ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින පරස්පරතාවලට හේතුව කිසිසේත් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවන බවත්

එය පැහැදිලිවම දේශපාලනික පෞරුෂත්වය පිළිබඳ ප්‍රශ්නයක් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පවසන්නීය.

රටේ ප්‍රශ්නවලට සැබෑ හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉරිදා (ජූනි 23) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් 'බීබීසී සිංහල සේවය' කළ විමසීමකදී ඇය එබව සඳහන් කළාය.

ඒ පිළිබඳව අදහස් දක්වමින්ට ඇය තවදුරටත් මෙසේද පැවසුවාය.

"මේක මේ පය බරවායට පිටිකර බෙහෙත් බඳින්න කියනවා වගේ කතාවක්. මෙතන තියෙන්නේ ව්‍යවස්ථා ප්‍රශ්නයක් නෙවේ, දේශපාලනික පෞරුෂත්වය පිළිබඳ ප්‍රශ්නයක්. 19 වන සංශෝධනයෙන් ඔය කියන තරම් බලය අවම වීමක් සිදුවුණේ නැහැ. තමන්ගේ බලය පාවිච්චි නොකිරීමයි මෙතන තියෙන ගැටලුව. සමහර ජනාධිපතිවරු තමන්ගේ බලය ඉක්මවා භාවිත කළා. තවත් අය බලතල තියාගෙන ඒවා නෑ වගේ හිටියා," ආචාර්ය විශාකා සූරියබණ්ඩාර සඳහන් කළාය.

ඇය පෙන්වා දුන්නේ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පැමිණියේ ම ජනාධිපති බලතල අඩු කරන බවට ප්‍රතිඥා දෙමින් බවය.

"මේ ජනාධිපතිතුමා බලයට පත් වුණේ ම ජනාධිපතිගේ අත්තනෝමතික බලතල අඩු කරනවා කියලා. ඒත් 19 වන ව්‍යවස්ථාවෙන් ඔය කියන තරම් බලතල අඩු කළෙත් නැහැ. එහෙම පසුබිමක් තුළ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තමන්ගේ බලතල අඩු වුණා කියන එක විහිළු කතාවක්. හේන මුවෝ කාලා ගියාට පස්සේ ගෙදර තියෙන මුව හමට තලලා වැඩක් නෑ," ආචාර්ය විශාකා සූරියබණ්ඩාර කියා සිටියාය.

"දේශපාලනය ගැන කිසි ම දෙයක් නොදන්න කෙනෙක් ඒ වගේ කතා කරන එක ප්‍රශ්නයක් නැහැ. ඒත් රටක ජනාධිපති කෙනෙකුට ඒ වගේ වගකීමක් නැති ප්‍රකාශ කරන්න බැහැ. රටක ජනාධිපති කෙනෙක් ඊට වඩා බුද්ධිමත්ව කතා කළ යුතුයි."

Sobitha himi HE

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සහ 19 වන සංශෝධන අහෝසි කළ යුතුව ඇති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉරිදා (ජූනි 23) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට දායක වූ අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ස්ථාපනය කිරීමට මුල් වූ පුද්ගලයෙකි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40 ක් සපිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉරිදා පැවති සැමරුම් උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ, "පශ්චාත් මරණ පරීක්ෂණය දැන් තියන්න වේලාව ඇවිල්ලා තියෙනවා. අපි මේවා කතා කරන්න ඕන. අවුරුදු හතරහමාරක කාලය තුළ ආණ්ඩුව රටේ නරක් වුණා නම් නරක් වුණේ ප්‍රධානම හේතුව තමයි 19 වන සංශෝධනය. 19 වන සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව ඉතාම හොඳ ආණ්ඩුවක්. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තිබෙනවා අගමැතිතුමායි මායි දෙපැත්තට අදිනවයි කියලා. ඒ දෙපැත්තට අදින තත්ත්වය ඇතිවුණේ 19 වන සංශෝධනයෙන්," යනුවෙනි.

"18 වන සංශෝධනය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රාජ්‍ය ආණ්ඩුක්‍රමයක්. ඒක තනිකර ආඥාදායක ක්‍රමයක් 18 වන සංශෝධනය. 18 වන සංශෝධනය අහෝසි කරන්න තමයි අපි ආණ්ඩුවක් හැදුවේ. 18 වන සංශෝධන ක්‍රමයේ රාජ්‍ය ආණ්ඩුක්‍රමයත් ඒකාධිපතික්‍රමයත් ඒක ඉතාමත්ම නුසුදුසුයි."

 

රටේ දේශපාලන අස්ථාවරත්වයක් !

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ බවය.

