හත් වසරකට ඉහත බාල වයස්කාරියක ලෙස සිටියදී නීතිවිරෝධීව රඳවා තබාගෙන පීඩාවට පත් කරනු ලැබූ තරුණියකට රුපියල් ලක්ෂයක් ගෙවන ලෙස ජනාධිපති සම්මානලාභී පොලිස් පරීක්ෂක නිලධාරිනියකට ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණය විසින් නියෝග කර තිබේ.
විනිසුරු බුවනෙක අලුවිහාරේ ගේ නායකත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර මණ්ඩලයක් විසින් එම දඩය පනවන ලද්දේ 2017 පොලිස් දිනයේදී විශිෂ්ටතම පොලිස් පරීක්ෂිකාව ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර අතින් සම්මානයට පාත්රවූ මාතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්තටය.
ඊට අමතරව තවත් රුපියල් 50,000 ක මුදලක් පැමිණිලිකාරියට වන්දි වශයෙන් ගෙවන ලෙස අධිකරණය රජයටද නියම කර තිබේ.
තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් විසින් 2012 දී කරන ලද පැමිනිල්ලක් විභාග කළ විනිසුරු තුන්කට්ටුවේ ඒකමතික තීන්දුව වුනේ වගඋත්තරකාර පොලිස් පරීක්ෂක වරිය දැරියගේ මූලික අයිතිවාසිකම් කඩ කොට ඇති බවයි.
පැමිණිලිකාරිය “නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සහ ඇගේ නිදහස අහිමි කිරීම; මහේස්ත්‍රාත් වරයකු හමුවට නොපමුණුවා අයුක්ති සහගත ලෙස රඳවා තබාගැනීම සහ ඇයට අවමාන සහගත ලෙස සැලකීම” සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස් නිලධාරිනිය වගකිව යුතු බව බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ විනිසුරුවෝ පවසා සිටිති.
ඇගේ චර්යාව “පෙත්සම්කාරියගේ මූලික අයිතිවාසිකම් කඩකොට ඇතිවා පමණක් නොව, බරපතල ලෙස නීතිය නොතකා හරින ස්වභාවයක්ද පෙන්නුම් කරයි,” යනුවෙන් පිටු 24 කින් යුත් 2019 ජූනි 12 දා නඩු තීන්දුවේ සඳහන් වෙයි.
වරුණි බෝගහවත්ත විසින් 2012 ජුලි 17 දා අත් අඩංගුවට ගෙන මාතර පොලිසියේත්, මාතර රෝහලේත් රඳවා තබා ගන්නා ලද බාලවයස්කාරිය අට දිනකට පසු නිදහස් කරගැනීමට හැකිවී ඇත්තේ ඇගේ මව චුලාංගනී විජේසිංහ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකින් අනතුරුවය.
මාතර පොලිස් ස්ථානයේ කූඩු කර සිටි මුල් දිනයේදී පාසල් දැරියට ආහාර ලබා නුදුන් බවත්, බලහත්කාරයෙන් ප්‍රකාශයකට අත්සන් ගන්නා ලද බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද පැමිණිල්ලෙන් කියැවේ.
වරුණි බෝගහවත්ත විශිෂ්ඨතම පොලිස් පරීක්ෂිකාව ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් සම්භාවනාවට පත් කරන ලද්දේ අඩන්තේට්ටමට ලක්වූ සිසු දැරිය විසින් පැමිණිල්ලක් ගොනු කර තිබියදීය.
පොලිසියට නියෝග:
පොලිස් නිලධාරිනිය මෙන්ම දෙවැනි වගඋත්තරකාර මාතර පොලිස් ස්ථානාධිපති ද, පැමිණිලිකාර සිසුවිය මහේස්ත්‍රාත්වරයකු ඉදිරියට නොපැමිනවීමෙන් නීතිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව ද උසාවිය තීන්දු කර ඇත.
නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් බලය අයුතු ලෙස යොදාගැනීම පිලිබඳ සිද්ධි එන්න එන්නම වැඩිවීම සම්බන්ධයෙන් කනස්සල්ල පළකර තිබෙන විනිසුරු මඩුල්ල, එය වැලැක්වීම සඳහා මාර්ගෝපදේශන සකස් කරන ලෙස තුන්වැනි වගඋත්තරකාර පොලිස්පතිට නියම කර තිබේ.
ජනාධිපති නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ සහ පුලස්ති හේවාමාන්න පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුනිකා හෙට්ටිගේ ද සිල්වා වගඋත්තරකාර පාර්ශවය නියෝජනය කරමින්ද පෙනී සිටියහ.
වරුණි බෝගහවත්ත 2001 වර්ෂයේ ජනාධිපති සම්මානය, 2003 දකුණු පළාත් කාන්තා විරු සම්මානය, 2009 ආණ්ඩුකාර පොලිස් මහජන සේවා සම්මානය සහ 2011 දක්ෂිණ ලංකා සම්මානය ඇතුළු සම්මාන රැසකින්ම පිදුම් ලබා ඇති නිලධාරිනියක් බව දිනමිණ පුවත්පත වාර්තා කර තිබේ.
(gagana.lk)