ගුවන් හමුදා බෝම්බ ප්‍රහාරයෙන් සමුලඝාතනය කරන ලද දෙමළ පාසල් දැරියන්ගේ අනුස්මරණයක් රජයේ ආරක්ෂක අංශ වලින්

කරන ලද බාධා නොතකා පැවැත්වීමට සංවිධායකයන් සහ ඥාතීන් සමත් වී තිබේ.

පොලිසිය විසින් සමරුවට බාධා කිරීමට හේතුවක් ලෙස දක්වා තිබුනේ එය සංවිධානය කළ දෙමළ ජාතික පක්ෂයේ නායක එම්. කේ සිවාජිලිංගම් මැතිවරණයට සහභාගිවුවකු වීමයි.

“ඡන්දය ඉල්ලුවයි කියලා අපේ නෑදෑයකුගේ මරණ ගෙදර යන එක තහනම් කරන්න පුලුවන්දැ” යි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවාජිලිංගම් ඊට අභියෝග කරමින් ප්‍රශ්න කර තිබුණි.

ආපදාවන්ට මුහුණ දීම සහ ප්‍රථමාධාර ලබාදීම පිළිබඳව සිසුවියන් සඳහා වූ වැඩ මුළුවක් මුලතිව් දිස්ත්‍රික්කයේ වල්ලිපුනම් හි සෙන්චෝලේ අනාථ නිවාසයේ පැවැත්වෙද්දී  2006 අගෝස්තු 14 දා හෙලන සුපර්සොනික් ප්‍රහාරක යානා බෝම්බ වැලකින් වයස අවුරුදු 16ත් 18ත් අතර දැරියන් පනහක් ඇතුළු හැට එක් දෙනකු මරුමුවට පත් විය. එකසිය පනහකට වැඩි පිරිසක් බරපතල ලෙස තුවාල ලැබූහ. ඇතැමෙක් සදාකාලයටම ආබාධිත වූහ.

Jaffna school girls Murder ''2006 අගෝස්තු 14 දා හෙලන සුපර්සොනික් ප්‍රහාරක යානා බෝම්බ වැලකින්
වයස අවුරුදු 16ත් 18ත් අතර දැරියන් පනහක් ඇතුළු හැට එක් දෙනකු මරුමුවට පත් විය.
එකසිය පනහකට වැඩි පිරිසක් බරපතල ලෙස තුවාල ලැබූහ. ඇතැමෙක් සදාකාලයටම ආබාධිත වූහ.''

එම ඛේදවාචකයට ගොදූරු වුවන් සමරා මුලතිව් දිස්ත්‍රික්කයේ වල්ලිපුනම් මංසන්ධියේ ඉදිකර ඇති ආරුක්කුව අබියස පුෂ්පදීප උපහාරයක් පවත්වන්නට සුදානම් වෙද්දී පුදුකුඩිඉරිප්පු පොලිසියේ ඉහල නිලධාරියකු පැමිණ  හිටපු මන්ත්‍රීවරයාට ප්‍රකාශ කළේ එය නවත්වන්නට “ඉහලින් අණක්” ලැබුණු බවයි.

සමරුව මැතිවරණ කාලය තුල පැවැත්වෙන්නක් බවට චෝදනා කරමින් එය අත්හිටුවන්නට ඉල්ලා සිටිමින්ම ඔහු කියා සිටියේ ආසන්නයේ පිහිටි හමුදා කඳවුරක් අසල සමරුව පවත්වන්නේ නම් තමන්ද ඊට සහාය දෙන බවයි.

මැතිවරණය හා සමරුව අතර කිසිදු සම්බන්ධයක් නැති බව පොලිස් නිලධාරියාට කියා සිටි දෙමළ ජාතික පක්ෂයේ නායක එම් කේ සිවාජිලිංගම් තමන් නීති විරෝධී කටයුත්තක් කරන්නේ නම් අත් අඩංගුවට ගන්නා ලෙස යෝජනා කරමින් සැලසුම් කර තිබූ පරිදිම ඥාතීන්ගේද සහභාගිත්වයෙන් අනුස්මරණය පවත්වාගෙන ගියේය.

“අපි ආවේ අපේ දරුවන් සිහිපත් කරලා පහන් පත්තු කරන්න. අපි ඔහෙලගෙන් වෙන ඉඩකඩම් වස්තුව ඉල්ලන්න ආවේ නෑ,” යි එක් මාතාවක් හැඟුම්බරව කියා සිටියේ දැල්වෙන සමරු දීපයට කපුරු එකතු කරමිනි.

අනුස්මරණ භූමිය අසලින් ඉවත්ව යමින් කිසිවකුට “සර්” යයි දුරකතනයෙන් ඇමතූ පොලිස් නිලධාරියා සහභාගී වී සිටි ඥාතීන් ඇතුළු පිරිස හඳුන්වා දුන්නේ “සිවාජිලිංගම්ගේ ගෝල බාලයන් හතර පස් දෙනෙක්” ලෙසිනි.

ගුවන් හමුදා ප්‍රහාරයෙන් ඝාතනය කෙරුණු හැට එක් දෙනාගේ සමරුව පැවැත්වෙද්දී සන්නද්ධ යුද හමුදා භටයන් පාපැදිවල නැගී අවට සැරිසරනු මාධ්‍යවේදීන්ට දැකගන්නට ලැබී තිබේ.

වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටියදී ජනාධිපතිව සිටි වර්තමාන අගමැතිවරයාගේ ආණ්ඩුව විසින් සෙන්චෝලේ ගුවන් ප්‍රහාරය යුක්ති සහගත කරමින් පවසා තිබුනේ එම ස්ථානය එල්ටීටීඊ පුහුණු කඳවුරක් බවයි.

එසේවෙතත්, ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු උතුරේ රාජකාරියේ යෙදී සිටි සහන සේවා ගණනාවක් විසින් තහවුරු කරන ලද පරිදි සෙන්චෝලේ අනාථ නිවාසය කිසිදු යුද පුහුණු ආයතනයක් නොවේ.

''ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු උතුරේ රාජකාරියේ යෙදී සිටි සහන සේවා ගණනාවක් විසින් තහවුරු කරන ලද පරිදි සෙන්චෝලේ අනාථ නිවාසය කිසිදු යුද පුහුණු ආයතනයක් නොවේ.''

සටන් විරාම නිරීක්ෂණ කමිටු ප්‍රධානී උල්ෆ් හෙන්රික්සන් ප්‍රකාශ කර තිබුනේ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එතැනට ගිය තම නිරීක්ෂකයන්ට දැක ඇති පරිදි ප්‍රහාරයට ලක්වී ඇති ස්ථානයේ කිසිදු හමුදා ස්ථාපනයක් හෝ ආයුධ තිබූ බවට සාක්ෂියක් නැත.

“මේ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්ව ඇත්තේ අහිංසක දරුවන් යැ,” යි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ  (UNICEF) විධායක අධ්‍යක්ෂිකා ඈන් මාග්‍රට් වෙනෙමන් කියා තිබුණි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්