අලුතින් ස්ථාපිත කර ඇති රාජ්‍ය අමාත්‍යාංශ සඳහා යොදා ඇති නම් ඇතැමුන්ගේ හාස්‍යයට ලක්ව ඇතත්,

එම නාමකරණ පීඩිත කුලවලට අයත් ජනතාව අතර පිබිදීමක් ඇති කිරීමට හේතුවිය හැකියයි 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර ඇත. 

''මේ ඇමතිකම්වලින් ඒ අයගේ ආර්ථික අවස්ථාවන් දියුණු කරන්න පුලුවන් උනොත්, ලොකු වෙනසක් ඇතිකරන්න පුලුවන්'' යයි අවධාරණය කරන 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කතුවරයා, ඔහුගේ FB සටහනේ මෙසේ සඳහන් කර තිබේ.

''මේකෙ හොඳ පැත්තකුත් තියෙනව''

''කැබිනට් එක පත් කිරීම හාස්‍යයට ලක්වෙන පෝස්ට්ස් ගොඩක් තියෙනව. සමහර ඒව ඇත්තටම හිනායනව තමා. ඒත් මේකෙ හොඳ පැත්තකුත් තියෙනව.

උදාහරණයට මැටි, ස්වර්ණාභරණ, වේවැල්, පිත්තල, ග්‍රාමීය කලා ශිල්පීන් ප්‍රවර්ධන කටයුතු වගේ ඇමතිකම්. මොකද මේ සමහර නිශ්පාදන සාම්ප්‍රදායිකව  කරන්නෙ ලංකාවෙ කුල ධූරාවලියෙ පහලම තියෙන ඔය කියන පීඩිත කුලවලට අයත් අය. ඒ අය හිතන්න ගන්නව අපිටත් ඇමතිකෙනෙක් ඉන්නව කියල. ඒක ඒ අය අතර පිබිදීමක් ඇතිකරන්න හේතු වෙන්න පුලුවන් හරියට වැඩ කරොත්.

අනූ ගනන්වල අවසාන කාලෙ බීබීසි එකෙන් ලංකාවෙ කුල ක්‍රමය, විශේෂයන්ම පීඩාවට පත්වෙච්ච අය ගැන වැඩ සටහන් මාලාවක් කරා, නන්දන වීරරත්න තමා ප්‍රොඩියුසර්. මම තමා ගොඩක් ෆීල්ඩ්වර්ක් කරල ඒ අයව ඉන්ටර්වීව් කරේ. 

මම ගියා කඩුවෙල පාලමෙන් එහා පැත්තෙ තියෙන කුඹල් ගමකට. ඒ බියගම. මේක අමාරු වැඩක්. එක පාරට කුල ප්‍රශ්ණ ගැන කතාකරන්න බැහැ, පැය ගානක් යනව සබ්ජෙක්ට් එකට එන්න. මොකද කුල පීඩනයක් තිබ්බත් ඒ අය ඒක කතා කරන්න කැමති නැහැ.

ඉතිං මම දැන් කිසි කෙනෙක්ව හඳුන්නෙ නැති ඒ ගමට ගිහින්, ඒ පැත්තෙ ඉන්න ලොකුම මැටි නිශ්පාදකය වෙච්ච රුද්‍රිගෝ මහත්මයගෙ ගෙදරට ගියා. ගිහින් එතුමට කිව්ව, මම මේ බීබීසි එකට වැඩ සටහනක් කරනව. මට ඕනෙ මැටි කර්මාන්තය අද මුහුණ දීල තියෙන ප්‍රශ්ණ ගැන කතා කරන්න ඕනෙ කියල. එතුම එක පයින්ම කැමති උනා වැඩේට. 

දැන් එයා මේ ප්ලාස්ටික් ආවට පස්සෙ විශේෂයෙන්ම විවෘත ආර්ථිකයත් එක්ක ඒ කර්මාන්තය මුහුණ දීල තියෙන ගැටලු ගැන හොඳට විස්තර කරනව. සෑහෙන වෙලාවක් ගියහම මම කිව්ව, දැන් මේ කර්මාන්තය ආදි කාලෙ කරේ කුඹල් වංශයට අයත් අය. අද කොහොමද තත්තවය කියල. මම එයාගෙ කුලය ඇහැව්වෙ නැහැ. එයා කිව්ව අදටත් එහෙම තමා කියල ඔය මහා පරිමාණයෙන් කරන කර්මාන්ත ශාල හැරුණම කියල. 

මම ඇහැව්ව ඉතිං කුලය නිසා අවමානයට පත්වෙන අවස්ථා තියෙනවද කියල. එයා කිව්ව ආදි කාලෙ නම් එහෙම තිබ්බ, ඒත් අද කාලෙ එහෙම නැහැ කියල.

Gadol

 

එක පාරටම චූටි කටහඬක් ...

එතකොට එක පාරටම චූටි කටහඬක් කඩා පැනපි සාකච්ඡාවට. ඒ ඉස්කෝලෙ හතරෙ පන්තියෙ ඉඟෙන ගන්න රුද්‍රිගු මහත්මයාගෙ මිණිපිරිය. ඇය කිව්ව "මොකද නැත්තෙ සීයෙ, මට පන්තියෙ බඩහැලී කියල කියනව" කියල. සීයට කට උත්තර නැහැ. මම ඇහැව්ව රුද්‍රිගුගෙන් මට මිණිපිරිය එක්ක කතා කරන්න පුලුවන් ද කියල. එයා කිව්ව හා කියල. 

