අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ පාලනය කිරීම සඳහා ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පමණක් පලක් නැතැයි
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන රජයේ බලධාරීන්ට දැනුම් දී ඇත.
ඔහු එම කාරණය පැහැදිලිකර දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ය.
එහිදී ඇමති වාසුදේව නානායක්කාර පවසා ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාමෙන් ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවයි.
තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුම එහිදී සඳහන් කර ඇත්තේ, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල යාමෙන් ජීවන වියදම වැඩි වී ඇති බවයි.
මේ තත්ත්වය මත ජීවන වියදම් කමිටුව සෑම මසකම පළමු සදුදා දිනයේ රැස් වීමට තීරණය කර තිබේ. එම කමිටුව මෙතෙක් රැස්වූයේ සෑම මසකම දෙවැනි සතියේදීය.
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල යෑම නිසා එම මිල පාලනයට රජය විසින් මිල පාලන ගැසට් කීපයක් පසුගිය සමයේ නිකුත් කරන ලදී.
නමුත් එකී පාලන මිලට එම භාණ්ඩ වෙළඳපොළ තුළ මිලදී ගැනීමට නොමැත.
වෙළෙන්දන්ගේ පාර්ශ්වයෙන් නැගෙන මැසවිල්ලක් වනුයේ පාලන මිලට භාණ්ඩ සැපයීමෙන් තමන්ට පාඩු සිදුවන බවයි.
''මිල පාලන ගැසට් එකක් ගහල අතපිසදා ගැනීමේ ප්‍රතිපත්තියෙන් රජය දැන්වත් මිදෙන්න ඕන''
- කොළඹ විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ
මෙරට පැවැති රජයන් සහ පවතින රජයන් විසින් නිකුත් කරනු ලබන මිල පාලන ගැසට් ප්‍රායෝගිකද? ඒවායින් බලාපොරොත්තු වුණු අරමුණු ඉටුවීද? යන්න පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ සමග කළ සංවාදයකදී ඔහු අවධාරණය කරන්නේ, ''මිල පාලන ගැසට් එකක් ගහල අතපිසදා ගැනීමේ ප්‍රතිපත්තියෙන් රජය දැන්වත් මිදෙන්න ඕන'' කියාය,
''අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යද්දි රජය කරන්නෙ ඒ භාණ්ඩවලට පාලන මිලක් නියම කර ඒව ගැසට් කිරීම. ඒක සෑම රජයක් යටතේම සිදුවුණු දෙයක්. නමුත් හැමදාම වුණේ ඒවා ගැසට්වලට පමණක් සීමාවීම. පාලන මිලට ගන්න භාණ්ඩ වෙළෙඳපොළේ නෑ…'' යන ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මෙසේ පවසයි.
මිල පාලන ගැසට් හරියට ‘දත් නැති බල්ලො’ වගෙ
''මේ මිල පාලනය රජයට ලේසියෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් රජය යටතේ තියෙන සතොස වෙළෙඳසල් හරහා. ඒත් සියලුම ජනතාවට සේවය සැපයිය හැකි සතොස ජාලයක් රට පුරා විසිරිලා නෑ.
ඒ වගේම මිල පාලනයට අදාළව භාණ්ඩ සපයනවාද කියා සොයා බලන යාන්ත්‍රණයක් රජයට නෑ.
රජය ගැසට් එකක් ගෙනාවම සතොසට, සුපිරි වෙළෙඳසල්වලට සහ යම් ස්ථාවරයක් ගොඩනගා ගත් අලෙවි සල්වලට සිදුවෙනව ඒ මිලට භාණ්ඩ සපයන්න.
එතනදි ඒ වෙළෙඳ ජාලය හරහා බලපෑමක් කිරීම මගින් ගැසට් කළ මිලට භාණ්ඩ සැපයීමට පෙලඹවීමක් කිරීමට තමයි රජය මෙතනදි උත්සාහ ගන්නෙ.
