''සිර ගෙවල් වැසිය හැකි සාධාරණ සමාජයක් වෙනුවෙන් වැඩ නොකරන දේශපාලකයන් සිටින සමාජයක මරණ දඩුවම බොරු සන්දර්ශනයකි''
යයි රවී සිරිවර්ධන සිය FB පිටුවේ පොස්ටුවක් තබමින් සටහන් කර ඇත.
ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීම සඳහා වන නිර්දේශයට තමන් අත්සන් කළ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (ජූනි 26) මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් වශයෙනි.
අදාළ සිරකරුවන් 4 දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා දිනයක් ද තීන්දු කර අවසන් බව පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ, එය "ළඟදීම ක්‍රියාත්මක වනු ඇති," බවය.
"අද ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය. මම මරණ දඬුවමට අත්සන් කරලා ඉවරයි. 4 දෙනෙකුට. ළඟදී ම ක්‍රියාත්මක වෙයි. දිනෙත් තීන්දු කරලා දන්වලාත් ඉවරයි," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී පැවසීය.
කැබිනට් මණ්ඩලයේ එකඟත්වය:
ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා විවාදාත්මක තත්ත්වයක් පැවති අතර මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීම සඳහා 2018 වසරේ ජූලි 10 වන දා කැබිනට් මණ්ඩලය එකඟතාවකට එළඹිණි.
ඒ අනුව, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වී මරණීය දණ්ඩනය පැනවුණු පුද්ගලයින් සඳහා එසේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් එකඟතාව පළ වූයේ ඒ සඳහා ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාවකට අවධානය යොමු කිරීමෙන් අනතුරුවය.
මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණ දඬුවමට ලක්ව සිටින ජාවාරම්කරුවන් "හිරගෙදර ඉඳලා මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා, රටේ මත්ද්‍රව්‍ය බෙදනවා," යැයි 2018 ජූලි 11 වන දා මහනුවර පැවති උත්සවයකදී පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, "මරණීය දණ්ඩනයට නියම වීමෙන් පසුවත් පුළුල් ලෙස මහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මරණීය දණ්ඩනය නියම වූවන්ට එම දඬුවම දීමට මම මගේ අත්සන යොදනවා," යැයි අධිකරණ අමාත්‍යංශයට දැනුම් දුන් බව කියා සිටියේය.
මංගල ජාත්‍යන්තරයට දුන් සහතිකය
මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ජනතාව අතරින් නැගුණු ඉල්ලීමට පවතින ආණ්ඩුවේ පළමු නිල ප්‍රතිචාරය ලෙස, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලදහොත් ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පැවසුවේ 2015 සැප්තැම්බර් මස ගාලු නගර ශාලාවේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.
එහෙත්, එවක විදේශ අමාත්‍ය ධුරය දැරූ මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ජිනීවාහි රැස්වූ අවස්ථාවේදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ මරණ දඬුවම තහනම් කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව බවය.
ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්ම
මරණ දඬුවම යළි පැනවිය යුතු ද? නැද්ද? යන විවාදය හමුවේ මීට කලකට ඉහත පවතින අතරේදී බීබීසී සිංහල සේවයට අදහස් පළකළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම, ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මවලට සහ වටිනාකම්වලට ගැලපෙන මානුෂීය සමාජයක් බිහිකිරීමේ කැපවීම ප්‍රදර්ශනය කරනු වස් මරණ දඬුවම අහෝසි කළ යුතු බව කොමිසමේ නිර්දේශය බව සඳහන් කළාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බදාදා (ජූනි 26) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, "අපි 2016 ජනවාරි 01 වෙනි දා ජනාධිපතිට ලිපියක් යොමු කළා. අපි ඒකෙන් පෙන්වා දුන්නේ මරණීය දණ්ඩනය අහෝසි කිරීම ශිෂ්ට සම්පන්න රටක තත්ත්වයක් ලෙස සලකන බව. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟ නැහැ," යනුවෙනි.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR):
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 6 වන වගන්තිය අනුව සියලු වැසියන්ට ජීවත් වීමට අයිතියක් ඇති බව පිළිගෙන තිබේ.
"සෑම මිනිසෙකුට ම ජීවත්වීමේ සහජ අයිතියක් ඇත. එම අයිතිය නීතියෙන් ආරක්ෂා විය යුතුය. කිසිවෙකුට අත්තනෝමතික ලෙස ඔහුගේ ජීවිතය අහිමි කළ නොහැකිය," යන්න එහිදී පැහැදිලි කර තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කළේ, සිය කොමිෂන් සභාව ඉහත කී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල ස්ථාවරයක සිටින බවය.
'දුර්වලත්වය පෙන්වීමක්' -ඇම්නස්ටි ඉන්ටර්නැෂනල්
මේ අතර, "මරණ දඬුවම් දීම ශක්තිය පෙන්වීමක් නොව දුර්වලත්වය පෙන්වීමක්," බවට ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) ජූනි 22 වන දා ට්විටර් ඔස්සේ අදහස් පළ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය බදාදා (ජූනි 26) කළේ, සිරකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුව වහා ම නතර කළ යුතු බවය.
විද්වත් අදහස්
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින 4 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තීන්දු කර ඇති බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරීන් සහ විද්වතුන් කිහිප දෙනෙක් අදහස් පළ කළහ.
නීතීඥ අචලා සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ළමා අපයෝජකයින් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බවය.
