කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් තිබුණු කැබිනට් අමාත්‍යංශය කප්පාදු කර ඇතැයි 'සමගි තරුණ බලවේගයේ' ප්රචාරක ලේකම් රසික ජයකොඩි පවසයි.
ඔහු එබව සඳහන් කළේ 'සමගි ජන බලවේගය' අද (14 ) සංවිධානය කර තිබු ප්රවෘත්ති සාකච්ඡාවේ දීය. එහිදී ඔහු මෙසේද පැවසිය.
"අවුරුදු 23ක් තිස්සේ මේ රටේ බලයට පත් වුණු හැම ආණ්ඩුවක් ම මේ රටේ සියයට 52ක් වුණු කාන්තාවන් වෙනුවෙන් ජනගහණයෙන් හතරෙන් එකක් වුණු දරුවන් වෙනුවෙන් අමාත්‍යංශයක් වෙන් කළා.
මැටි බඩු වල ඉඳන්, බතික් වල ඉඳන් කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි දක්වා ඇමතිකම් වෙන් කරපු මේ ආණ්ඩුව කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වෙන් කරලා තිබුණු කැබිනට් අමාත්‍යංශය කප්පාදු කරලා.
ඕනෙම රටක ශිෂ්ටත්වය මනින්නේ ඒ රටේ කාන්තාවන්ට දරුවන්ට කොහොමද සළකන්නෙ කියන කාරණය උඩ...
ජනාධිපතිතුමනි, අගමැතිතුමනි - අපිට කියන්න තියෙන්නෙ 'ලැජ්ජයි' කියලා විතරයි!"
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ???
පසුගිය 09 වැනිදා කැබිනට් මණ්ඩල සංයුතිය හා අමාත්‍යංශවල කාර්ය භාරයන් දක්වමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණ.
සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියට ගෙනයෑම සඳහා 28 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් සහ 40 දෙනෙකුගෙන් යුත් රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පත්කිරීමට යෝජිත බව ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් විය.
එහි සුවිශේෂත්වයක් වන්නේ මෙතෙක් කල් කාන්තා හා ළමා කටයුතු ලෙස වෙන්ව පැවති අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන තිබීමයි.
ඒ යටතේ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා ලෙස ලෙස කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා ඇති අතර එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අගෝස්තු 12 දා දිව්රුම් දෙනු ලැබුවේ පියල් නිශාන්ත ද සිල්වාය.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා
කාන්තා හා ළමා කටයුතු සඳහා වෙනම අමාත්‍යංශයක් සහ එම විෂය පමණක් බාර අමාත්‍යවරියක් නොමැති වීමත් විවේචනයට ලක්වෙමින් තිබේ.
මෙය එක් අතෙකින් කාන්තාවන් හා දරුවන් අත්දකින හිංසනයේම දිගුවක් බවත් ජාතික ආරක්ෂාව ප්රමුඛ කොට සලකන රජයක් යටතේ දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් නොමැති වීම ගැටලුකාරී බවත් කාන්තා හා ළමා හිංසනය ඉහළ යන තත්ත්වයක් යටතේ එම විෂය වෙනම අමාත්‍යංශයක් ලෙස පැවතිය යුතු බවත් කාන්තා ක්‍රියාකාරිනියන් සහ ඇතැම් විද්වතුත්ගේ අදහස වී තිබේ.
මේ අතර පසුගිය 12වැනිදා දිවුරුම් දුන් 28ක් වන කැබිනට් මණ්ඩලයේ ඇත්තේ එකම කාන්තා නියෝජනයක් පමණි. රාජ්‍ය ආමාත්‍ය ධුර 40ක් අතර ඇත්තේ කාන්තා නියෝජන දෙකක් පමණි.
බලාපොරොත්තුව :
තත්ත්වය මෙසේ හෙයින් දැන් ඇත්තේ බලාපොරොත්තුවක් පමණක් බව ඒ සම්බන්ධයෙන් සටහනක් පළකර ඇති 'සමබිම' පුවත්පතේ මාධ්‍යවේදිනී ජයනි අබේසේකර පවසන්නීය. ඇය තවදුරටත් මෙසේද කියා සිටියි.
''දේශපාලනයේ කාන්තා නියෝජනය සහ සහභාගිත්වය වැඩි කිරීමේ අවශ්‍යතාව මෙරට දේශපාලන පක්ෂ බරපතළ ලෙස නොසලකා ඇත. සංඛ්‍යාත්මකව කාන්තා නියෝජිතයන් වැඩිවීමෙන් සියලු ප්‍රශ්න විසදෙන්නේ නැති බව සැබැය. කාන්තාවගේ සැබෑ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ කාන්තාවන් කොතරම් දුරට උත්සාහ කර තිබේද යන්නත් ප්රශ්නයකි.
එහෙත් රටෙන් අඩකට වැඩි කාන්තාවන් නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තුව තුළ හඬක් නැගීමට වරම් ලබන කාන්තාවන් 12 දෙනා පවත්නා දේශපාලන සංස්කෘතියේ කිසියම් ම හෝ සාධනීය වෙනසක් ඇති කිරීමට මැදිහත් වනු ඇතැයි අපි බලාපොරොත්තු සහගත වෙමු.''