"19 වන සංශෝධනය මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතුව ගියා. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක්‍රමයක් හැදුණා. ඒකෙන් රටටත් විශාල අලාභයක් සිදුවුණා. ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. මේ රට යහපත් රටක් විදියට ගොඩගන්න නම් විශේෂයෙන් ම බොහෝ දේශපාලන විචාරකයින් කතා කරන මාධ්‍යවල කතා කරන මීට වඩා වෙනස්ව හිතන්නට ඕන. 18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ සංශෝධන දෙක ම අවලංගු කෙරුවොත් තමා මේ රටට යහපතක් වෙන්නේ. 18 ඒකාධිපති 19 අස්ථාවරත්වය. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ 19 වන සංශෝධනයෙන් ඇති වෙච්ච තත්ත්වය. 19 වන සංශෝධනයක් ඇති නොවුණා නම් මේ අවුරුදු හතර හමාර මීට වඩා විශිෂ්ට ජයග්‍රාහී සිව් වසරක්."

 

රට ගොඩ ගැනීමට නොහැකි වූ හේතුව ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පැවසුවේ, රට ගොඩ ගැනීමට නොහැකි වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නය හේතුවෙන් බවය.

"අපි පිළිගන්න ඕන අපි අතින් සිදුවෙලා තියෙන වැරදි මොනවා ද කියලා. පාර්ලිමේන්තුවේ 225 න් 215ක් 19 වැනි සංශෝධනයට ඡන්දේ දුන්නා. 19 වැනි සංශෝධනය හදපු ආණ්ඩුක්‍රම විශාරදයෝ හිතුවේ නැහැ මේ රටට මේ විනාශය සිද්ධ වෙයි කියලා මේ 19 වැනි සංශෝධනයෙන්. ඒ නිසා අනාගතයේ රට ගොඩගන්න නම් පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ 18 සහ 19 අහෝසි කරපු දවසට මේ රටේ ජනතාව සතුටු වෙන හොඳ පාලනයක් ගෙනියන්න පුළුවන්. එතනින් හොඳ ප්‍රතිඵල පෙන්නන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදයත් තියෙනවා. නිදහසත් තියෙනවා. සාමයත් තියෙනවා. මාධ්‍ය නිදහසත් තිබෙනවා. කාර්යක්ෂමව වැඩ කරන්නත් පුළුවන්. ඒ සියල්ලත් සම්පූර්ණ වෙනවා."

 

සමාජ මාධ්‍යවල විවිධ අදහස් :

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ කර තිබිණි.

ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පතේ මාධ්‍යවේදිනයක වන මීරා සිරිනිවාසන් ට්විටර් ඔස්සේ පළ කර තිබුණේ, සිය පුවත්පත සමග මෛත්‍රීපාල සිරිසේන 2016 වසරේදී කළ සම්මුඛ සාකච්ඡාවකදී 19 වන සංශෝධනය හරහා ජනාධිපති බලතල අඩු කිරීමට තමන් යෝජනා කළ බවය.

 Meera

Nishmini

 

Anusha

Sanchala

facebook

facebook

 

ජනාධිපති බලතල භාවිත කළ අවස්ථා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය වසර 4ක කාලය තුළ ජනාධිපති බලතල පාවිච්චි කිරීමට ගත් උත්සහයන් කිහිපයක් විය.

ඒ අතරින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ එම ධුරයට පත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම සහ පොලිසිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම ආදී අවස්ථා විශේෂය.

එහිදී, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර 4කට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ හෙයින් යළිත් පාර්ලිමේන්තුව රැස්වීමටත්, රනිල් අග්‍රාමාත්‍ය ධූරයේ පිහිටුවීමටත් සිදුවිය.

 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක බලතල

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් විය.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් එම වගන්ති ඉවත් කර තිබෙන අතර, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවුණ ද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වී, අනතුරුව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ.

කෙසේ වෙතත්, ඉහත කී සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය.

Parliament He

19 වන සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වෙනස් කෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර පෙර පැවති වසර හයක ධූර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත. එමෙන් ම, දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය.

ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වූ ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වන සංශෝධනයෙන් ලැබී ඇත.

එමෙන් ම, රාජ්‍ය පරිපාලනයට අදාළ කොමිෂන් සභා පිහිටුවීම, අධිකරණ විනිසුරුවරයන්, නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේදී පෙර පැවති ජනාධිපති බලය සීමා කර තිබේ.

 

19 වන සංශෝධනයේ වැදගත් වන තවත් කරුණු

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 'තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඇති අයිතිය' මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කළේය. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තෙවන පරිච්ඡේදයේ සඳහන් මූලික අයිතිවාසිකම්වලට නව එකතු කිරීමක් ලෙස හැඳින්විය හැකිය.

14 (අ) වගන්තිය අනුව, සෑම පුරවැසියෙකුට ම, රජයට, රාජ්‍ය අමාත්‍යංශයකට හෝ දෙපාර්තමේන්තුවකට, පළාත් සභා ප්‍රඥප්තීන්ට අනුව පිහිටුවනු ලැබූ ආයතනයකට, පළාත් පාලන ආයතනයකට, පුරවැසියකුගේ අයිතීන් ක්‍රියාත්මක කිරීම සඳහා හෝ ආරක්ෂා කිරීම සඳහා යම් තොරතුරක් ඇත්නම්, නීතියේ සලසා ඇති පරිදි තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම ඇත. තොරතුරු දැනගැනීමේ පනත සම්මත වූයේ ඒ අනුවය.

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්