'දේශපාලඥයා යනු තවත් සිවිල් සේවකයෙකු පමණයි' යන මතයක් සමාජය තුළ පැවතිය ද,

ඔවුන්ට ලැබෙන ජනතා මනාපයත් සමග නිතැනින්ම කැපී පෙනෙන චරිත බවට පත් වේ.

කෙසේනමුත්, වර්තමානයේ ඇතැම් පුද්ගලයන් දේශය පාලනය කිරීමේ කාර්යයට එහා ගොස් 'මිල මුදල් රැස් කර ගැනීමේ' පරමාර්ථයෙන් දේශපාලනයට පිවිසෙන බවක් දක්නට ඇත.

"මම දේශපාලනයට එන්නේ හම්බකරගන්න. මේ රට හදන්න බැහැ. එහෙම එකේ අපිවත් ගොඩ යන්න ඕනේ. අනික මේ රටේ මිනිස්සු රවට්ටන එක සුළු දෙයක්," ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසෙන තරුණ දේශපාලනඥයෙකු මා සමග යෙදුනු සංවාදයක දී පැවසීය.

බලවත් දේශපාලන පවුල් පසුබිමක් නොමැති ඔහු මේ වන විට වෙනත් දේශපාලන 'හයිකාරයන්' පසුපස ගොස් විවිධ මාර්ග ඔස්සේ මුදල් උපයමින් සිය ලෞකික දිවිය ගොඩනගා ගනිමින් සිටී.

"ඡන්දේ ඉල්ලන්නත් වාහන, ලොකු ගෙවල් දොරවල්, ලොකු කට්ටිය එක්ක සම්බන්ධකම් නැතුව බැහැ. මිනිස්සු ඇන්දෙන්නේ ඒවාට. පයින් ගිහින් ඡන්දේ ඉල්ලුවොත් ගෙදර එකවත් මට ලැබෙන්නේ නැහැ,"ඔහු පැවසීය.

සාමාන්‍ය ජනතාව සමග පොදු ප්‍රවාහන සේවයේ ගමන් කරමින් මැතිවරණ සටනට අවතීර්ණ වූ මහජන නියෝජිතයන් පිළිබඳ අතීත කතා පැවතිය ද, දේශපාලනයට පිවිසි පසු ඉන් බොහෝ දෙනා අධි සුඛෝපබෝගී දිවිපෙවතක් ගොඩනගා ගත් ආකාරය අප ඕනෑතරම් දැක ඇත.

 

"වැලි ඇටෙත් සොරකම් කරනවා"

ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා දක්වා සියලු දෙනාගේ රාජකාරිය ජනතාවට සේවය කිරීම මෙන්ම රට පාලනය කිරීමට අදාළ තීන්දු තීරණ ගැනීමය. නමුත්, එම රාජකාරිය පසෙක තිබිය දී හැකිතාක් ගෙවල් දොරවල් යාන වාහන, මිල මුදල් මෙන්ම අසීමිත බලයක් රැස් කරගැනීම වර්තාමන දේශපාලනඥයන්ගේ මෙන්ම අනාගත දේශපාලනඥයන්ගේ ද ඒකාන්ත අරමුණ වී ඇති සැටියකි.

sanath nishantha.1

"දේශපාලනය සම්පූර්ණයෙන්ම වාගේ මඩිය තර කරගන්න රස්සාවක් වෙලා. මිනිස්සුන්ගේ මුදල්, දේපොළ සූරා කන තක්කඩියන්ගේ තිස්පොළක් බවට පත් වෙලා. වැලි ඇටයේ ඉඳන් සොරකම් කරනවා. අලුතෙන් එන අයත් ඒ හොර චක්‍රයේ කොටසක් වෙනවා. මේ වගේ තිත්ත කළු රස්සාවකට සුදුසුකම් තිබෙන ප්‍රතිපත්තිගරුක මිනිස්සු එකතු වෙන්නේ නැහැ. හැබැයි ඒකේ පාඩුවත් රටටමයි," විශ්‍රාමික දේශපාලන විද්‍යා ගුරුවරියක වන කමණී පෙරේරා පැවසුවාය.