එතනදි එම පිරිස ගැසට් කළ මිලට භාණ්ඩ දෙනව. හැබැයි එම භාණ්ඩවල තොග ඉවර වුණාම ආයෙත් ඒ භාණ්ඩ ගෙන්වීම නතරකරනව. ඒ තමන්ට පාඩු ලබන්න වෙන නිසා.
ඒ වගේම තවත් පිරිසක් ඉන්නව තියෙන ප්‍රමාණය දෙන්නෙත් වැඩි මිලට. අලුතෙන් ගේන ප්‍රමාණය දෙන්නෙත් වැඩි මිලට. ඒ නිසා අපේ රටේ මිල පාලන ගැසට් හරියට ‘දත් නැති බල්ලො’ වගෙ.
රජය දන්නව ගැසට් එක දාද්දිම ඒ තුළින් දැනෙන බලපෑමක් ජනතාවට වෙන්නෙ නෑ කියල. හැබැයි තමන්ට තියෙන අන්තිම තුරුම්පුව විදිහට රජය උත්සාහ කරනව ගැසට් එකක් දාල හරි මහජනතාවට පෙන්වන්න ඔවුන් වෙනුවෙන් යමක් කරල තියෙන බව.
''රජය දන්නව ගැසට් එක දාද්දිම ඒ තුළින් දැනෙන බලපෑමක් ජනතාවට වෙන්නෙ නෑ කියල. හැබැයි තමන්ට තියෙන අන්තිම තුරුම්පුව විදිහට රජය උත්සාහ කරනව ගැසට් එකක් දාල හරි මහජනතාවට පෙන්වන්න ඔවුන් වෙනුවෙන් යමක් කරල තියෙන බව. ''
අනෙක් පැත්තෙන් ගැසට්වලට පෙළඹෙන යම් පිරිසක් ඒවට පොලඹවා ගන්නත්. හැබැයි අවසානයෙදි වෙන්නෙ භාණ්ඩ හිඟයක් ඇතිවෙනව.
වැඩිමිලට හෝ ඒ භාණ්ඩ මිලට ගන්න වෙළෙඳපොළ තුළ නැතිවෙනව. ඒ තුළින් යම් පිරිසක් පෙරටත් වඩා ලාභ ලබනව. ඒ නිසා රජය තේරුම් ගන්න ඕන ගැසට්වලින් භාණ්ඩ මිල පාලනය කරන්න බෑ කියල...
රජය දැන ගත යුතු පළමු දේ !
මිල පාලනය කරන්න යද්දි රජය දැන ගත යුතු පළමු දේ තමයි තමන්ට ආර්ථිකයෙ සියලු දේ පාලනය කරන්න බෑ කියන එක. ඒක තමයි පළමු පාඩම.
ඒ අනුව රජය තේරුම් ගත යුතුයි රජයට වෙළෙඳපොළ ආර්ථිකය තුළ මැදිහත්වීමට ඇති සීමාවේ සීමාසහිත බව. ආර්ථිකයක භාණ්ඩ මිල තීරණය සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන සාධකය තමයි ඉල්ලුමට හා සැපයුමට අදාළ කරුණු.
භාණ්ඩයක මිල ඉහළ යනව නම් ඒ ඇයි කියන එක තේරුම් ගන්නෙ නැතිව කෝකටත් තෛලය වගේ හැම දේම ගැසට් ගැසීම තුළින් මෙරට රජයන් පෙන්වා තියෙන්නෙ භාණ්ඩ මිල පාලනය සම්බන්ධයෙන් රජයන්ට වෙනත් කිසිම ආකාරයේ මැදිහත්වීමක් නෑ, එහෙම කරන්න දැක්මක් නෑ කියන එක.
''භාණ්ඩයක මිල ඉහළ යනව නම් ඒ ඇයි කියන එක තේරුම් ගන්නෙ නැතිව කෝකටත් තෛලය වගේ හැම දේම ගැසට් ගැසීම තුළින් මෙරට රජයන් පෙන්වා තියෙන්නෙ භාණ්ඩ මිල පාලනය සම්බන්ධයෙන් රජයන්ට වෙනත් කිසිම ආකාරයේ මැදිහත්වීමක් නෑ, එහෙම කරන්න දැක්මක් නෑ කියන එක.''
