සම්ප්‍රදායික රාමු තුළ කොටු වී හෝ කොටු කරනු ලැබ සිටි කාන්තාවන් එම සීමා බන්ධන බිඳ දමමින් නව ඉසවු කරා ගමන් කරන අයුරු

ගෙවුණු දශක කිහිපය තුළ දක්නට ලැබිණ. එම සාධනීය ප්‍රවේශය තුළින් ඇතැම් ධෛර්යසම්පන්න කාන්තාවෝ සිය ජීවන තත්වය ඉහළ දමා ගන්නා අතරම රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ද සෘජු දායකත්වයක් දක්වති.

කස්තුරි චෙල්ලරාජා විල්සන් එවන් කාන්තාවකි.

ඇය 2020 ඔක්තෝම්බර් 01 සිට හේමාස් හෝල්ඩ්ංග්ස් පී.එල්.සී ව්‍යාපාර ජාලයේ නව ප්‍රධාන නිලධාරිනිය ලෙස නවමු ගමනක් ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳ පොලේ ලැයිස්තුගත ව්‍යාපාර සමූහයක ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පත්වන පළමු කාන්තාව ලෙසිනි.

2002 වසරේදී හේමාස් ආයතනයට එක් වූ ඇය මේ වන විට එහි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ක්‍රියා කරන්නීය.

ආර්ථික අභියෝග මැද අධ්‍යාපනය ලද ආකාරය, ක්‍රීඩාවේදී මුහුණ දුන් අත්දැකීම්, පුද්ගලික ජීවිතයේ අභියෝග වලට මුහුණ දුන් ආකාරය සහ වෘත්තීය ජිවිතයේ සාර්ථකත්වය කරා පැමිණි ගමන් මග ඇය බීබීසී සිංහල සේවයට විස්තර කළා ය.

1989දී ශ්‍රී ලංකා බාස්කට් බෝල් කණ්ඩායමේ නායිකාව වූ ඇය දැල් පන්දු කණ්ඩායම ද නියෝජනය කිරීමේ වරම් ලද අතර ක්‍රීඩාව තුළින් ලද අත්දැකීම් ව්‍යාපාර පරිපාලනයේ ඉහළට යාමට උපකාරී වූ බව ඇය කියා සිටින්නීය.

 

වෘත්තීය සාර්ථකත්වයේ රහස

Kasthuri Wilsonකස්තුරි චෙල්ලරාජා විල්සන්

"අපි ක්‍රීඩා කරනකොට ටීම් එක දිනන්න නම්, කණ්ඩායමේ ඉන්න විවිධ දක්ෂතා තියෙන අය එක ලෙස කැපවෙලා සෙල්ලම් කරන්න ඕනා. ටීම් එක කල්ලි වලට කැඩෙන්න දෙන්න බෑ. ඒ වගේම මානසික තත්වය ඉතා ඉහළ මට්ටමින් පවත්වා ගන්න වෙනවා. එක මැච් එකක් පැරදුනොත්, අපි පහුවෙනිදා ඒ සියල්ල අමතක කරලා අලුත් ජවයකින් ඊට මුහුණ දෙනවා. ඒ අත්දැකීම තමයි මගේ වෘත්තීය සාර්ථකත්වයේ රහස," යනුවෙන් කස්තුරි චෙල්ලරාජා විල්සන් කියා සිටියාය.

ඇය පවසන පරිදි නායකයා සාර්ථක වීමට නම් ඔහු පළමුව කළ යුත්තේ සිය කණ්ඩායම දිනවීමට ක්‍රියා කිරීමයි.

"හැමෝම අහනවා මම මොනවද කළේ කියලා. මං ගොඩක් කරලා නෑ. ටීම් එක තමයි කරලා තියෙන්නේ. ක්‍රෙඩිට් එක එන්නේ බොස්ට තමයි ඉතිං," යනුවෙන් කස්තුරි සිනහ මුසු මුහුණින් පැවසුවාය.

ඇගේ මවුපියන් යාපනයේ උපත ලබා ඇති අතර පසුව ඔවුන් කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයට පදිංචිය සදහා පැමිණ ඇත.

බම්බලපිටිය ශුද්ධ වූ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලද ඇය ට සහෝදරියක් ද සිටී.

"අපි ඉගන ගත්තේ දෙමළ මාධ්‍ය පංතියේ ළමයි 40ක් හිටියා. 83 කලබල කාලේ ඒ අය එක්කෝ යාපනයට ගියා, නැතිනම් කැනඩාව වගේ රටවලට ගියා. පංතියේ ඉතිරි වුණේ මමයි තව එක ළමයයි. එයා බයෝ තෝරාගත්තා. මම මැත්ස් තෝරා ගත්තා. ප්‍රින්සිපල් කිවුවා කස්තුරි ඔයා විතරක් හිටියත් අපි උගන්වනවා. ටීච ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔයාට උගන්වයි කියලා," යනුවෙන් ඇය අතීතය සිහිපත් කළා ය.