පාතාලයට සම්බන්ධ පුද්ගලයන් සිය ආරක්ෂකයන් ලෙස පත් කරගෙන වාහන රැසක් පිරිවරාගෙන දකුණු ආසියාතික සිනමාපටවල සේ මැතිවරණ සටනට එක් වීම බොහෝ නවක දේශපාලනඥයන්ගේ සිහිනය බවට පත් ව ඇත.

මෙයට ආසන්නතම සිද්ධිය ලෙස පුත්තලම ප්‍රදේශයේ හිටපු මන්ත්‍රීවරයෙකු අංක තහඩුව නොමැති යතුරුපැදිවල නැගී තවත් එවැනිම පිරිසක් පිරිවරාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන ආකාරය මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි.

තමන් නීතිය නොදැන සිටි බවත්, හිස්වැසුමක් නොපැළඳ යතුරු පැදියක් පැදවීම වෙනුවෙන් ඇති සුළු දඩ මුදල ගෙවා දැමීමට තමන් සූදානම් බවත් මාධ්‍ය අමතමින් ඔහු පසුව පැවසීය.

image22

"මම කොහොම හරි ඡන්දය දිනලා, පරම්පරා කිහිපයකට හම්බ කරගන්න මග හදා ගන්නවා. පෙනුමට ලස්සන ඇඳුමක් ඇඳගෙන, වාහන සහ මිනිස්සු කීපදෙනෙක් එක්ක ඡන්දේ ඉල්ලන්න ගියාම රැවටෙන්නේ නැති මිනිහෙක් නැහැ. බැනර්, කටවුට්වල ඔය මොකක් හරි අධ්‍යාපන සුදුසුකමක් දානවා," මෙවර මැතිවරණයට ඉදිරිපත්වන තරුණ අපේක්ෂකයෙකු මා සමග කළ සංවාදයක් අතරතුර පැවසීය.

දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන ඔහු විවිධ සමාජ සංවිධාන, ආයතන රවටා මුදල් ලබා ගැනීමේ නිරතවන අතර, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ද මිලියන ගණනක මුදලක් ලබා ගෙන ඇත.

මුදල් ලබා දෙන විට ඔහු දෙන පොරොන්දුව වන්නේ තමන් මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු "සල්ලි දුන් අයට හොඳින් සලකනවා" යන්නය.

 

'කලාව' දනිති !

"කිසියම් ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු එම තනතුරට පත් වන්නට පෙර ඒ අයගේ තිබූ ආර්ථික පසුබිම හදිසියේම කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් දියුණු වී තිබෙනවා නම්, වසර ගණනාවක් තුළ ලෝකයේ පොහොසතුන් අතරට එක් වී ඇත්නම්, අතේ සතයක් තිබුණේ නැති අය දියුණු වී ඇත්නම්, ඒ ගැන ජාතික මට්ටමේ පරීක්ෂණයක් කළ යුතුයි.

ඒ වගේම, එම මුදල් ඔවුන්ට ලැබුණේ කුමන මාර්ගවලින් ද යන්න සොයා බැලීම සත්‍ය වෙනුවෙන් කරන කැපවීමක් ලෙස මම විශ්වාස කරනවා," මැල්කම් කාදිනල් රංජිත් අගදරගුරු හිමියෝ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කළහ.

ඇමති සහ මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළිකිරීමට අපොහොසත් වීම තුළ නීතිමය ක්‍රියා මාර්ග ලබා ගැනීම සිදු වුවද, ඒ සියල්ල තිබිය දී නැවත නැවතත් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමේ 'කලාව' ඔවුහු දනිති.

ඒ සඳහා විවිධ උපක්‍රම භාවිත කරන ඔවුන් තම නමට ඇති වූ 'කළු පැල්ලම' වසා ගැනීම උදෙසා විශාල ලෙස මුදල් වියදම් කිරීමට ද දෙවරක් නොසිතයි.