අපේ මුලු කතාවම උසට ගොඩ ගහල තිබ්බ ලෑලි ගොඩක් උඩ ඉඳන් අහගෙන ඉඳල තියෙන්නෙ පොඩි කෙල්ල. මම ඇහැව්ව ඉතිං විස්තර, ඉස්කෝලෙදි කරන අපහාස ඔක්කොම කිව්ව. මම ඇහැව්ව ටීචර්ට කිව්වෙ නැද්ද කියල. කිව්වලු, එතකොට ටීචර් කිව්වලු "ඉතිං ඇත්තනෙ, ඕගොල්ල බඩහැලනෙ" කියල. 

ඊට පස්සෙ සීයත් ආදි කාලෙ ප්‍රශ්ණවල ඉඳල වර්තමානයේ තියෙන කුල පීඩනය ගැනත් ටික ටික කියන්න ගත්ත. නන්දන සීයගෙයි මිණිපිරීගෙයි වොයිස් නියමෙට මික්ස් කරල මාර වැඩ සටහන් කරා. 

ඔය ස්වාර්ණාභරන හදන වේවැල්, පිත්තල වැඩ කරන අයටත් ඔය ප්‍රශ්ණම තියෙනව. ඉතිං මම කියන්නෙ මේ ඇමතිකම්වලින් ඒ අයගේ ආර්ථික අවස්ථාවන් දියුණු කරන්න පුලුවන් උනොත්, ලොකු වෙනසක් ඇතිකරන්න පුලුවන් කියන එක.

 

ජනාධිපති කියන කතාව :

Lead 1

'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කතුවරයා එලෙස සුබවාදීව රාජ්‍ය ඇමති නාමකාරය ගැන විග්‍රහ කරද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පවසන්නේ, විෂය කාර්යයන් නිශ්චිතව දක්වා ඇත්තේ ඒවාට සම්බන්ධ ප්‍රජාවට ද අමාත්‍යංශය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් බවත්, එම අමාත්‍යංශවලින් බොහෝ නිර්මාණාත්මක කාර්යයන් ඉටු කළ හැකි බවත් ය.

ජනාධිපතිවරයා ඒ බව මැති ඇමැතිවරුන් පිරිසකට දැනුම් දී ඇතැයි විමල් විරවංශ අමාත්‍යවරයාගේ ජාතික නිදහස් පෙරමුණේ මෙහෙයවීම මත පවත්වාගෙන යන Lanka Lead News පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ලැබුණ මැති ඇමැති තනතුරු ගැන අසතුටට පත් අමාත්‍යවරුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලිකවම දුරකථනයෙන් අමතා එලෙස ඔවුන්ගේ විෂය කාර්යයන්හි වැදගත්කම අවබෝධ කර දී ඇතැයි එම වෙබ් අඩවියේ සඳහන් වේ.

දයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්ත, රංජිත් සියඹලාපිටිය, විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඇතුළු කිහිපදෙනකුට ජනාධිපතිවරයා මෙලෙස දුරකථන ඇමතුම් ලබාදුන් බව ද Lanka Lead News වාර්තා කරයි.

කෙසේවුවද ඇතැම් සමාජ මාධ්‍ය වල පොස්ටු හරහා රාජ්‍ය අමාත්‍යංශ නාමකරණය බරපතල ලෙස හාස්‍යයට  ලක්කර ඇත.

මේ එවැනි පොස්ටු කිහිපයකි.

Uvindu Fb post

Cartoon Shanika

 

 

'ඇමතිකම්වල නම්වලට අද විහිළු කරනවා'.- මහින්දානන්ද

මෙවැනි සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කලේ, පත් කර ඇති ඇමති මණ්ඩලයේ නාමයන් සමාජ මාධ්‍ය විසින් විහිළුවට ගෙන ඇති බවත් එය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත්ය. 

සිය අමාත්‍යාංශයේ දී ඊයේ (14)  පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු එබව පැවසිය.

දේශීය ආර්ථිකය නගාසිටුවීම සඳහා මෙම ඇමැති මණ්ඩලය පත් කර ඇති බවත් එය විහිළුවට ගෙන ඇත්තේ විපක්‍ෂයට හිතවාදී පිරිස් විසින් බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ඔවුන් සියලු දෙනා සිටින්නේ විදේශීය ගැති ආර්ථික ප්‍රතිපත්තියක බවත් එනිසා ඔවුන්ට මෙය තේරුම් ගැනීමට අපහසු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

අමාත්‍යංශයේ නමට 'ලෙටර් හෙඩ්' එකේ තුනෙන් එකක් !

කෙසේවුවද ඇතැම් අමාත්‍යංශ නිලධාරීන් පවසන්නේ රාජ්‍ය අමාත්‍යංශවල ලිපි ශිර්ෂ සැකසීමේදී අමාත්‍යංශයේ නාමය සිංහල, දෙමල හා ඉංග්‍රීසි භාෂා වලින් මුද්‍රණය කිරීමේදී ඒ සඳහා ලිපි ශීර්ෂයේ තුනෙන් එකක ප්‍රමාණයක ඉඩක් වෙන්කිරීමට සිදුව ඇති බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්