ඇය එවක ජීවත් වූයේ සිංහල දරුවන් සමගය. එබැවින් පුංචි සන්ධියේ පටන් ඉතා හොඳින් සිංහල කතා කරන්නට ඇයට හැකි විය.

තමන් ඉදිරියේදී කරන රැකියාවන් ගැන කුඩා දරුවෝ නිතර කතා කරති. ඇතැමුන් වෛද්‍යවරියන්, ගුරුවරු වෙන බව පවසති. එහෙත් කස්තුරිට එවැනි ඉලක්කයක් තිබුණේ නැත.

Kasthuri in schoolකස්තුරි චෙල්ලරාජා විල්සන් පාසල් වියේ දී

"අනිත් ළමයි ලොකු වුණාම කරන දේ කියන නිසා මම කිසිම ඉලක්කයක් නැතුව කිවුවා ඉංජිනේරුවරියක් වෙන්න කියලා. මම ගණිතයට දක්ෂ නිසා උසස් පෙළට ගණිතය කරලා කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා. යන්න වුණේ ෆිසිකල්. මගේ ලෝකය තිබුණේ ඉස්කෝලේ පංති කාමරයෙන් එළියේ," යැයි කස්තුරි පැවසුවා ය.

ඇය පාසලේ ඉතා දක්ෂ ක්‍රීඩිකාවකි.

 

එක් දිනකට සීමා වූ සරසවි ගමන:

මොරටුව විශ්වවිද්‍යාලට ඇතුළත් වූ සිය සොයුරිය නවක වදයේ අමිහිරි අත්දැකීම් නිසා කස්තුරි තුළ ද විශ්වවිද්‍යාලය කෙරෙහි පැවතියේ අඳුරු චිත්‍රයකි. රාත්‍රී 12 වනතෙක් පමණ සිය සොයුරිය රදවාගෙන නවකවදය ලබා දී තිබු ආකාරයත්, රාත්‍රියේ ඇය නිවසට කැඳවාගෙන පැමිණි පසු දින කිහිපයක් යනතුරු කාමරයෙන් හෝ එළියට නොපැමිණ සරසවි ගමන ප්‍රතික්ෂේප කළ ආකාරයත් සිහිපත් කළ කස්තුරි තමාට ද නවකවදය ලබා දීම සඳහා සූදානම් වූ පළමු දිනයේම සරසවි ගමන අතහැර නිවසට පැමිණි ආකාරය විස්තර කළාය.

"මම ජිවිතයේ බාධකයකදී අඩියක් පස්සට තිබ්බනම් තිබ්බේ එතැනදී විතරයි. ඊට පසුව මම විගණන අභ්‍යාසලාබියෙකු ලෙස රැකියාවකට ගියා. මම සාමාන්‍ය පෙළටවත් එකවුන්ට්ස් කරපු නැති කෙනෙක්. ඉතිං ඔඩිට් ට්‍රේනින් කොහොම කරන්න ද මට මෙලෝ දෙයක් තේරුණේ නෑ," යනුවෙන් ඇය පැවසුවාය.

මේ අතර තුර කස්තුරි ශ්‍රී ලංකා බාස්කට් බෝල් කණ්ඩායමේ සහ දැල් පන්දු කණ්ඩායමේ සාමාජිකාවක ලෙස ක්‍රීඩා කටයුතු වලද නිරත වූවාය.

"අවුරුදු හතරේදී තාත්තා රැකියාව කරන එක නතර කළා. අපිට උගන්වන්න, මට ක්‍රීඩා තරග වලට රට යන්න සල්ලි හොයලා දෙන්න අම්මා පුදුම දුකක් වින්දා. එයා මොනවා හරි උකස් කරලා හරි මට සල්ලි හොයලා දුන්නා," යනුවෙන් ඇය සිහිපත් කළේ මව ගැන හද පතුලෙන් නැගෙන නොනිමි ආදරයෙනි.

 

අම්මා කියාදුන් ජීවිත පාඩම:

බොහෝ ගැහැණු දරුවන් ගෙදරදොරේ වැඩ කටයුතු කරමින් මුළුතැන්ගෙයි කටයුතු වලට සිමා වන පසුබිමක කස්තුරිගේ මව ඇයට නොපෙනෙන ලොවකට මග පෙන්වූවාය. එනම් මොන ක්‍රීඩා කළත් කිසි ලෙසකින් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමේ ඉලක්කය අත් නොහරින ලෙසිනි.

එබැවින් ජාතික කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර රාත්‍රී කාලයේදී පංති වලට සහභාගි වී ඇය විගණන නිලධාරිනියක වීමේ වෘත්තීය සුදුසුකම් සපුරන ලදී. එවිට කස්තුරිගේ වයස අවුරුදු 22කි.

ඒ වන විට විවාහ දිවියට ඇතුළත් වන ඇය පළමු දරු පිළිසිඳ ගැනීම දැනගත් පසු සිය කාර්යාලයේ ප්‍රධානියා හමුවී රැකියාවෙන් ඉවත් වීමේ තීරණය දැනුම් දුන්නාය.

