පොලිසිය හා කසිප්පු අතර තිබෙන්නේ අත්‍යන්ත බැදීමකි.

නිකං බැදීමක් නොව සංසාරගත බැදීමකි.

කසිප්පු පෙරන තැන්, කසිප්පු පෙරන්නන්, බඩු හංගා ඇති තැන්, විකුණන තැන් ආදී සියල්ලම පොලීසිය දනී.

එහෙත් නොපනී.

පොලීසිය කසිප්පු වටලන්නේ නඩු නැති වූ විටය.

එයත් කලින් දැනුම් දීමෙන් පසුවය.

කසිප්පු අරභයා අපේ පොලීසිය වැඩ කරන්නේ ඒ තරම් විනීත හා ආචාරශීලී අන්දමටය.

අරක්කු, විස්කි, බ්‍රැන්ඩිවලට විවිධ නම් ඇතුවා සේ කසිප්පුවලටත් විවිධ නම් ඇත.

ඒවා පළාතෙන් පළාතට වෙනස් වේ.

කසිප්පු නම් වල විශේෂත්වය වන්නේ ඒවාට යොදා ඇති නම්වල තිබෙන අර්ථපූර්ණ භාවයයි.

කටුකම්බි, බොකු දිරාස්, වල් සෝඩා, නයි පූස්, හිටපං මචං මෙයින් සමහරකි.

නයි පූස් බිව් විට නයාට මෙන් නගියි.

පූසාට මෙන් බහියි.

හිටපං මචං ගැසූ විට ළග සිටින මිතුරා ඇවිදින්නා සේ පෙනෙයි.

එවිට අනෙක් මිතුරා නිතරම ඔහුට 
" හිටපං මචං " යැයි කියයි.

ඒ නම රෙජිස්ටර් වූයේ ඊට පසුවය.

මේ පූර්විකාව කිව්වේ අවංකවම කසිප්පු ඇල්ලූ පොලිස් මහත්වරුන් ද ලංකාවේ සිටි බැව් කියා පෑමටය.

මේ කතාව පටන් ගන්නේ ගල්කිරියාගම පැත්තෙනි.

ගල්කිරියාගම කිව්වාට වැඩි දෙනෙකු හදුනන්නේ නාමල් උයන කිව්වොත්ය.

90 දශකය අග භාගයේ පමණ ගල්කිරියාගම පොලිසියේ හොඳ ඕ.අයි. සී. මහත්තයෙක් සිටියේය.

(හොඳ ඕ.අයි. සී. මහත්තයෙක් යැයි කිව්වේ වැඩි හරියක් ඉන්නේ නරක ඕ.අයි. සී. මහත්වරුන් නිසාය.)

ඔහු නමින් ජයන්ත ය.

ජයන්තගේ ජීවිත කතාවත් සුවිශේෂී එකකි.

ඔහුට සහෝදරයෝ තිදෙනෙක් වූහ.

මේ තිදෙනාම වයස අවුරුදු 39 දී මිය යන්නේය.

ඉතිරි වන්නේ ජයන්ත පමණි.

'39 දී කොහොමත් මැරෙන එකේ පොලීසියට බැදෙනවා' යැයි සිතූ ඔහු පොලීසියට බැදෙන්නේ ‍ය.

එහෙත් ඔහු වයස 39 දී මියයන්නේ නැත.

( කෙසේ වෙතත් පොලීසියට බැදුනාට වඩා 39 දී මියගියා නම් හොඳ යැයි ඔහු පසුව සිතන්නට ඇත.)

අලුතින් පැමිණි ජයන්ත  ඕ.අයි.සී. මහතා මේ ගල්කිරියාගම ගමේ නිරීක්ෂණය කළ එක දෙයක් විය.

ඒ හැන්දෑවට කසිප්පු බීගෙන කෑගසන ගම්වැසියන් ය.

දරුවන්ට හවසට පොතක පතක වැඩක් කරගන්නට නැත.

මව්වරුන්ට නිවනක් නැත.

හැමදාම රන්ඩු සරුවල් ය.

ඕ.අයි.සී. මහතා කසිප්පු මුදලාලිලා අල්ලන්න ගියේ නැත.

කසිප්පු විකුණන උදවිය කුදලාගෙන ආවේත් නැත.

ඔහු මුලින්ම කළේ ගමේ දරු දැරියන්ට කතා කිරීමය.

" බලන්න තාත්තලා බීගෙන ආවම ඔයගොල්ලෝ පාඩම් කරන්නේ කොහොමද .... අම්මලා තාත්තලා රන්ඩු වෙද්දි ගෙදර සැනසීමක් තියෙනවාද ....? 

මට උදව් කරන්න ... අපි තාත්තලාව හදමු..."

මේ ආකාරයට කතා කොට ඔහු ළමයින් ගේ මනස හැදුවේය.

වැඩි කලක් යන්න මත්තෙන් ඔහුගේ මිතුරන් බවට පත් වූයේ මේ දරුවන් ය. 

මසක් පමණ යන විට ඕ.අයි.සී. මහත්තයා ගේ අතේ ලොකු ෆයිල් එකකි.

ලිපි 1000 කට ආසන්න සංඛ්‍යාවක් එහි විය.

"..මාමේ අපේ තාත්තා අද පෙරන්නේ මෙතැන ..."

මෙවැනි සටහන් රැසක් සමග ගූගල් මැප්වලටත් වඩා නිවැරැදි මාර්ග සිතියම් එහි විය.

ජයන්ත ඕ. අයි. සී. මහත්තයා වැඩ පටන් ගන්නේ ඉන් පසුවය. 

පොලිස් ස්ථානය බුලි හාගෝඩා හා පිරී ගියේ බලා සිටිද්දීය.

ගමේ කසිප්පු උවදුර ටිකෙන් ටික අඩු වන්නට විය.

සතුටු සිනාවෙන් ගම උතුරා ගියේය.

එහෙත් ඒ සතුටට වැඩි ආයුෂ තිබුනේ නැත.

කසිප්පු මුදලාලිලා නීතිඥයෙකු අල්ලාගෙන මානව හිමිකම් නඩු දැමූහ.

මේ සදහා මාධ්‍ය අනුග්‍රහය දුන්නේ රාවය පත්තරයයි.
( පත්තරකාරයින්ගේ බලුකම් වෙනම සාකච්චා කළ යුතුය.)

සටන අවසන් වූයේ කසිප්පු මුදලාලිලාට ජය අත් කර දෙමිනි.

ජයන්තව කොහාට හෝ මාරු කර දමන්නට ඇත.

සමහර විට ඔහු දැන් විශ්‍රාම සුවයෙන් පසුවනවා විය හැකිය.

මේ අපේ ලංකාවයි.

ලංකාවේ වැඩ වෙන්නෙ ඒ විදියටය.

මේ කතාව අවුරුදු 20 කට පමණ එහා ගිය එකකි.

එහෙත් අදටත් එහි වෙනසක් නැත.

සිස්ටම් එක චේන්ජ් කළ යුතුය.

එය සිස්ටන් එක මාරු කරන තරම් ලේසි නැත.

(ඇටමැස්සා)

subscribeYT

නවතම පුවත්