ජීවන දුෂ්කරතා හමුවේ තමන්ට ලැබෙන යම් සහනයක් වෙනුවෙන් දේශපාලනඥගේ පුළුල් චිත්‍රය වටහා නොගන්නා ඡන්ද දායකයන් ද අදාළ පුද්ගලයන්ට මනාප ලබා දීමට මෙන්ම සිය සහයෝගය දැක්වීමට ද යුහුසුළු වෙති.

"මගේ වීල් එකට ටයර් තුනම දාලා දුන්නේ ඒ මහත්තයා. ඉතින් අපි කොහොම ද ඡන්දය නොදී ඉන්නේ. පක්ෂය මොකක් වුණත් වැඩක් නෑ. මේ කරපු උදව්ව අපි වගේ මිනිස්සුන්ට ලොකු දෙයක්," මා සමග එසේ ප්‍රකාශ කළේ දේශපාලනඥයෙකුගෙන් ලද සහය පිළිබඳ අදහස් පළකළ සේන ලෙස තමන් හඳුන්වාගත් ත්‍රීරෝද රථ රියදුරෙකු පැවසීය.

 

වසංගතයෙනුත් වාසි

කොරෝනාවෛරසය හේතුවෙන් රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු කාලයේ දී අපේක්ෂකයන් කිහිපදෙනෙකුම ජනතාවට සහන බෙදීමේ වැඩ පිලිවෙළ ඡන්ද ප්‍රචාරය සඳහා යොදාගෙන ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

"බහුතරයක් පැමිණිලි රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහිව තමයි වාර්තා උනේ. ඒ වගේම විපක්ෂයේ දේශපාලන පක්ෂත් එහෙම නැත්නම් ආධාර කරුවෝ අපේක්ෂකයෝ කෝව්ඩි තත්ත්වය තුළ බෙදපු සහනාධාර තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන්න කටයුතු කිරීම් වාර්තා වෙලා තියනවා," රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය.

image212

කොරෝනාවෛරස වසංගතය වැනි ව්‍යසනයකදී ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජයකට ඇති වගකීමට අනුව සහන සැලසීමේ ක්‍රියාවලිය සිදු කෙරිණි.

එයින් රජයට ඇතිවන වාසිය සම්බන්ධයෙන් කිසිවකුට විවේචනය කිරීමේ හැකියාවක් නැතත් ආරම්භයේදී දේශපාලනයකින් තොරව ක්‍රියාත්මක වු සහනාධාර ලබාදීමේ වැඩපිලිවෙළ ඉතාම කෙටි කාලයක් ඇතුළත දේශපාලනීකරණය වූ ආකාරය දැකගත හැකි වු බව ඔහු අවධාරණය කළේය.

මීට අමතරව, කොරෝනාවෛරසය නිසා සිදු කළ සීමා කිරීම් හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණ දුන් පිරිසට පිහිට වීමට යැයි කියා දෙස් විදෙස් බොහෝ දෙනෙකුගෙන් මුදල් එකතු කිරීමට ද දේශපාලනඥයෝ රැසක් ක්‍රියා කළහ. නමුත් එම මුදල් සම්පූර්ණයෙන්ම අදාළ කාරණයට යොදා ගත්තේදැයි යන්න සොයා බැලීම වටී.

 

යැපුම් සංස්කෘතිය

ජනපති මත අගමැති මත කැබිනට් ඇමතිවරු මත මන්ත්‍රීවරුන් යැපෙන සංස්කෘතියක් පවතින ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහය තුළ, සාමාන්‍ය ජනතාවට පවා සිය අවශ්‍යතා, රාජකාරි සඳහා දේශපාලඥයන් මත යැපීමට සිදුව ඇත.