වෙළෙඳපොළ තුළ භාණ්ඩ කෘත්‍රිම හිඟයක් !
ආර්ථිකයක ඕනම අයෙක් හැසිරෙන්නෙ ඉල්ලුම, සැපයුම සහ ලාභය කියන සාධක මත. එහෙම ලාභදායීතාව වළක්වල රජය අත්තනෝමතික ලෙස ගැසට් ගහනව නම් ඒක තුළින් රජය කරන්නෙ පාරිභෝගිකය කබලෙන් ළිපට ඇද දැමීමක්.
හේතුව ගැසට් ගැසීම නිසා අන්තිමේදී වෙන්නෙ එම භාණ්ඩ කෘත්‍රිම හිඟයක් වෙළෙඳපොළ තුළ ඇතිවීම.
ග්‍රාමීය ආර්ථිකය ගත්තොත් ඒ ජනතාව කරන්නෙ එදා වේලට අදාළව භාණ්ඩ මිලදී ගැනීම.
රජය මිල පාලනයට ගැසට් ගැසීමෙන් කරන්නෙ අසරණ පාරිභෝගියා තවදුරටත් අසරණ කිරීම.
රජය මිල පාලනයට ගැසට් ගැසීමෙන් කරන්නෙ අසරණ පාරිභෝගියා තවදුරටත් අසරණ කිරීම.
මේ නිසා පාරිභෝගිකයත්, වෙළන්දත් අසරණ වෙනව. ඒ වගේම මුළු ආර්ථිකයේ භාණ්ඩ බෙදාහැරීමේ යාන්ත්‍රණය සම්පූර්ණ කඩාවැටීමකට ලක්වෙනව.
මේ මිල පාලනයන් නිසා ප්‍රධාන භාණ්ඩ සැපයුම්කරුවන් වෙළෙඳපොළට භාණ්ඩ දාන්නෙ නෑ. දැම්මත් දාන්නෙ බොහොම අඩු ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ. ගුණාත්මකබවින් අඩු භාණ්ඩ තමයි පාලන මිලට දෙන්නෙ.
එතනදි බැලුවාම පේන දේ තමයි ඒ ගුණාත්මක බව අඩු භාණ්ඩ එම පාලන මිලට වටින්නෙ නෑ කියන එක.
ඒත් ජනතාවට සිද්ධ වෙනව හොඳ භාණ්ඩ වෙළෙඳපොළ තුළ නැති නිසා ගුණාත්මක බවින් අඩු භාණ්ඩ නොවටිනා ගාණට මිලදී ගන්න.
ගැසට් ගැහුවාම රජයට යන්නෙ ගැසට් එක ගහන්න යන වියදම විතරයි. අනෙක් හැම වියදමක්ම, පාඩුවක්ම දරල තියෙන්නෙ මහජනතාව සහ ව්‍යාපාරිකයො.
පැහැදිලිවම මෙරට හැම රජයක්ම දේශපාලනිකව බේරීමට ගත් උත්සාහයක් තමයි මේ මිල පාලනය. ඒක හරියට රෙද්ද කඩල මූණ වහගන්න වගේ වැඩක්. එනිසා රජය තේරුම් ගත යුතු දේ තමයි තමන්ට කළ හැකි සාධාරණ මැදිහත්වීම මොකක්ද කියන එක.
''පැහැදිලිවම මෙරට හැම රජයක්ම දේශපාලනිකව බේරීමට ගත් උත්සාහයක් තමයි මේ මිල පාලනය. ඒක හරියට රෙද්ද කඩල මූණ වහගන්න වගේ වැඩක්. එනිසා රජය තේරුම් ගත යුතු දේ තමයි තමන්ට කළ හැකි සාධාරණ මැදිහත්වීම මොකක්ද කියන එක.''
සම්පුර්ණ ලිපිය කියවන්න :