මහර බන්ධනාගාරයේ හටගත් කැරලිකාරී තත්ත්වයට ප්‍රබලම හේතුවක් වී ඇත්තේ
එම බන්ධනාගාර රෝහලේ ප්‍රධානියෙකු දින කිහිපයක පටන් රැඳවියන් අතර නොසන්සුන් මානසිකත්වයක් ගොඩ නැංවීම බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ බීබීසී සිංහල සේවය සමග පැවසීය.
"මේ පිළිබඳව ගැඹුරින් විමර්ශනයක් කර ඒ පිළිබඳව තහවුරු කරගත යුතු," බව ඔහු පැවසීය.
"බන්ධනාගාර තුළ කොරෝනා පැතිරීම හේතුවෙන් මහර බන්ධනාගාරයේ ද කොරෝනා පැතිර යනු ඇතැයි එම රෝහල් ප්‍රධානියා දින කිහිපයක් තිස්සේ පවසමින් රැඳවියන්ගේ මනසේ භීතියක් ඇති කර තිබූ බවද හෙළිවී තිබේ," යනුවෙන් ආණ්ඩුවට හිතවත් ලංකා සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කෙරිණි.
පසුගිය ඉරිදා (නොවැම්බර් 29) එම බන්ධනාගාරයේ රැඳවියන් 183 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග මෙම කලහකාරී තත්ත්වය හටගත්තේය.
එම ගැටුමින් රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර එයින් නව දෙනෙකු කොරෝනාවෛරස අසාදිතයන් බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම ගැටුමින් රැඳවියන් 106 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලැබූහ. ඔවුන්ගෙන් 29 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති.
'PCR කිරීමේ රාජ්‍ය විරෝධී ක්‍රියාව'
"බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සැලසුම් සහගතව කලහකාරී වූ රැඳවියන්ට මත්ද්‍රව්‍ය ලබාදෙමින් භයානක තත්ත්වයක් ඇති කිරීමටත් කටයුතු කර ඇතැයිද වාර්තා වේ," යනුවෙන් එක් මාධ්‍ය වාර්තාවක දැක්විණ.
බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවේ මානසික රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ වර්ග තුනකට අයත් පෙති විසි එක් දහසක් පමණ තිබුණු බවත් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ රැඳවියන් මෙම ඖෂධ භාවිත කිරීමෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වූයේද යන්න විමර්ශනය කරන බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක කාරක සභාවට සහභාගි වූ අවස්ථාවේදී කියා සිටි බවත් මාධ්‍ය වාර්තාවල දැක්විණ.
එහෙත් මහර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඉන්ද්‍රජිත් පනාවැන්න තම මුහුණුපොතේ සටහනක් තබමින් පවසන්නේ "මහර බන්ධනාගාරයේ PCR කිරීමේ රාජ්‍ය විරෝධී ක්‍රියාවට දඬුවම ලැබෙන තුරු සිටිමි," යනුවෙනි.
මහර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඉන්ද්‍රජිත් පනාවැන්න තම මුහුණුපොතේ සටහනක් තබමින් පවසන්නේ "මහර බන්ධනාගාරයේ PCR කිරීමේ රාජ්‍ය විරෝධී ක්‍රියාවට දඬුවම ලැබෙන තුරු සිටිමි," යනුවෙනි.
ඔහු එම සටහන තබා තිබෙන්නේ, මෙම ගැටුමට මහර බන්ධනාගාරයේ නිලධාරියකු වගකිව යුතුයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමත් සමඟම, ගැටුමේ වගකීම බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා මත පැටවීමේ උත්සහයක් පවතින චෝදනා එල්ලවෙමින් පවතිද්දීය.
වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න තවදුරටත් පවසන්නේ PCR නොකර බන්ධනාගාරයකින් සිරකරුවන් මාරු නොකරන මෙන් පණවා තිබූ චක්‍රලේඛය උල්ලංඝනය කරමින්, ඉහල බලධාරියා කරන ලද අන්තනෝමතික ක්‍රියාව නිසා මහර බන්ධනාගාරයට කොරෝනා රෝගය බෝවීම සිදුවූ අතර, එයින් ගැලවීම සඳහා ඔහු මාධ්‍ය මෙහෙයුමක් හා දේශපාලන බලය යොදවමින් සිටින බවයි.
"මුලදී වැඩිපුර පරීක්ෂණ කරන ලද හෙයින් සිදු වූ බව කිවූ කැරැල්ල, පසුව මානසික බෙහෙත් අධි ප්‍රමාණ වලින් ගබඩාකිරීම නිසා සිදු වූ නිසා යයි පවසයි. ඊයේ රාත්‍රී බන්ධනාගාර අධිකාරීවරයා නිදිමත විය හැකි ඖෂධ වර්ග (මොනවාදැයි) විමසා සිටි අතර ඊට මානසික රෝගවලට දෙන ඖෂධ වලට අමතරව පිරිටන් හා පෙනගන් අයත් බව පැවසූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් මාස 04 ක් සඳහා, රජය විසින් මානසික වෛද්‍යවරුන්ගේ හා ඕපීඩී වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත රැඳවියන් 3000ක් සඳහා ලබාදී තිබූ බෙහෙත් තොග ගැන දත්ත ඉදිරිපත් කර තමන් එයට වැරදිකරු කිරීමට සැරසෙන බවට," වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න පවසයි.
"වෙනදා භාවිත වන ප්‍රමාණයට වඩා බෙහෙත් ගෙන්වාගෙන නැති අතර මෙම බෙහෙත් පිළිබඳව අමාත්‍යාංශය සොයා බැලීම් සිදු කරයි. තවද මෙම බෙහෙත් මා පැමිණීමට පෙර අනුමත කරවාගත් ඖෂධ වේ. තවද රැඳවියන් පෙලඹවීමක් ගැන සාවද්‍ය චෝදනාවක් යොමුකර ඇති අතර, මා රෝගීන් හා ගැටෙන රෝහල තුළින් එවැනි සිදුවීමක් පැන නොනැගී ඇති හෙයින් හා මා බාහිර රෝගී අංශයේ රෝගීන් නොබලන බැවින්, ඊට මා සම්බන්ධ නැති බව පැහැදිලිය."
"එනමුදු වරින්වර චෝදනා වෙනස්කරමින් මේ අපරාධයට මා සම්බන්ධකිරීමට ඉමහත් පරිශ්‍රමයක් දැරීම පිළිකුල් සහගත වේ," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස් (සෞඛ්‍ය) වෛද්‍ය හේමන්ත රණසිංහ ගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම ප්‍රතික්ෂේප කළ ඔහු, ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසන ලෙස කියා සිටියේය.
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහයන් සාර්ථක නොවීය.
(BBC සිංහල සේවය - රංග සිරිලාල්)