බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවශ්‍ය නම් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන එය සිදුකළ හැකි බවත් ගෝඨාභය රාජපක්ෂ ද කටයුතු කළේ ඒ ආකාරයෙන් බවත් ජාතික නිදහස්

පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ අවධාරණය කර සිටියි.

"19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු කරපු පටළැවිල්ල වර්තමානයට අදාළව රටේ ජනපති සහ අගමැති කියන තනතුරු දෙකම දරන්නේ සහෝදරයෝ දෙන්නෙක් වීම නිසා ඒ ව්‍යවස්ථාවෙ අන්තර්ගත පටළැවිල්ල තිබුණට ප්‍රායෝගිකව ඒක පටළැවෙන්නෙ නැති විදියට ඕනෙ නම් යන්න පුළුවන්කම තියෙනවා. '' යයි අමාත්‍ය විමල් විරවංශ පවසයි.

අමාත්‍ය විමල් විරවංශ මෙසේ බැසිල් රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් ප්‍රකාශයක් සිදුකර ඇත්තේ, 19 ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවය කොන්දේසිය ඉවත් කිරීමට විපක්ෂයේ ඇතැමුන් ද මේවනවිට එකඟතාවය පළකර ඇති මොහොතකය. 
 

20 ගේන්නේ බැසිල් පාර්ලිමේන්තු ගේන්නද?  මද්දුම බණ්ඩාර අසයි

මේ අතර පෙරේදා (31දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සමගි ජන බලවේගය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුයේ, ආණ්ඩුව 20 වැනි ආණ්ඩුක්‍රම  සංශෝධනය ගෙන එන්නේ රටේ ජනතාව වෙනුවෙන් නොව පුද්ගලයින් කිහිප දෙනකුට තනතුරු දීම සඳහා බවයි.

20 වැනි සංශෝධනයේ අරමුණ වී ඇත්තේ ද්විත්ව පුරවැසිභාවය ඇති අයකු මෙරට පාර්ලිමේන්තුවට ගෙනැවිත් අගමැති ධුරය ලබා දීමට යැයි පැවසූ හෙතෙම, බැසිල් රාජපක්ෂ නැවත පාර්ලිමේන්තු ගෙන ඒමට හෝ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තනතුරු නිර්මාණය කිරීම වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නේ දැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය. 

මෙසේ විමල් විරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ පාර්ශව වලින් මෙන්ම, විපක්ෂයෙන් ද මතුකරමින් සිටින 19 සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවයට අදාල වගන්තිය ඉවත්කරන්නේ ද නැද්ද යන තීන්දුව අද (02) පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තින්දුවනු ඇත. 

 19 වෙනස් කරන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

ali sabry                   අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කෙරෙන වෙනස්කම් ඇතුළත් 20 වන සංශෝධනය අද (02) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරු 04.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. වී. කේ. මායාදුන්න විසින් යෝජිත කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කළ බවද අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ ය.

මහාචාර්ය ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, අලි සබ්රි සහ උදය ගම්මන්පිල යන පස්දෙනකුගෙන් යුත් කැබිනට් අනුකමිටුව විසින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර ඇත.

19 කොටස් කිහිපයක් එලෙසින්ම ....

ඊයේ නීතිපතිවරයාට යොමු කළ කෙටුම්පතේ අන්තර්ගත තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු කොටස් කිහිපයක් රඳවා ගැනීමට බලාපොරොත්තු වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී එය කෙටුම්පත් කිරීම වෙනුවෙන් විද්වත් මණ්ඩලයක් තෝරා පත්කර ගැනීම අධිකරණ ඇමැති අලි සබ්රිට කැබිනට් මණ්ඩලය විසින් පවරා ඇතැයි ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.

ඉකුත් මහ මැතිවරණයේදී ජනතාව තමනට තුනෙන් දෙකක පැහැදිලි බලයක් ලබාදී ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම වෙනුවෙන් බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්