"මට ඕනා වුණේ ඉතා සතුටුදායක පවුල් ජිවිතයක් ගත කරන්න. දරුවන්ගේ වැඩ වලට කාලය අවශ්‍ය නිසා තමයි මම ඒ අවස්ථාවේ රැකියාවෙන් ඉවත් වෙන්න තීරණය කළේ. නමුත් මට ප්‍රධානියා කිවුවා රැකියාවෙන් සම්පුර්ණයෙන් ඉවත් නොවී පාට් ටයිම් හරි වැඩ කළොත් හොඳයි කියලා. මම අදටත් වැඩ කරන හැම තැනකටම කියලා තියෙන්නේ මට දරුවන්ගේ වැඩක් යෙදුනොත් ඒ සඳහා අනිවාර්යයෙන්ම යන්න වෙනවා. ඊට පස්සේ රෑ හරි ඔෆිස් එකට ඇවිත් ඉතුරු වැඩ ටික ඉවර කරන්නම් කියලා," යනුවෙන් කස්තුරි පවසන්නීය.

Kasthuri 2කස්තුරි චෙල්ලරාජා විල්සන්

 

දරු දෙදෙනා සමග අලුත් ගමනක්:

අවුරුදු 29ක යෞවනියකව සිටියදී සැමියාගෙන් වෙන්ව සිය පුතුන් දෙදෙනා සමග මවුපියන්ගේ නිවසට පැමිණීමට ඇයට සිදුවිය. ඒ මොහොතේදී රැකියාවක් කිරීමේ අවශ්‍යතාවය ඇයට වැඩියෙන් දැනුණේ දරු දෙදෙනා සහ මව රැකබලා ගැනීමේ අභියෝගය ද ඇගේ උර මත වැටුණු බැවිනි.


"ඒක ඉතාම දුෂ්කර කාලයක්. මම ඇඬුව වාර අනන්තයි. ඒත් මම අධිෂ්ඨාන කර ගත්තේ මට එන අභියෝග වලට මම අභියෝගයක් වෙලා ධෛර්යසම්පන්නව ජීවිතයේ නැගී ඉන්නවා කියලා. දික්කසාදය කියන එක දිහා අපේ සමාජය බලන්නේ අමුතු ඇහැකින්. ඒ සමාජ පීඩනය මට වගේම මගේ දරුවන්ටත් දැනුනා," යනුවෙන් ඇය කියා සිටියේ ඒ සඳහා නිදසුනක් ද සපයමිනි.

"මට ඉන්නේ පිරිමි ළමයි දෙන්නෙක්. පිරිමි ළමයි කොහොමත් දඟයි තමයි. ඒත් සමහර මිනිස්සු කිවුවේ මේ ඩිවෝස් වෙච්ච කෙනෙක්ගේ දරුවොනේ. ඒකයි මේ තරම් දඟ කියලා. දවසක් මගේ ලොකු පුතා ඇහුවා ඇයි අම්මේ මිනිස්සු එහෙම කියන්නේ කියලා," යනුවෙන් ඇය වැඩිදුරටත් මෙලෙස සඳහන් කළාය.

"පාටියකට ගියහම අහනවා 'ඔයා මිස් විල්සන් ද මිසිස් විල්සන් ද' කියලා. මම මිසිස් විල්සන් කියලා ඒ අවස්ථා මග හරිනවා. අවසානයේදී මම තීරණය කළා සමාජය මොනවා කිවුවත් මම මේකට මුහුණ දෙනවා කියලා. ඒ තත්වයට පත්වුණු අනික් කාන්තාවන්ටත් මට කියන්න තියෙන්නේ මිනිස්සු මොනවා කිවුවත් ඒ ගැන කම්පා නොවී ඔබ ඔබේ ගමන යන්න කියන එකයි."

 

ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් 12 දෙනා අතර:

පාර්ලිමේන්තුව විසින් 2019 වසරේදී ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් 12 දෙනෙකු තෝරා ඔවුන් ඇගයීමට ලක් කළ අතර ඊට කස්තුරි චෙල්ලරාජා විල්සන් ද ඇතුළත් විය.

හිටපු කතානායක කරු ජයසුරියගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු 27 දින පැවති උත්සවයකදී එම ඇගයීම සිදුවූ අතර ඒ සඳහා තෝරා ගැණුනු කස්තුරි ඇතුළු 12 දෙනාගේ ආලේඛ්‍ය චිත්‍ර පාර්ලිමේන්තුවේ බිම් මහලේ පිහිටි මහජන පිළිගැනීමේ ප්‍රවේශ මාර්ගයේදී නිරාවරණය කොට 2019 අප්‍රියල් 05 වැනිදා තෙක් මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.

මීට අමතරව ඇය වෘත්තීය මට්ටමින් බොහෝ ඇගයීම් වලට ලක්ව ඇත.

 

(ෂර්ලි උපුල් කුමාර - BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්