවයත් ඒ වගේම පොලිස් බුද්ධි අංශත් ඒකාබද්ධව ලබා ගත් තොරතුරු අනුව මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂක විසින් කුරුණෑගල ප්‍රදේශයේදී සිදු කරන ලද විමර්ශනයකදී තමයි මේ සැකකරු අත්අඩංගුවට ගත්තේ. උපක්‍රමශිලීව බුද්ධි මෙහෙයුමක ප්‍රතිළුලයක් හැටියට හැකියාව ලැබුනා විමර්ශන නිලධාරීන්ට ඔහු සැගවී සිටි ස්ථානයෙන් එළියට ගන්න. ඒ එළියට ගත්තට පස්සේ තමයි ඔහුව අත්අඩංගුවට ගත්තේ."

ඉහලින් බලපෑම සිදුකළේ කවුද ?

කෙසේ වෙතත් රජය අපහසු තාවයට පත් නොකරන ලෙස ඉහලින් කෙරුණු බලපෑම් නිසා සැකකාර බන්ධනාගාර නිලධාරියා භාරවූ බවයි ඔහුගේ නීතිඥ කැලුම් කුමාරසිංහ මීගමුව අධිකරණ භූමියේදී මාධ්‍යවේදීන්ට කියා සිටියේ. බලපෑම සිදුකළේ කවුරුන්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඊට පිළිතුරු දීමෙන් ඔහු වැළකී සිටියේය.

''රජය අපහසු තාවයට පත් නොකරන ලෙස ඉහලින් කෙරුණු බලපෑම් නිසා සැකකාර බන්ධනාගාර නිලධාරියා භාරවූ බව ඔහුගේ නීතිඥ කැලුම් කුමාරසිංහ මීගමුව අධිකරණ භූමියේදී මාධ්‍යවේදීන්ට කියා සිටියේ ය.


මත් ද්‍රව්‍ය ජාවාරම පිළිබදව විමර්ශන සදහා අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින  බන්ධනාගාර ගත රැඳවියෙකුට කූඨ ලේඛන සකස් කර  ශීතකරණයක් ඇතුළු තහනම් භාණ්ඩ ලබා දීම සම්බන්ධයෙන් එල්ල වු චෝදනා හේතුවෙන්  අනුරුද්ධ සම්පායෝ  ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ජුලි 22  වරෙන්තු නිකුත් කර තිබුනි.

එම චෝදනා යටතේ  මීට පෙර අධිකරණයට භාර වූ ජේලර්වරුන් තුන් දෙනා ලබන අගෝස්තු 04  වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ඉන්දික සිල්වා පසුගියදා නියෝග කර තිබුණි.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මීගමුව බන්ධනාගාරයේ සේවය කළ ප්‍රධාන ජේලර් උපාලි සරත් බණ්ඩාර, දෙවන පෙළ ජේලර් නිශාන්ත සේනාරත්න හා තවත් ජේලර්වරයෙකු වූ ප්‍රසාද් කාලිංග කළුඅග්ගල යන නිලධාරීන්ය.

අගෝස්තු 2 ඉරිදා  අත්අඩංගුවට ගත්  මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද  දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් කේ.ජී ගුණදාස විසින් නියෝග කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්