ජාතික චිත්‍රපට සංස්ථාවේ බරපතල වංචා හා දුෂණ සිදුව ඇති බවට ලැබී ඇති පැමිණිලි මත
බෞද්ධ කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය විසින් හදිසි විගණනයක් ආරම්භකර ඇත.
එම තත්වය යටතේ පසුගිය කාලයේ ඉඳහිට විනාඩි කිහිපයකට සංස්ථාවට ආගිය සභාපති ජයන්ත ධර්මදාස මේ දිනවල දිනපතා කාර්යාලයට පැමිණ පැය ගණන් සංස්ථාවේ වැඩ කටයුතුවල නිරත වන බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
සාමාන්‍ය නිලධාරීන් සහ සුළු සේවකයින් තඹයකට මායිම් නොකළ මොහු මේ දිනවල ඔවුන්ගේ දුක සැප පවා අසමින් සතුටු සාමිචියේ යෙදී සිටින බවද වාර්තාවේ.
දේශපාලන හිතවත්කම් හරහා මිට ඉහත අවස්ථා තුනක දී ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති තනතුරුට පත් ජයන්ත ධර්මදාස වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ සිව්වන වරට ද සභාපති ධුරයට පත්වුයේ රාජපක්ෂ පවුල සමග අලුතින් ඇතිවූ ඥාති සම්බන්ධතාවයක් හරහා බවට රාවයක් පවතී.
කෙසේවුවද එතෙක් මෙතෙක් කාලය තුළ මොහුගෙන් සංස්ථාවට හෝ කර්මාන්තයට කිසිදු සෙතක් නොවුබවට බෞද්ධ කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශය වෙත පැමිණිලි රාශියක් ලැබී ඇතැයි ද පැවසේ.
මොහුගේ දුර්වල පරිපාලනය සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා දැඩිලෙස කනස්සල්ලට පත්ව සිටින බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
මෙසේ සිව්වැනි වරටත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිධුරය හොබවන ජයන්ත ධර්මදාසගෙන් ''පවතින කොරෝනා තත්ත්වය හමුවේ සිනමාවේ අනාගතය කොයි වගේ වෙයිද?'' කියා ආණ්ඩුවේ 'සරසවිය' පුවත්පත කළ විමසීමකදී පවසා ඇත්තේ, ''මට නම් කියන්න හරි අමාරුයි. මට නෙවෙයි කාටවත් කියන්න අමාරුයි.'' කියාය.