පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සොයා බැලීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට අගමැති රනිල් වික්‍රමසිංහ කැඳවා ඇති අතර

එහිදී ඔහු වෙත තීරණාත්මක ප්‍රශ්න කිහිපයක් යොමුකරමින් අගමැතිවරයාගේ නොහැකියාව රට හමුවේ ප්‍රදර්ශනය කිරීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සුදානමකින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.

රට හමුවේ ඇති මුලිකම අභියෝගය ආර්ථික හෝ වෙනත් කාරනා නොව අනාරක්ෂාව බව තම අනුගාමිකයින් කිහිප දෙනෙකුට පවසා ඇති ෆීල්ඩ් මාර්ෂල්වරයා, යහපාලන ආණ්ඩු කාලය තුල රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිවයුතු බව අවධාරණය කර තිබේ.

රටේ තුල යළි ආරක්ෂාව ඇතිකරලීමේ උවමනාව ඉස්මතු කරමින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන්නේ නම් ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත්වීමට වඩාත් ම සුදුස්සා තමා බවද එය ඉදිරි මාස කිහිපය තුලදී රට හමුවේ පෙන්වා දෙන බවද ෆීල්ඩ් මාර්ෂල්වරයා එහිදී තම අනුගාමිකයින්ට පවසා ඇත.

 

'නොම්මර එකේ මෝඩයෙක්'

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කැලණියේ දී (24) පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් නොකියා කියා සිටියේ අගමැති මෝඩයෙක් බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් එම අන්තවාදී ත්‍රස්තවාදී තර්ජනය දැන් අවසන් බවටත් අගමැති රනිල් වික්‍රමසිංහ මෑතකදී පවසා ඇති බවත්, මෙම ත්‍රස්තවාදී තර්ජනය මෙතනින් අවසන් යැයි කිසිවකු සිතන්නේ නම් ඔහු නොම්මර එකේ මෝඩයෙක් බවත් ඔහු මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිව යුතු යයි ඔහු එහිදී අවධාරණය කළේය.

 

 

මහින්ද, ෆොන්සේකාගේ හොද කියයි..!

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසන්නේ, රටේ වර්තමාන ආරක්ෂාව සම්බන්ධයෙන් අද ආණ්ඩුවේ අවබෝධයක් තිබෙන්නේ සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිට පමණක් බවයි.

රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු නැතැයි ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශය සත්‍ය බවද මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මෙම අදහස් පළකරන ලද්දේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා,

‘රටක ජාතික ආරක්‍ෂාව නැත්නම් හැමදේම කඩා වැටෙනවා. රටේ ජනතාවට බියෙන් තොරව ජීවත්වීමට හැකි සමාජයක් අපි ලබාදුන්නා. රටකට ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතුයි.

එදා කැබතිගොල්ලෑවේ බෝම්බ පුපුරන කොට මම හිටියෙ ආරක්‍ෂක මණ්ඩලයේ. මම ඒ වෙලාවෙම යෝජනා කරා අපි එම ස්ථානයට යමු කියලා. අපි සේරම ඒ ස්ථානයට ගියා. එදා අපට අවශ්‍ය වුණේ ජනතාවගේ බිය නැති කිරීමට.

අද තියෙන්නේ අස්ථාවර ආණ්ඩුවක්. යම් දෙයක් කරන්න ගියාම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කඹ අදිනවා. අද බෝම්බ පිපිරීම තුළ විවිධ මත පළවෙනවා. මිය ගණන සැරින් සැරේ වෙනස් වෙනවා. ජීවත් වීමේ මූලික මිනිස් අයිතිවාසිකම අපට නැතිකරලා. ආගම ඇදහීමේ අයිතිය අපෙන් උදුරාගෙන .

මෙම ආණ්ඩුව තුළ ත්‍රස්තවාදය ගැන අත්දැකීම් ඇති කෙනෙකුට ඉන්නේ සරත් ෆොන්සේකා මහත්තයා විතරයි. ඔහු කියනවා මෙම අන්තවාදීන්ගේ ක්‍රියා තවම අවසන් නැතිබව. මෙවැනි තත්වයක් තිබියදී රටට ආයෝජකයින් එන්නේ නැහැ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, නෙනුක විදානගමගේ හා අනුරාධ ජයරත්න යන මහත්වරුන්ද එක්වූහ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්