කෝවිඩ් සැක පිට  නිරෝධායනය සදහා කලුතරට ගෙන ගිය කම්කරුවන්ට යුද හමුදාව අමානුෂික ලෙස

සලකා ඇති බවට නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන්ගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සහ බහු ජන සංවිධාන විසින් නගන චෝදනා යුද හමුදාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කරමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් සිදුකරන්නේ මානුෂීය කාර්යභාර්යයක් යයි පවසන යුද හමුදාපතිවරයා ඇතැමුන් එය අපකීර්තියට ලක් කිරීමට උත්සාහ කරන බවට පෙරලා චෝදනා නගා ඇත්තේ වසංගතයේ දෙවැනි රැල්ල හමුවේ ඇඟලුම් සේවකයන් පිරිසක් අනාරක්ෂිත නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට කොරෝනා පාලනය බාර යුද හමුදාපතිවරයාට විරුද්ධව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කිරීමෙන්  දින දෙකකට පසුවයි.

 ඔක්තෝබර් 11  ඉරිදා  රාත්‍රී 10.30 ට පමණ ගර්භනී මාතාවක්, දරුවන් දෙදෙනෙක් හා කාන්තාවන් 25 ක් ඇතුළු කටුනායක ලියනගේමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් සේවකයන් 45 දෙනකු හමුදාව විසින්  බස් රථයකින් කළුතර පිහිටි තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයක්  වෙත ගෙන ගිය බව නිදහස් වෙළෙඳ කලාපයේ  කම්කරුවන්ගේ අයිතීන්  වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හතරක් මානව හිමිකම් කොමිසම වෙත යොමු කළ පැමිනිල්ලේ සදහන්ව තිබුනි.

 එහිදී එක් කම්කරුවකු විසින් සිදු කළ ප්‍රකාශයක් ද එම සංවිධාන විසින් උපුටා දක්වා තිබුනි.

 "අපේ දේවල් එකට එකතු කරගෙන බස් එකට නගින්න අපිට දුන්නේ තත්පර ගානක්. ඇඳුම් පැක් කරගන්න වත් අපිට වෙලාවක් දුන්නෙ නෑ. අඩුම තරමේ පනාවක් දාගන්න වෙලාවක් දුන් නෑ. පැනලා යන්න හදන්න එපා, පැත්තම වටලලා තියෙන්නේ කියලා හමුදාව අපිට කිව්වා. ඒ කට්ටිය (හමුදාව) අපට සැලකුවේ හිරකාරයෝ වගේ. හරියට අපි ජාතික අපරාධයක් කළා වගේ"

Brandix pcr Army"එවැනි බලපෑම් කිසිඳු ත්‍රීවිධ හමුදා සාමාජිකයකු විසින් සිදුකර නැහැ" -ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා  

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ඔක්තෝබර් 18 දින උදෑසන රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනක මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්  කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසා ඇත්තේ “කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායන කිරීමේ දැවැන්ත කාර්යභාර්යේ යෙදී සිටින ත්‍රිවිධ හමුදා භට පිරිස් එම පුද්ගලයන් රැගෙන යෑමට නිවෙස් වෙත පැමිණිමට අවම වශයෙන් පැයකට පමණ පෙර ඔවුන් සමඟ දුරකථනය ඔස්සේ සම්බන්ධ වී මේ පිළිබඳ දැනුම්දීමක් සිදුකිරීමෙන් පසුව බස්රථ යොදවා සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශ වලට අනුකූලව එම පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදුකරනු ලබන බවයි.

 ඒ අනුව, වෛරසය ආසාදනය වු පුද්ගලයකුගේ ආශ්‍රිතයකු රැගෙන යාමට පැමිණි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එම පුද්ගලයාට තත්පරයක කාලයක් තුල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යාමට බඩුබාහිර ආදිය ද රැගෙන නිවසෙන් පිටවීමට සුදානම් වන ලෙස අණ කල බවට කළුතර ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක පුද්ගලයෙකු විසින් කරන ලද චෝදනාව අසත්‍ය බවත්, එවැනි ප්‍රකාශයක් කිසිදු ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු විසින් කර නොමැති බවත් යුද හමුදාපතිවරයා එහිදී පවසා ඇත.

 

“අමු කරවල දුන්නේ නෑ”

නිරෝධායනය වන පුද්ගලයන් සදහා ලබා දෙන ආහාර ප්‍රමිතියෙන් තොර බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂ්‍රේප කරමින් යුද හමුදාපතිවරයා පවසා ඇත්තේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා රැගෙන ගිය පුද්ගලයන් වෙනුවෙන් ‘අමු කරවල’ ලබාදීමට කිසිදු ත්‍රිවිධ හමුදා සාමාජිකයකු ක්‍රියා නොකරන බවයි.

කෙසේ වෙතත්, නිරෝධායන මධ්‍යස්ථාන රැඳවි කාන්තාවක් වීඩියෝ සාක්ෂිද සහිතව සමාජ මාධ්‍ය හරහා පෙන්වා දී තිබුනේ තමන්ට දුන් බත්පතේ නොපිසූ කරවල කෑලි තිබුණු ආකාරයයි.

