ලොකු ලූනු කිලෝවක් රුපියල් 100කට, සැමන් ටින් එකක් රුපියල් 200කට, සුදු සීනි කිලෝවක් රුපියල් 85කට, පරිප්පු කිලෝවක් රුපියල් 150කට අලෙවි කිරීම නිසා ලංකා සතොස ආයතනයට රුපියල් ලක්ෂ 600ක
පාඩුවක් සිදුව ඇතැයි ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත අද සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර තිබේ.
මෙම පුවත් වාර්තාව පිළිබඳව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු භෝජනාගාරයේදී කතාබහ කර ඇති අතර මෙය පැහැදිලිවම වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉලක්ක කර ගනිමින් සිදුකල 'ප්ලාන්ට් එකක්' බව ඔවුන්ගේ අදහස වී ඇත.
ආණ්ඩුවේ ලේක්හවුස් ආයතනයේ 'දිනමිණ' පුවත්පත මඟින් තමාට පහර දෙන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් පැවසිය.
අද 'දිනමිණ 'පුවත්පත් වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් ගන්නා ලද තීරණයක් නිසා සතොස ආයතනයට ඔක්තෝබර් 14 දා සිට මේ වන තෙක් රුපියල් කෝටි 600 ක් පාඩුවක් සිදු වී ඇති බවයි.
පරිප්පු, සීනි, සැමන් සහ ලොකු ලූණු මිල අඩු කිරීම නිසා ඒ වන විටත් සතොස ගබඩාවල තිබූ එම භාණ්ඩ මිළ අඩු කිරීම නිසා මෙම කෝටි 600 ක පාඩුවක් සිදු වූ බව අදාළ වාර්තාවෙන් පෙන්වා දෙයි.
ඇමති බන්දුලගේ විවේචනයට ලක්වූ 'දිනමිණ' කාටුනය
බඩු මිලේ අඩුවක් නම් නැහැ !
අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාව රැස්වී එවැනි තීරණයක් ගත් බවට 'දිනමිණ' වාර්තා කර ඇතත්, මෙම මිළ අඩු කිරීම නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අත්තනෝමතික ලෙස ගන්නා ලද තීරණයක් බව වෙළඳ අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
මෙම මිළ අඩුකිරීම තුලින් ජනතාවට මේ දක්වා කිසිදු සහනයක් නොලැබුණ අතර මුලු වෙළඳපළ ක්‍රියාකාරිත්වය සහ රාජ්‍ය ආයතන කිහිපයක්ම බරපතල අසීරු තත්වයට පත්ව ඇත.
කුඨ වෙළඳුන්ට හොරපාරෙන් ගෙවන ක්‍රමයක් !
එවැනි අදූරදර්ශී තීරණයක් නිසා සතොස ආයතනයට කෝටි 600 ක පාඩු වී ඇත්නම්, එම පාඩුව අදාළ නිලධාරීන් භාරගත යුතුව ඇත.
එසේ නොමැතිව ජනතාවගේ බදු මුදල් වලින් මහා භාණ්ඩාගාරයෙන් එය ප්‍රතිපූර්ණය කළ නොහැකිය.
එවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම මහා භාණ්ඩාගාරයේ මුදල් කූට වෙළඳුන්ට හොර පාරෙන් ගෙවීමක්වනු ඇත.
සීනි මිළ අඩු කිරීම මෙයට ඇති හොඳම උදාහරණයකි.
ලංකා සතොස ආයතනය මේ වන විටත් රුපියල් බිලියන 13.5 කට ආසන්න අලාභයක් ලබා ඇති ආයතනයකි.
පසුගිය රජය යටතේ ද මෙම රජය යටතේ ද ඉතාමත් අවිධිමත් ලෙස පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස සතොස ආයතනය හදුන්වා දිය හැකිය.
මොවුන් මෙසේ කාබාසිනියා කරන්නේ මහජනතාවගේ බදු මුදල් වන අතර වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ රජය සෞභාග්‍ය දැක්ම ප්‍රතිපතිමය වැඩපිළිවෙල මීට වඩා විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාම ජනාධිපති ප්රමුඛ ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට හිතකර වනු ඇත.
රජයේ සේවකයාගේ අතීකාල දීමනා කපා ඉතිරි කරන මුදල් සුදු අලිවන් රාජ්‍ය ආයතන පද්ධතිය නඩත්තු කිරීමට යොදනවා නම් ඒ ගැන කුමණ කතා ද?
වෙළඳ ඇමතිතුමනි,
රුපියල් බිලියන 14 ක් අලාභ ලැබූ සතොස ආයතන ගැන සොයන්න වහාම කොමිටියක් පත් කරන්න.
(විශේෂ වාර්තාකරුවකු විසිනි)
සබැඳි පුවත් :