විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් එය අනාගතයේදී ගෝඨාභය රාජපක්ෂගේ ගෙළ සිඳලන අසිපතක් වියහැකි

බවට ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ අනතුරු අඟවයි.

ජනාධිපති නීතිඥයකු වන ආචාර්ය විජේදාස රාජපක්ෂ එබව සඳහන් කළේ ඊයේ (06) සිය නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වන්නේ අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව ඔහු එහිදී පැහැදිලි කළේය.

“රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දී ක්‍රියාත්මක කර ගැනීමට බැරි විකෘති අංගවිකල ව්‍යවස්ථාවක් බවට පත්වෙන සංශෝධනයක් තමයි 20 සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ.

මේ 20 සංශෝධනය සම්මත වුණොත් වත්මන් ජනාධිපතිවරයාට ඉදිරි අවුරුදු 2ක 3ක කාලය තුළ “ජනාධිපතිධූරය නැමති බලවත් අසිපත මුවහත් කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ.

හැබැයි ඒ මුවහත් කරපු අසිපත ඔහුගෙන් පස්සේ, පත්වෙන ජනාධිපතිවරයාගේ අතට පත් වුණාට පස්සේ, ඒ අසිපතෙන්ම තමයි වර්ථමාන ජනාධිපතිතුමන්ගේ ගෙළ සිඳලන්නේ කියන එක තාම අපේ ආණ්ඩුව තේරුම් අරගෙන නෑ.“  යයි ද ඔහු කියා සියා සිටියේය.

 

''ගෝඨා ජනාධිපති වුණේ 19 පිහිටෙන්''

''19 වන සංශෝධනය නොවන්නට ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයා තබා ජනාධිපති අපේක්ෂකයාවත් විය නොහැකි බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේය.

19 වන සංශෝධනය යනු ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති ධුරයට රැගෙන ගිය සේද මාවත බව  විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසිය.

19 වන සංශෝධනය නොවන්නට ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයා තබා ජනාධිපති අපේක්ෂකයාවත් විය නොහැකි බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

අද ගල් මුල් පහර දී ජනාධිපතිවරයා විසින් විනාශ කිරීමට උත්සාහ කරන්නේ එම 19 නමැති සේද මාවත බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

 

''විපක්ෂයට යන්නේ නැහැ ''

 ඇමතිධුරයක් නොලැබීම නිසා කනස්සල්ලක් තියෙනවා දැයි මාධ්‍යවේදියකු විමසා සිටි අවස්ථාවේදී,  “ඒ වෙලාවේ පොඩි කණස්සල්ලක් තිබුණා දැන් ලොකු සතුටක් තියෙනවා බාර නොගත්ත එක ගැන.“ යයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

''විපක්ෂයට යන්න බලාපොරොත්තුවක් තියෙනවාද?'' කියා මාධ්‍යවේදියකු විමසා සිටි අවස්ථාවේදී වහා ප්‍රතිචාර දැක්වූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා, “කිසිම බලාපොරොත්තුවක් නෑ.“ යයි අවධාරණය කර සිටියේය.

සබැඳි පුවත් :

තුනෙන් දෙක හබක් ! ;  ''හෘද සාක්ෂියට එකඟව 20ට ඡන්දය දෙන්න බෑ'' – විජයදාස, ජනාධිපතිට කියයි 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්