යුද හමුදාව විසින් කම්කරුවන් වටලාගත් අත්තනෝමතික නීති විරෝධී ආකාරය, සහ ඔවුන්ට කුරිරු, අමානුෂික හෝ පහත් ලෙස සැලකීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති ඔවුන්ගේ නිදහස සීමා කිරීම, කම්කරුවන්ගේ ආර්ථික හා සමාජ තත්වය මත පදනම් කරගෙන වෙනස් කොට සැලකීම ආදී වශයෙන් සිවිල් සංවිධාන විසින් කරන  බරපතල චෝදනා සම්බන්ධයෙන්ද යුද හමුදාපතිවරයා ප්‍රතිචාර දක්වා තිබේ.

 

සහෝදර සැලකිල්ල

ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ ඇඟළුම් කම්හලේ සේවකයන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් මෙන්ම නිරෝධායන ක්‍රියාවලියේ යොදවා සිටින සියලු පුද්ගලයන්ට ශ්‍රී ලංකා යුද හමුදාව  ශ්‍රී ලාංකිකයින් වශයෙන් මෙන්ම සහෝදරයින් ලෙස සලකන බවයි.

 මීට පෙර අවස්ථාවලදී ද ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ප්ලාස්ටික් බෝතල් කපා නිරෝධායනය වන පුද්ගලයන්ට වතුර බීමට ලබාදුන් බවට ද විවිධ පුද්ගලයන් විසින් අසත්‍ය කට කථා පැතිරවීමට උත්සහ කළා යැයි ද  ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී වැඩි දුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි කළුතර නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරි නියුතු වෛද්‍යවරියක් විසින්ද එම ස්ථානයේ ලබාදෙන ආහාර වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සහතිකයක් ලබා දී ඇත්තේ පහත අයුරිනි.

 " කළුතර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතුවල නිරත දේශීය ආයුර්වේද වෛද්‍යවරියක් අද (18) දින උදෑසන එම නාලිකාවේ පැවැති වැඩසටහනකට දුරකථනය ඔස්සේ සම්බන්ධ වී සිය අදහස් දක්වමින් එම මධ්‍යස්ථානයේ සේවය කරන භටපිරිස් ප්‍රධාන ආහාරවේල් සඳහා එළවළු, මාළු/ කුකුල් මස් හෝ බිත්තර ලබාදෙන බවත්, බොහෝවිට කොළ වර්ග, එළවළු වර්ග දෙකක් හෝ තුනක් ද ලබාදෙන බවත් ප්‍රකාශ කර සිටියේය. තවද, ඇතැම් පුද්ගලයින් විසින් සිදුකරනු ලබන ද්වේෂ සහගත ප්‍රකාශ ඇය මෙහිදී ප්‍රතික්ෂේප කළාය."

 ගෝලීය වශයෙන් දැඩි සෞඛ්‍ය අභියෝගයකට මුහුණ පා ඇති මෙවන් අවස්ථාවක “භට පිරිස් විසින් ඉටුකරනු ලබන විශිෂ්ට කාර්යභාරය” කෙලෙසීමට හෝ සමච්චලයට ලක්කිරීමට උත්සහ දරණ පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරන බව එහිදී ප්‍රකාශ කළ  යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේ පිළිබඳ සොයාබලා සත්‍ය පමණක් වාර්තා කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි බවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිල පුවත් වෙබ් අඩවිය  වාර්තා කර තිබේ.

Ashila Niroshaniඅශිලා නිරෝෂිනී දන්දෙණිය

ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා සංවිධානය වෙනුවෙන් අශිලා දන්දෙනිය, ඩාබිඳු සාමූහිකය  වෙනුවෙන් චමිලා තුෂාරි, මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED) වෙනුවෙන් චන්ද්‍ර දේවනාරායන  හා ශ්‍රම අභිමානී කේන්ද්‍රය වෙනුවෙන්  නොයෙල් ක්‍රිස්ටීන් ප්‍රනාන්දු කන්‍යා සොහොයුරිය  ඔක්තෝබර් 16 ශ්‍රී  මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල සිදු කරමින් අවධාරණය කර තිබුනේ කලුතර නිරෝධායන මධ්‍යස්ථානය වෙත කම්කරුවන් රැගෙන ගිය යුද හමුදා සෙබළුන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඔවුන්ගේ අණදෙන නිලධාරියා වන හමුදා ප්‍රධානියා වගකිව යුතු බවයි.

සබැඳි පුවත් :

නිරෝධායන මධ්‍යස්ථාන ගැන හමුදාපතිට එරෙහි පැමිණිල්ලක් 

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර: වෙළෙඳ කලාපයේ කාන්තාවන්ට "අමානුෂික ලෙසින්" සලකන බවට හමුදාවට චෝදනා -BBC 

නිදහස් වෙළෙඳ කලාපයේ රණවිරු නිරෝධායන මෙහෙයුම “අමානුෂිකයි” 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්