"සදාචාරාත්මක පැත්තෙන් ගත්තොත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනුමත කරන්න බැහැ. ඒත් සමාජයට විනාශයක් කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ ළමා අපයෝජකයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මම විරුද්ධ නැහැ. අඩු තරමින් අංශ කිහිපයකට හරි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හොඳයි. එතකොට සමාජයට හානියක් කරන ජාවාරම්කරුවන් යම් විදිහකින් පාලනය වෙයි කියලයි මම හිතන්නේ."
කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී අතරමැදියන්ට මරණ දඬුවම ලබා දීම වෙනුවට සැබෑ ජාවාරම්කරුවන්ට දඬුවම් ලබා දිය යුතු බව ද නීතීඥ අචලා සෙනෙවිරත්න පෙන්වා දුන්නාය.
"ලංකාවේ නීති පද්ධතිය අනුව මහා පරිමාණ ජාවාරම්කරුවන් බේරිලා අතරමැදියන් වැරදිකරුවන් බවට පත්වන අවස්ථා තියෙනවා. ඒ නිසා සාධාරණ විදිහට පරීක්ෂණ පවත්වලා සැබෑ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි," ඇය සඳහන් කළාය.
පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් මිදීමට !
මේ අතර, ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාව පිළිබඳ පර්යේෂිකා ත්‍යාගි රුවන්පතිරණ ට්විටර් ඔස්සේ පළ කර තිබුණේ, "ජනාධිපතිවරයා කරන ප්‍රකාශවලින් ඔහුට පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් මිදීමට හෝ ජනතාවට එය අමතක කිරීමට නොහැකි," බවය.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ද අදහස් පළ වී තිබිණි.
''ජනාධිපතිතුමා දෙනවා කියපු මරණ දඩුවමට විරූද්ධව ලොකු විරෝධයක් මම තාම දැක්කෙ නැ. අපි අපේ විරෝධය ප්‍රභලව ඉදිරිපත් කළ යුතුයි' - රමණි මුත්තේට්ටුවේගම @HRCSriLanka #SLCAT සම්මන්ත්‍රණයේ දි #lka #srilanka #AgainstTorture19 pic.twitter.com/gyBFsTywJr
— Vikalpa (@vikalpavoices) June 26, 2019
"මරණ දඬුවමට ලක්වූවන් අතර විදේශිකයන්"
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී තොරතුරු හෙළි කළ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පැවසූ පරිදි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන් බවට තීන්දු කර මරණ දණ්ඩනයට යටත් කර ඇති පුද්ගලයින් ගණන 16 කි.
ඒ අතර විදේශිකයින් කීපදෙනෙකු ද සිටින බව ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මරණ දඬුවම හැත්තෑව දශකයේ අගභාගයේ අත්හිටුවනු ලැබීමෙන් පසුව ස්ථිර වශයෙන් ම එම දඬුවමට ලක්කෙරුණු වරදකරුවන් 374 දෙනකු මේ වන විට සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එසේ ම මරණ දණ්ඩනයට යටත් වුව ද ඊට එරෙහිව අභියාචන ඉදිරිපත් කළ තවත් 880 දෙනෙක් ද බන්ධානාගාරය තුළ සිටිති.
2018 වසර අවසානය වන විට, මරණ දඬුවමට නියම වූ කාන්තාවන් 84 දෙනෙකු ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ රඳවා සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවේදනය කළේය.
මරණ දඬුවම: ගෝලීය තත්ත්වය
ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) 2017 වසරේ අවසන් වරට නිකුත් කරන ලද සවිස්තර වාර්තාවට අනුව 2016 වසරේ ලොව වැඩිම මරණ දඬුවම් ප්‍රමාණයක් ක්‍රියාවට නගා ඇති රට චීනය ලෙස සැළකේ. දත්ත නිසි ලෙස ලබා ගැනීම අපොහොසත් වීමේ තත්ත්වයක් තුළ වුව ද, ක්‍රියාවට නංවන ලද මරණ දඬුවම් ප්‍රමාණය දහස් ගණනක් බව පෙන්වා දී ඇත.
ඊට පසු ඉරානය සිටින අතර එරට ක්‍රියාවට නගන ලද මරණ දඬුවම් සංඛ්‍යාව 567 ඉක්මවා ඇති අතර සෞදි අරාබිය 154 ට වැඩි ප්‍රමාණයක් ද, ඉරාකය 88 ට වැඩි ප්‍රමාණයක් බව ක්ෂමා ආයතනය සඳහන් කර තිබිණි.
ශ්‍රී ලංකාව අයත් දකුණු ආසියානු කලාපය තුළ 2016 වසරේදී වැඩි ම මරණ දඬුවම් ප්‍රමාණය ක්‍රියාවට නගා ඇත්තේ පාකිස්තානය බව ද එම වාර්තාවේ දැක්වේ. එම සංඛ්‍යාව 87 ඉක්මවා ගොස් ඇත.
ඊට අමතරව බංග්ලාදේශය තුළ මරණ දඬුවම් 10 ක් ක්‍රියාවට නංවා ඇත.
මේ අතර 2016 වසර අවසාන වනවිට ලොව රටවල් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් මරණ දඬුවම නෛතිකව හෝ භාවිතයෙන් අවලංගු කර ඇති බව ද ක්ෂමා ආයතනය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. ඒ අනුව රටවල් 141ක් එම දඬුවම අවලංගු කර ඇති අතර රටවල් 57ක් එය පවත්වාගෙන යමින් සිටිති.
''මම මරණ දඬුවමට විරුද්ධයි''
මේ අතර පහත සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විශාල පිරිසක් තම තමන්ගේ නමින් පහත පොස්ටුව පළකර ඇති අතර එය මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.
(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)