"අපේ ගමට එන පාර අළුත්වැඩියා කර දෙන්න ප්‍රාදේශීය සභාවෙන් අවුරුද්දකට වැඩි කාලයක් ඉල්ලීම් කළා. කිසි දෙයක් වැඩක් වුණේ නැහැ. හැබැයි ගමේ සල්ලි තියෙන අය සහ ව්‍යාපාර එකතු වෙලා පාර හදන්න සල්ලි දෙන්න කැමති වුණා. සල්ලි තිබිලත් වැඩේ අනුමත කරගන්න අපිට දොළොස් වතාවක් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හමුවෙන්න යන්න වුණා. අපි හරි ක්‍රමයට වැඩ කරන නිසා සෑහෙන කරදර විඳිනවා" යැයි ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක ප්‍රදේශවාසීන්ගේ එකමුතුවෙන් සැදුම්ලත් සංවිධානයක ලේකම් ධූරය දරන කේ. ජී. පී ධර්මදාස පැවසීය.

maligawatta

දරුවෙකු පාසලට ඇතුළත් කිරීමේ පටන් විවාහය සහ අවමංගල්‍ය දක්වා විවිධාකාරයෙන් දේශපාලනඥයන් මත යැපීමට සිදුවන සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ ගොඩ නැගී ඇත.

 

පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරයකු ‌වීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ 90 වගන්තියට අනුව ඡන්ද දායක‌යකු වීමට සුදුසුකම් ලබන ඕනෑම පුද්ගල‌යකු පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරයකු ‌ලෙස තේරී පත්වීමට සුදුසුකම් ලබයි.

එ‌සේ සුදුසුකම් ‌නොලබන්‌නේ 91 ව්‍යවස්ථා‌වේ පහත සඳහන් කාරණා යට‌තේ නුසුදුස්‌සකු වුව‌හොත් පමණකි;

  1. එම පුද්ගලයා ජනරජ‌යේ ජනාධිපති නම් ‌හෝ අධිකරණ‌යේ නිලධාරි‌යකු නම් ‌හෝ රජ‌යේ නිලධාරි‌යකු ‌හෝ රාජ්‍ය සංස්ථාවක නිලධාරි‌යකු නම් (‌මෙහිදී සලකා බැලිය යුතු කාරණයක් වන්‌නේ රජ‌යේ නිලධාරි‌යකු ‌හෝ රාජ්‍ය සංස්ථාවක නිලධාරියකු නුසුදුස්‌සකු වීම සැල‌කෙනු‌යේ එම පුද්ගලයා දැනට දරන තනතුර සඳහා ‌හෝ එම තනතුර 1970.11.18 ට පසු ස්ථාපිත කරන ලද්දක් නම් ‌එම තනතුර ස්ථාපිත කළ මුල් දින‌යේ වැටුප් පරිමාණය අනුවය. ‌මෙම පදනම යට‌තේ මූලික වැටුප වසරකට රු. 7200 ඉක්මවන්‌නේ නම් පමණක් නුසුදුස්‌සකු වීම අදාළ ‌වේ)

  2. එම පුද්ගලයා පොලිසි‌යේ, හමුදාවේ, නාවික හමුදා‌වේ හෝ ගුවන් හමුදා‌වේ සාමාජිකයකු නම්.

  3. එම පුද්ගලයා පවතින නීතිය යට‌තේ බං‌කො‌‌ළොත්භාව‌යෙන් ‌නොමිදුණ පුද්ගල‌යකු ‌ලෙස ප්‍රකාශයට පත්කර ඇත්නම්.

  4. එම පුද්ගලයා පාර්ලි‌මේන්තු‌ව මගින් ප්‍රකාශයට පත් කර ඇති ආකාර‌යේ, රජ‌ය ‌හෝ රාජ්‍ය සංස්ථාවක් ‌වෙනු‌වෙන් ඇතිකරගත් ‌කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ කිසියම් උනන්දුවක් දක්වන්‌නකු නම් (‌මෙම නුසුදුසුකමට ආදළ වන ‌කොන්ත්‍රාත් වර්ග ‌මොනවාද යන්න පාර්ලි‌මේන්තුව වි‌ශේෂ‌යෙන් සඳහන් කර ‌නොමැති බව සැළකිය යුතුය. කළින් පැවැති ව්‍යවස්ථා‌වේ නුසුදුසුවීමට අදාළ කරණු වලංගු විය යුතු බව ‌ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.)

  5. යම් පුද්ගලයෙකු ඡන්ද ‌කොට්ඨාස එකකට වැඩි සංඛ්‍යාවක් සඳහා මන්ත්‍රීධූරාපේක්ෂක‌යකු ‌ලෙස නාම‌යෝජනා ඉදිරිපත් කොට ඇත්නම් ‌හෝ එකම දිස්ත්‍රික්කයක් සඳහා ‌දේශපාලන පක්ෂ ‌හෝ කණ්ඩායම් කිහිපයක අපේක්ෂක‌යකු ‌ලෙස ‌පෙනී සිටින්‌නේ නම්.

 

Voice cut

බහුතරයක් රැකියාවලට අධ්‍යාපන සුදුසුකම්, පළපුරුද්ද මෙන්ම විශ්‍රාම යන වයසක් තිබුණ ද ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙකු වීමට එවැනි සුදුසුකම් හෝ සීමාවන් නොමැත.

දේශපාලන පක්ෂ නාමයෝජනා ලබාදීමේදී සලකා බැලිය යුතු මූලික නිර්ණායක අටක් ඇතුළත් ප්‍රකාශයක් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් දේශපාලන පක්ෂවලට ලබා දීමට 2015 වසරේ දී ක්‍රියා කළේය.

එම නිර්ණායක අතර අපරාධ වැරදිකරුවන්, ජාවාරම්කරුවන්, පරිසරය විනාශ කරන්නන්, දේශපාලන බලය අනිසි ලෙස භාවිත කළ පුද්ගලයින්ට නාමයෝජනා නොදිය යුතු බව ද සඳහන් වේ.

නමුත් මෙවර මැතිවරණයේ දී නාම යෝජනා ලබා දෙන විට පවා දේශපාලන පක්ෂ මේ කිසිවක් සැළකිල්ලට ගෙන ඇති බවක් පෙනෙන්නට නොමැත.

විවිධ අපරාධ, චෝදනා, දූෂණ, වංචා, ජාවාරම් කළ පිරිස පමණක් නොව, සාමාන්‍ය පුද්ගලයෙකු විශ්‍රාම ගතයුතු වයස් සීමාව ද පසු කර දස වසරකට වැඩි කාලයක් ගතවූ තරමේ මහළු පුද්ගලයන් ද නැවතත් බල පොරයට එක්වී සිටින ආකාරය දැකගත හැකිය.

මේ අතර, කැලණිය ප්‍රදේශයෙන් මැතිවරණයට ඉදිරිපත් වන, ආන්දෝලාත්මක පුවත් මැවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආධාරකරුවන් නිවෙස් වෙත ගොස් ප්‍රචාරක පත්‍රිකා බෙදමින් පවසන්නේ "මෙයාට ඡන්දයක් දෙන්න. නැත්තන් පාර්ලිමේන්තුව ඇතුලේ කිසි ආතල් එකක් නෑනේ" යනුවෙනි.

ශ්‍රී ලංකාවේ පැවති පළමු ඡන්දයෙන් පසු වසර 73ක් ගත වුව ද රටක බරපතලම රාජකාරිය ඉටු කිරීමට සැරසෙන පුද්ගලයන්ට එහි ඇති වගකීම ගැන අවබෝධයක් නැතුවා සේම ඡන්ද දායකයින්ට සිය නියෝජිතයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් ද නිසි අවබෝධයක් නොමැති බවට අදටත් බොහෝ උදාහරණ ලබා දිය හැකිය.

(දැහැමි රණවීර-  බීබීසී සිංහල)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්